ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා.
ඒ අනුව එම පක්‍ෂ නායක තාරික් රහමාන් බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වනු ඇති බවයි බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂයේ ප්‍රකාශකයෙකු බීබීසී ප්‍රවෘත්ති සේවය වෙත පවසා ඇත්තේ.
මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 300න් ආසන 212 ක් දිනා ගැනීමට බංග්ලාදේශ ජාතිකවාදි පක්‍ෂය සමත් වී තිබෙනවා.
2024 වසරේ පැවති ශිෂ්‍ය විරෝධතාවලින් ශෙයික් හසීනාගේ වසර 15 ක පාලනය අවසන් කිරීමෙන් පසු බංග්ලාදේශයේ පැවති පළමු ජාතික මැතිවරණය මෙයයි.
එම විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 1,400ක් පමණ මියගිය අතර හිටපු අගමැති ශෙයික් හසීනා කැරැල්ල මර්දනයට ඍජුවම නියෝග කළ බවට චෝදනා එල්ල වුණා.
ඒ අනුව ශෙයික් හසීනාගේ පක්‍ෂය වන බංග්ලාදේශ අවාමි ලීගයට මෙවර මැතිවරණයට තරග කිරීම තහනම් කෙරුණා.
බංග්ලාදේශයේ නව අගමැතිවරයා ලෙස පත්වනු ඇතැයි පැවසෙන බංග්ලාදේශ ජාතිකවාදි පක්‍ෂයේ නායක තාරික් රහමාන් එරට පළමු අගමැතිනිය වන බෙගම් ඛලීඩා ශියාගේ පුත්‍රයෙකු වනවා.
එමෙන්ම ඔහුගේ පියා වන සුහීර් රහමාන් එරට හිටපු හමුදා නිලධාරියෙකු මෙන්ම 1977 – 1981 කාලසීමාව තුළ බංග්ලාදේශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.



