මිනිස්සු උදෙසා, ලෝකය උදෙසා තමන්ගෙ වේදනාවල් ඉවසා දරාගෙන නිහඬවම වගකීම්, යුතුකම් ඉටු කරන මිනිස්සු මේ ලෝකෙ ඕනෑ තරම් ඉන්නව. ඔවුන් හරියට ඉටිපන්දම් වගේ. අන්තිම මොහොත දක්වාම අනිත් අයට ආලෝකයක් ලබා දෙනව. තමන් ගැනවත් නොසිතාම.

පවතින අධ්‍යාපන ක්‍රමය විසින් ප්‍රතික්ෂේප කෙරුව, අත්හැර දාලා තිබුන නාහෙට නාහන කොල්ලො කණ්ඩායමක් හිටිය පුංචි ඉස්කෝලෙක ප්‍රධානියා තමයි ස්ටීව්. ඔවුන්ට පැවරිලා තිබුණ වගකීම වුණේ යොවුන් වයසෙ ඉන්න මේ ළමයින්ව පිටත සමාජයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන් විදිහට හැඩගැස්සවීම. එක එක හේතු නිසා යහපත් මානසික පසුබිමක නොවූ ළමුන්.

සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත අහඹු වාසනාවන් වගේ දේවල් වලින් පිරිලා නැහැ. රැකියාව වෙනුවෙන්, ජීවිතේ ගැට ගහගැනීම වෙනුවෙන් වෙහෙසෙන මිනිස්සුන්ගෙ ජීවිත හරි ඒකාකාරියි. ස්ටීව් කියන්නෙත් එහෙම මනුස්සයෙක්. ඔහුගෙ හිසමත පැටවිලා තිබුණු වගකීමෙ බර, ආතතිය ඔහුගෙ බාහිර පෙනුමෙන්, අපිළිවෙල ඇඳුමෙන්, නොකැපූ රැවුලින්, වෙහෙසකාරී බවෙන් දිස් වුණා. විසිරී ගිය පවුල්, ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක්ක නරක ළමා කාලයක් ගත කරලා ඇවිත් තිබුණු මේ කණ්ඩායම සාමාන්‍ය තත්වයට ගේන එක හරි අමාරු දෙයක්. ඒ වගේම තමයි අරමුදල් හරිහැටි නොලැබීම වගේ කාරණා නිසා කුඩා පාසල වසා දැමීමේ අනතුරටත් මුහුණ දීලයි තිබුණෙ. එහෙම වුණොත් මේ කොල්ලන්ගෙ අනාගතේ විනාශයි කියලා ස්ටීව් දැනගෙන හිටියා.

මේ තැන කොහොමටත් සාමාන්‍ය තැනක් වුණේ නැහැ. දවස තිස්සෙම ප්‍රශ්න විසඳන්න, රණ්ඩු බේරන්න, කුලප්පු වුණු කොල්ලන්ව සන්සුන් කරන්න ස්ටීව්ට සිද්ධ වුණා. කොල්ලො රණ්ඩු කරගත්තා. සමහර වෙලාවට ගුරුවරුන්ටත් බේරන්න බැරි තරම් දරුණු විදිහට. සමහරුන්ට ඇණ කොටා ගන්න ඕනෙවෙලා තිබුණා. තවත් අයට දිවි නහ ගන්න ඕනෙවෙලා තිබුණා. එකක් පස්සෙ එකක් ස්ටීව් දවසෙම කරේ ප්‍රශ්න විසඳුව එක. මේ කරදර ඔක්කොමත් අස්සෙ , දේශපාලනඥයෙක් රූපවාහිනී කණ්ඩායමක් එක්ක පාසලට එනව. සුපුරුදු පරිදි ඔහුගෙ අරමුණ බොරු පොරොන්දු ගොඩක් දීලා තමන්ගෙ අරමුණු මුදුන් පමුණුවා ගැනීම. නියම දේශපාලඥයෙක් වගේ ඔහු කරන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න දේශපාලන වේදිකාවක් කරගන්න එක. ඔවුන් පවුල් පිටින් අහිමි වුණ අය වුණත්, සන්තකයම නැතිවී ගිය අය වුණත්, පිස්සු හැදෙන්න ඔන්න මෙන්න හිටියත් දේශපාලනඥයන්ට ඒ දුක අදාළ නෑ. ඔවුන්ට ඕනේ නාට්‍ය පෙන්නන්න විතරයි.




