ලාහෝර් සරුංගල් – A Kite
ලාහෝර් නගරයේ සරුංගල් පාවීම නතරවෙන විට මම දස හැවිරිදිය. “බෙදීම” යන වචනය වැඩිහිටියන් නිතර මිමිණීමට පෙර ලාහෝරය කාටත් අයිති තැනක් බව පෙනෙන්නට තිබුණි. තාප්ප වලින් වටවූ නගරයට සෑම දිනකම හිරු උදාවිය. කිරි විකුණන්නන්, රික්ෂෝ, බයිස්කල්කරුවන්, එළවළු මිල කේවල් කරන ගැහැණුන්ගෙන් නගරය පිරී පැවතුණේය. අපේ ගෙදර උඩ තට්ටුවේ සිට, මට නගරය, මසාලා කඩ, මුස්ලිම් පල්ලිය දැකගත හැකි විය. හොඳම දෙය නම් මගේ හොඳම යාළුවා කාෂිෆ්ගේ බැල්කනියත් දකින්න පුළුවන් වීමයි. ඉතින් අපි මුණගැහීමට සංඥා කරගත්තෙමු. කාෂිෆ් එකොළොස් හැවිරිදිය. ඔහු මට වඩා උසය. මට වඩා වේගයෙන් දිවීමට ඔහුට පුළුවන් වුණත් කාෂිෆ් කිසිම දිනෙක මා පරාජය කළේ නැත.

බසන්ත් පංචමි දිනය සෑම කෙනෙක්ම නිවාසවල බැල්කනි මතට වී සැමරුවෝය. කාෂිෆ්ගේ පවුලේ අය සහ අපේ පවුලේ අය හැමදාමත් එය සැමරුවේ එකටයි. සහනි සහ සිද්දිකි වෙන් කළ නොහැකි බව ඔවුන් හැමෝම දැන සිටියෝය. වර්ණවත් සරුංගල් වලින් අහස පිරී තිබුණි. තාත්තලා එක්ව චායි බොමින් සිටි අතර අම්මලා කුස්සියේ ඕපදූප කතාකළෝය. සේවකයෝ සරුංගල්වලට නූල් බඳිමින් සිටි අතර කාෂිෆ් මගේ කහ පැහැති සරුංගලයේ තීන්ත ආලේප කරන්නට උදව් කළේය. කාෂිෆ්ගේ නංගි බැනෝ අත්වල කහ තීන්ත තවරාගෙන සෆීනාගෙන් බැනුම් අහනතුරුම සෙල්ලම් කළාය. කුස්සියේ කෑම පිසෙන සුවඳ නිවස සිසාරා පැතිර තිබුණි. කාෂිෆ් තම සරුංගලය ඔසවා වැඩිහිටියෙකු ලෙසින් අත්ලෙන් සුළඟ පරීක්ෂා කළේය. මගේ සරුංගලය යන්තම් ඉහළ ගියමුත් ඔහුගේ සරුංගලය වේගයෙන් අහසට ඇදුණි.
“නූල තදින් අල්ලන්න එපා…. හුළඟට ඉඩ දෙන්න”
ඔහු කෑගැසුවේය. ඔහු මගේ හොඳම මිතුරා පමණක් නොවේ. ඔහු මට වැඩිමල් සහෝදරයෙක් විය. එය අපි සතුටින් සැමරූ අවසාන උත්සවයයි.
අප්‍රේල් මාසය උදාවුණේ බියකරු හීනයක් ලෙසිනි. නගරයේ මුස්ලිම් පිරිමින් රාත්‍රියට වෙළඳපොළේදී හමුවීමට පටන් ගත්හ. මම මීට පෙර කිසිදා දැක නොතිබූ පිරිමින්ද දකින්න ලැබුණි. ඔවුන් එක්ව කඩදාසි මත සටන් පාඨ පින්තාරු කළහ. ඒවා බවුජි මට කිසිදා ශබ්ද නඟා කියවන්න එපා යැයි කියූ වචනවලින් පිරී තිබුණි. ඔවුන් නිතර නිතර මුණ ගැසුණෝය. එක් බියකරු සැඳෑවක කාෂිෆ් අපේ ගෙදරට පැමිණියේය. උඩ තට්ටුවට නොවේ. ඔහුගේ හිසකේ අවුල්වී තිබුණි. ඇඳුම අපිළිවෙලය.

