රත් දෝතළු – 30
මෙවන් තරු පන්තියේ හෝටලයකට මා පැමිණි පළමුවතාව නිසාදෝ මා සිටියේ බියෙන් සහ චකිතයෙන් මුත් නිර්මාණි හැසිරුණේ පුරුදුකාරියක මෙන් ඉතා සැහැල්ලු විලාසයෙනි. ඈ සංජයගේ තුරුළේ දැවටී සිටියේ ඉතා ප්‍රීතිමත් යුවළක් බව කියා පාමිනි. මමද සැහැල්ලුවෙන් සිටීමට උත්සාහ කළෙමි. කිසිවෙකු අප පිළිබඳව සැලකිලිමත් වුණා කියා මම නොසිතමි. මෙහි දන්නා හඳුනන අය නැත. පිළිගැනීම් සේවකයාගේ සිට ඉදිරියට හමුවූ සෑම සේවකයෙකුම සිනහා මුහුණින් සංග්‍රහ කළේ ආචාරශීලී බවකින් වුවද මේ අයම මෙහින් පිටතදී මුහුණට මුහුණ හමු වූවා නම් සිනාසෙන්නට තබා කෙළින් මුහුණ දෙස බලන්නට හෝ උනන්දුවක් නොදක්වනු ඇත. මේ සියල්ල බොරු මවා පෑම්ය. ආයතනය තුළට පමණක් සීමා වූ රඟපෑම් මිස අනෙකක් නොවේ. හෝටල් සේවකයෙකු අප කැඳවාගෙන පැමිණියේ සංජය විසින් කළින් වෙන්කොට තිබූ මේසයක් වෙතය. එය මුහුද දෙසට මුහුණලා තිබූ හෙයින් මට ගාලු මුවදොර පිටිය දිස් විය.
“මොකෝ ළමයා… තාම බය වෙලාද ඉන්නේ…?”
සංජය මා විමසුවේ බොහෝ ලෙංගතු හඬකිනි. ඔහුගේ සුහදශීලී කතාබහ නිසා මා සිතට යම් සැහැල්ලුවක් දැනුණ අතර චකිතයද පහව ගියාක් මෙන් දැනිණි.
“අනේමන්දා… දැන් නම් බය ටිකක් ගියා වගේ… මං මෙහෙම තැනකට ආව පළවෙනි දවසනේ…”
“දන්න කඩේකට තේ ටිකක් බොන්න ආවා කියලා හිතන්නකෝ…”
ඔහු කී සැහැල්ලු විලාසයට මා මුවට සිනහවක් නැඟිණි.
“ඉතින්… අරවින්දි කිව්වා නේද නම…?”
ඔහු විමසන විට මා මුවේ සිනහව පුළුල් විය.
“ඉතින් අරවින්දි නෙවේ… අරවින්දි සේනානායක…”
මම කියන විට ඔවුන් දෙදෙනම මා දෙස බලා සිනහසෙන්නට වූහ.
“පේනවනේ… සද්ද නැතුව හිටියට කට…”
“යාළුවට දැන් පාළුවක් නැතුව ඇති ඔයා ආව නිසා…”
සංජය ඇසුවේ නිර්මාණි දෙස ආදරය උතුරන් බැල්මක් හෙළමිනි.
“අපෝ… වෙලාවකට වචන දහයක් කතා කරන්නේ නැහැ… මමම ප්‍රශ්නෙත් අහලා මමම උත්තර දෙන්න ඕන…”
සංජය මදෙස බලන විට මම ලැජ්ජා මුසු හැඟීමෙන් බිමට දෑස් යොමා ගතිමි.
