Karan Tacker ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප සිනමාවට වඩා පුංචි තිරය ඔස්සේයි. අතිශය ජනප්‍රිය ඉන්දියානු රූපවාහිනී කතා මාලා කිහිපයකටම ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. ත්‍රාසජනක කතා පුවතක් රැගත් Special OPS කතා මාලාව ඒ අතරින් සුවිශේෂයි. මෙහි Season 2 ජුලි මස 18 වැනිදා නිකුත් වූ අතර මේ ඒ පිළිබඳව Karan Tacker සමග සිදුකල කතාබහක්.
• කොහොමද Special OPS 2 සඳහා ලැබෙන ප්‍රතිචාර?
ඉහළයි. ඒක හරිම උණුසුම් හැඟීමක්. අපේ කණ්ඩායම රසිකයින්ට ස්තුති කරලා වීඩියෝ එකකුත් කළා. Instagram වල එහෙම ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු මොනතරම් ඒ ගැන උනන්දුද කියලා ඒ ප්‍රතිචාර වලින් තේරෙනවා. ඒක අපිට සහනයක්. කැපවෙලා වැඩකළාම දැනෙන්නෙ සටනක් ජයග්‍රහණය කළා වගේ.

• Neeraj Pandey එක්ක ආයෙමත් වැඩ කරන්න ලැබීම කොහොමද?
ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීම ගෙදර ඉන්නව වගේ හැඟීමක්. මේ මම ඔහු සමග වැඩ කරන තුන්වෙනි වතාව. ඔහු අධ්‍යක්ෂණය කරන හැම වැඩසටහනක්ම හොඳ අත්දැකීමක්. මොකද ඔහුට පැහැදිලි දැක්මක් තිබෙනවා. ඒක නළුවෙක් ලෙස පහසුබවක් ගෙනත් දෙනව. නැවක කපිතාන් හැමදෙයක්ම දැනගත්තම අපිට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා වගේ. ඇත්තෙන්ම මම ඔහුගේ වැඩ රසවිඳිනවා.
• Kay Kay Menon එක්ක ගොඩක් රඟපාන්න ලැබුණෙ නැහැ නේද?
ඔව්. ඒක ඇත්ත. ඔහු මොනතරම් අපූරු පුද්ගලයෙක්ද කියලා මම හිතනවා. කේ කේ සර් එක්ක මට ගොඩක් වැඩ කරන්න වුණේ නැහැ. පළමු කතාමාලාවේ අපි එකට රඟපෑවෙ එක දර්ශනයක විතරයි. නමුත් හැමදේම සාර්ථකව කිරීම වෙනුවෙන් අධ්‍යක්ෂකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ.

• Season 1 සිට Season 2 දක්වා නළුවෙක් ලෙස ඔබේ පරිණාමය මොනවගේද?
මම කැමතියි මම වඩාත් පරිණත වෙලා කියන්න. අපේ ඉලක්කය ඒකනේ. කැමරාව ඉදිරියේ කල් ගත කරද්දි ඔබේ ශිල්පය වැඩිපුර ඉගෙන ගන්නවා. ඕනම කලාවක් පුහුණු වෙන තරමට ඔබ එහි දක්ෂයෙක්. මට තව දිගු ගමනක් තියෙනවා. මට ලැබී තියෙන දේවල් විශිෂ්ටයි කියලා මම දන්නවා. මගේ ප්‍රේක්ෂක යනුත් මා ගැන දන්නවා ඇති.
• ඔත්තුකාරයා සහ පොලිසිය යන චරිත දෙකම ඔබ රඟපෑවා. වැඩිපුරම කැමති කාටද?
දෙකටම කැමතියි. ඒ දෙන්නටම තමන්ට හරියන ගැටළු අභියෝග තිබුණා. ඒ නිසා එකක් අනෙකට වඩා හොඳයි කියන්න අමාරුයි.
• ඔබ මේ ගමන පටන් ගත්තෙ රූපවාහිනියෙන්. මොකද හිතෙන්නෙ ඔබ ආව මේ ගමන ගැන?
මට කවදාවත් මම සම්පූර්ණයි කියලා දැනෙන්නෙ නෑ. මම මහන්සිවෙලා වැඩ කරනවා. මට එන්න ඕනෙ තැනට එන්න කැපවෙලා වැඩ කරනවා. මගේ හීනය විශාලයි. ඒ නිසා මම සම්පූර්ණයි කියන්න තව ගොඩාක් කල් තියෙනවා.

• ඔයාගෙ Turning Point එක මොකක්ද?
එකක් තෝරාගැනීම අමාරුයි. සෑම පියවරක්ම වැදගත්. Bhay: The Gaurav Tiwari Story ඊළඟ විශාලම පියවර වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
• Bhay ත්‍රාසජනක අත්භූත කතාවක්. ඔබ කොහොමද එයට සම්බන්ධ වුණේ?
සැබෑ පුද්ගලයෙකු සම්බන්ධ කතාවක් වීම. නළුවෙක් වෙන්න මුම්බායි එන ඊට පස්සෙ ගුවන් නියමුවෙක් වෙලා ඊටපස්සෙ පරීක්ෂකයෙක් වෙනවා. මේ කතාව මගේ සිත් ගත්තා. මම එයට ගොඩක් කැමතියි. ඒකෙ කුතුහලය නොඅඩුව තිබුණා.
• ඔබ අත්භූත සිදුවීම් අත්විඳලා තියෙනවද?
කිහිපයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදි කියන්නම්.