“අද කඩේ රණ්ඩු වුණා”
ඔහු මගේ තාත්තාට කිව්වේය.
“අබ්බජාන් කියනවා එතනට යන්න එපා කියලා”
සෆීනා පරිස්සමෙන් එළියට ඇවිත් ඔහුට නිවසට අඬගසනු මම දැක්කෙමි. තාත්තා ඔහුට ස්තුති කළේ මෙය කාටවත් නොකියන බව පොරොන්දු වෙමිනි. කාෂිෆ් පිටව ගිය පසුව තාත්තා දොරවසා අගුළු දැමුවේය. මට බියක් දැණූනි. ප්‍රචණ්ඩත්වය ලාහෝරයට පැමිණියේ හදිසියේමය. කෑ කෝ ගැසීම්, දහවල් කාලයේ ඇඳුම් සාප්පුවල වීදුරු බිඳෙන හඬ ඇසුණි. රික්ෂෝවක් වීදියේ පෙරලී ඉදිරියට ඇදී ගියේය. එක රාත්‍රියක, අපි කෑම කමින් සිටින අතරේ කිසිවෙකු අපේ නිවස පසුකර වේගයෙන් දිව යන හඬ ඇසුණි. කිසිවෙක් දොරවල්වලට තට්ටු කළේය. ගින්නක් ගැන කතාවෙනු ඇසුණි. අම්මා මාව තදින් අල්ලා ගත්තාය. කාෂිෆ්ලාගේ ගෙදරත් අඳුරේ පැවතුණි. පසුදින උදයේ කවුරුත් බැල්කනියට ආවේ නැත. ඒ සතියේ මගේ අම්මාත් තාත්තාත් අප සතු ආභරණ, කුඩා දේවල්, ලියකියවිලි, ඇඳුම් බෑග්වලට ඇසුරුවෝය. ඔවුන් ලාහෝරය හැර යන්නට සූදානම් වෙන බව මට වැටහුණි. නිහඬ රාත්‍රියක අපි පිටත්වුණෙමු. නගරය පාළුවී ඇති ලෙසක් පෙනෙන්නට තිබුණි. ඈතින් නගරය හැර යන මිනිසුන්ගේ හඬ ඇසුණේය. අපි ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණෙමු. තාත්තා නංගිව වඩාගත් අතර අම්මා මගේ අත තදින් අල්ලාගෙන සිටියාය. අපි මද දුරක් යද්දී කිසිවෙක් අපි ඉදිරියට ආවේය. ඒ කාෂිෆ්ය. ඔහු දෑත් පිටුපසට බැඳගෙන, පාවහන් හෝ නොමැතිව සිටියේය. ඈතදීම ඔහු හඬා වැටෙන බව මම දැක්කෙමි. තම දෑත් ඉදිරියට ගෙනා ඔහු මාස කිහිපයකට පෙර මා වෙනුවෙන් සෑදූ සරුංගලය පෙන්නුවේය.
“මේක ඔයාගේ ජනේලෙන් එළියට විසි වෙලා ගියා”
ඔහු පැවසුවේය. මගේ තාත්තා කලබලයෙන් වටපිට බැලූ අතර අපිට අනාරක්ෂිත බවක් දැණුනි. කාෂිෆ් වෙන වචනයක්වත් දෙඩුවේ නැත. දෙයක් අවසන් වන විට වැඩිහිටි පිරිමින් කරන්නාක් මෙන් ඔහු මදෙස බලා එක් වරක් හිස වැනුවේය. සෆීනා ඔහුට අඬගසනු ඇසිණි. ඔහු අපෙන් ඈත් විය. අපි නිහඬවම ඉදිරියට ඇදුණෙමු. කාෂිෆ් කුඩා තිතක් තරමට නොපෙනී යන තුරු මම නැවත, නැවතත් හැරී ඔහු දෙස බැලුවෙමි.