“ඔය කියන අයත් මුලින් ඔහොම තමා අරවින්දි… දැන් මේ චණ්ඩි පාර්ට් එකෙන් ආවාට… මොනවා හරි අහනකොට කටුස්සී වගේ ඔළුව වනපු එක තමා කළේ…”
මසිත ගැස්සී ගියේ එම කතාවටය. අද අහස්ද මට කීවේ එයමය. මේ මොහොතේත් හදිසියේ ඔහුගේ මතකය සිතට රිංගන්නේ මන්ද.? නිර්මාණි ගෙල ඇලකොට ඔහු දෙස බැලුවේ යටැසිනි. මුවින් නොකී හැඟීම් දහසක් එම බැල්මේ විනැයි කියා මට සිතිණි. මේ අසම්මතය, සමාජ පරතරය නොවී නම් ඔදුන් දෙදෙනා එකිනෙකට ගැළපෙන යුවළකැයි කියා මට ඒ මොහොතේත් සිතිණි. රාත්‍රී ආහාර ඉක්මනින් පිළිගැන්විණි. ඒ මොහොත වන විට මම සංජය හා බොහෝ සේ කුළුපඟ වී සිටියෙමි. හැඳි ගෑරුප්පු අල්ලන විදිය මට කියා දුන්නේ ඔහුය. මුළින් වූ චකිතය දැන් මා සිතේ අහළකවත් නොමැති වීම පුදුමයකි. එයට හේතුව සංජය විය හැක. එය සැබෑවටම ආහාරයක් භුක්තිවින්දා යැයි පැවසිය හැකි ආහාර වේලකි. එවන් භෝජනයක් මා රස වින්දේ පළමු වතාවටය. මට නිවැසියන් සිහි විය. ඔවුන් කවදා මෙවන් තැනකට රැගෙන එන්නද කියා නම් සිතන්නට වත් නොහැකිය. මේ මොහොතේ එය සිතා පළක් නැත.යම් කලෙක. එවන් කලක් පැමිණියහොත්, ඔවුන් මෙවන්තැනකට කැඳවාගෙන ආ යුතුමය. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් වළකා ගතිමි. සේවක තැන අතුරුපස පිළිගන්වා ඉවත ගියේය. ඒ අතරේ සංජය නුදුරින් සිටි අයෙකුට අත වැනුවේ හිඳසිටි අසුනේම හිඳගෙනය. පිටුපස හැරී ඒ දෙස බැලීම නුසුදුසු නිසා මම නිර්මාණි පැවසූ දෙයකට සවන් දෙමින් එලෙසම සිටියෙමි.
“හෙලෝ… අංකල්… යූ ආර් හියර්… සොරි…. සොරි… ටු ඩිස්ටර්බ් යූ… අයි ට්‍රයිඩ් ටු කෝල් යූ…”
මා පසුපසින් ඇසුණු එම හඬින් මම තිගැස්සී වහා හැරී බැලුවේ සිරිත් විරිත් පවා අමතක කරමිනි. මට වැරදීමක් නොමැත. එම හඬ ඔහුගේම පමණක් නොව ඒ සිටියේ ඔහුමය. අහස්…! පුදුමයකි. අද දවසේ මට ඔහුව නැවත වරක් හමු වී ඇත. ඔහුත් සංජයත් එකිනෙකා හඳුනන්නේය. ඔහු සංජය ඇමතුවේ “අංකල්” කියාය. එය දැන හැඳුනුම්කමට එහා ගිය එකක් බව නම් සහතිකමය. ඔහු මා පසුකර විත් සංජය අසළ සිට ගත්තේ ඔහු දිගු කළ අත ගෙන සොළවමිනි.
“මගේ ෆෝන් එක ඕෆ් ළමයෝ… අපි ඩිනර් එකකට ආවා.. මේ නිරූ…. ඇන්ඩ් දිස් ඊස් හර් බෙස්ට් ෆ්‍රෙන්ඩ් අරවින්දි…”
ඔහු එසේ අප හඳුන්වාදෙන විට ඔහු මදෙස බැලුවේ කිසිදු හැඟීමක් නොමැති සෙයකිනි. මම බලා සිටියේ පුදුමයෙන් වන්නට ඇත.
“හෙලෝ…”
ඔහු ගැඹුරු වූ හඬකින් ඇමතුවේ මා දන්නා හඳුනන බවක් හෝ පළ නොකරමිනි. නිර්මාණි පෙරළා “හෙලෝ ” යැයි කීවද මා මුව විවර කරගන්නට නොහැකි සෙයකින් මම සිටියේ ගොළුවය. ඔහුගේ බැල්මේ වූයේ සරදම් සහගත බවකි.
“මෙයාද යාළුවා…?”
කියා අසන බැල්මක් එහි විනැයි කියා මට සිතිණි. සංජය ඇරයුම් කළද ඔහු අප සමඟ හිඳ ගැනීමට කැමැත්තක් නොදැක්වීය.
“අයිල් සී යූ ලේටර් අංකල්… සොරි ෆොර් ද ඩිස්ටර්බන්ස්… සී… යූ…”
නිර්මාණි දෙස පමණක් බලා ඔහු එසේ කියා පිටව ගියේ මා සිත වේදනාවකින් අඹරවමිනි. හදිසියේ ඔහු දැකුමෙන් මා සිත තුළ හටගත් ප්‍රීතිය ක්ෂණකයෙන් බොඳව ගියා සේය.
“තියන ආඩම්බරකම… අඳුනන්නෙවත් නැහැ වගේ හැසිරුණේ… මෙයා ළඟටද මං වැඩට යන්න හිතුවේ…”
නොසතුටක් මා සිතේ වැඩෙන්නට විය. එහි නොයා සිටිය යුතුය කියා හදිසි සිතුවිල්ලක් මා සිතේ ඉපදිණි. අතුරුපස රස විඳීමට තරම් සිතක් මා තුළ මේ වන විට නොවීය. ඔහු යන්නට ගියේ මා සිතත් රැගෙන මෙනි. ගෙළ හරවා ඔහු සිටිනා ඉසව්ව බලන්නට උපන් හැඟුම මම සඟවාගත්තේ ආයාසයෙනි. මේ සියල්ල අහම්බෙන් සිදු වූවාද.? මම සිතුවෙමි. ඔහු මා සිත තුළ ඇතිකර තිබුණේ අමුතු කැළඹීමකි.
“අපි ඔයා එක්ක ඉන්නවා දැකලා ඔයාට අවුලක් වෙයිද සංජු…?”
නිර්මාණි එසේ ඇසුවේ මා මෙතෙක් නොසිතූ පැනයකි. සංජය එයට කුමක් පවසාවිදැයි දෙගිඩියාවෙන් මම ඔහු දෙසම බලා සිටියෙමි. ඒ මුහුණේ වූයේ පෙර පැවති සැහැල්ලු සිනහවමය.
“ඒ මොකද මට ප්‍රශ්නයක් වෙන්නේ… අපි ආවේ ඩිනර් එකකටනේ… මගේ අයියයි එයාගේ තාත්තායි හොඳ යාළුවෝ… අපි බිස්නස් පාර්ට්නර්ස්ලා වගේම ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා… අනික එයා අපිව මීට කලිනුත් දැකලා තියනවනේ…”
එසේනම් ඔවුන් හොදින් හඳුනන අයය. අහස් සංජයට අංකල් යැයි ඇමතීමත් සංජය ඔහුට ළමයා කියා ඇමතූබවත් සිහිව මා මුවට සිනහවක් නැඟුණේ නිතැනිනි. පසු විටෙක නිර්මාණි හා මේ බව පවසා ඇයව කේන්ති ගැන්විය යුතුය කියා මම සිතින් සිතුවෙමි. කෙසේ නමුත් ඔවුන් පවුල් අතර සමීප සබඳතාවයක් ඇති බව නම් දැන් පැහැදිළිය. මේ නම් පුදුම හමුවීමකි. සමහරවිට අහස් සංජයට අයත් නිවසක් අප සිටින මහල් නිවසේ ඇති බවත් දැන සිටිනවා වන්නට ඇත.
“අපිට හමුවෙලා තියනවද…? මට මතක නැහැ…”
නිර්මාණි කියන විට සංජය හිස සැළීය.
“මොනවා වුණත් කොල්ලා හැන්ඩි… බැරිද අපේ එකීට සෙට් කරලා දෙන්න…?”
ඈ එසේ විමසුවේ මා දෙසත් බලා ඔහුට ඇසක් ඉඟිමරමින් විහිළුවටද සැබෑවටමද කියා සිතා ගත නොහැකිව මම ඈ දෙස බැලුවේ විදහාගත් දෑසිනි.
සංජය සිනහසෙමින් මා දෙස බැලීය.
“පිස්සු…”
මම කීවේ නිර්මාණි කෙරෙහි උපන් කෝපයෙනි. ඈ මුව වසාගෙන සිනහසෙන්නට වූවාය.
“සිරා ගන්න එපා… මං නිකන් කිව්වේ…”
සිනහව නවතාගෙන ඈ කීවාය.
“එයාලා උපතින්ම සල්ලිකාරයෝ… ඔයාලා ඉන්න අපාර්ට්මන්ට් බිල්ඩින් එක අයිති එයාලගේ ලොකු අම්මට…”
මා දෑස් විසල් විය. එසේනම් එය අයිති විනීෆ්‍රීඩා මහත්මියටද.? දෙවියනේ.! අහස් එසේනම් වුවමනාවෙන්ම නිර්මාණි ගැන අසන්නට ඇත්තේ මෙහි වෙසෙන අය ගැන ඔහු දැන සිටින නිසා විය යුතුය.
“ඇත්තටම…?”
නිර්මාණි ඇසුවේ මවිතයෙනි.
-16 වෙනි සඳුදා නැවත හමුවෙමු-