නිම්නයක නිසංසලව – Weather the Storm
කුණාටුව ඇරඹුණේ ගිගුම් හඬකින් නොව කෙඳිරිල්ලකිනි. මාරා හුදකලාවම නිම්නයට පැමිණ තම මවගේ ප්‍රතිකාර සඳහා උවමනා වෙන ඔසු පැලෑටි එකතු කරමින් සිටියාය. අහසේ පැවතියේ මළානික නිල් පැහැයකි. මොහොතකින් කඳු මුදුන් වසාලමින් වලාකුළු එක් රැස් වුණේ කුණාටුවක පෙරනිමිති කියා පාමිනි. කුණාටුව එන්නටත් කලින් එහි හඬ ඇසිය හැකි විය. එය මෘදු දුමාරයක් ලෙසින් කොළපැහැ නිම්නය හරහා ඇදී ආයේය.
“මෙහෙ එන්න දරුවෝ…”
මාරා කූඩය ඇගේ පපුවට තද කර ගත්තාය. ඇයව ගසාගෙන යන තරම් වේගයෙන් සුළඟ හමයි. සෙමින් සෙමින් ඉහළට නැගෙන වළාකුළු හැර ඇය අසළ කිසිවෙක් සිටියේ නැත. ඇයට බියක් දැනුනි.
“ගෙදරට දුවාගන්න බැරිවුණානේ”
“මම ඔයා එනකං බලාගෙන හිටියේ …”

සුළඟ වේගවත් ය. එය කිසිඳු දිශාවකින් හමා ආවේ නැත. සුළියක් ලෙසින් පොලොවෙන්ම, තණකොල අතරින් ඉහලට නැගුණේ සිටගෙන සිටීමත් අසීරු කරමිනි. ගැහෙන හදවතින් යුතුව මාරා පසුපසට දිව ගියාය. වලාකුළු අතරේ යමක් තිබෙනු පෙනේ. එය උසැති, සෙවනැල්ලක් බඳුය. විශාල යෝධයෙකු උගුර පාදන්නාක් වැනි හඬකින් ගිගුරුම් හඬක් නැගුණි. සුළඟ තවත් දැඩි විය. එය ඈ තුළට විත් ඇගේ පෙනහළුවලින් හුස්ම ගන්නවාක් මෙන් දැනුණි. එය ඇයව එතුළට ඇද ගත්තා වැනිය. ගිගුරුම් හඬ හාත්පස සිසාරා පැතිර ගියේය.
“පුංචි කෙල්ලේ…. එන්න මාත් එක්ක…”
මාරා කෑගැසුවද කුණාටුව ඇගේ හඬ යටපත් කළේය. ඇය දැඟලුවද, පයින් ගැසුවද කුණාටුව ඇයට සැළකුවේ කඩමාල්ලකට මෙනි. ඇගේ අතපය සීරිණි. කුණාටුවටත් වඩා නපුරු දෙයක් ඇගේ ආත්මයට පිවිසුනේ ඇයව නිදහස් කිරීමට මෙනි. අකුණු හඬට අහස දෙබෑ විය. හදවත වේගයෙන් ගැහෙන අතරේ මාරා ඔවුන් දුටුවාය. කුණාටුව තුළ සියුම්ව දිලිහෙන කුඩා හැඩතල දහස් ගණනක්. සලබයන් වැනි පුංචි පියාපත් සහිත වැහි බිංදු වැනි ඇස් ඇති ජීවීන්. ඇයට ඔවුන් මුමුණන හඬ ඇසිණි.

“යන්න දෙන්න…. යන්න දෙන්න…. යන්න දෙන්න…”
නමුත් මාරයා යටත් වෙන අයෙකු නොවේ. මංමුලා සහගතව ඇය අසල තිබූ බෑවුමෙන් නෙරා ආ විශාල ගසක මුලක් අල්ලා ගත්තාය. වේදනාවක් දැණුන මුත් ඇය එය අත්හැරියේ නැත. සුළඟ වියරුවෙන් ඝර්ජනා කළේය. වලාකුළු සමීපව තියෙනු දැනෙන්නට වූ අතර අකුණු ගැසුවේ වේගයෙනි. මාරා කෑගැසුවාය. ඇය අල්ලා සිටි ගස් මුල සෙලවෙනු දැණුනි. කුණාටුවට වඩා ගැඹුරු ඝෝෂාවක් පොළොවෙන් නැගී එන්නාක් මෙන් දැනුනි. හිටි අඩියේම සුළඟ නැවතුණි. මාරා කන්දෙන් පහළට පෙරළී ගියේ සිරුරම මඩවලින් නහවා ගනිමිනි. ඇය නිවස අසලටම විසි වී ගියාය. අර සෙවනැල්ලද දක්නට ලැබුණි. එවිටම සුළඟ වේගයෙන් වළාකුළු තුලට ඇදී ගියා සේ පෙණුනි. කුඩා සලබයින් මැරී වැටුණි. එකවරම සියල්ල නිහඬ විය.
————————————————————————————————————————————
මාරා සෙමෙන් සුවය ලැබුවාය. නමුත් කිසිවෙක් ඒ කුණාටු සහිත දිනයේ ඇය දුටු දේවල් විශ්වාස කළේ නැත. කුණාටුවේ හඬ, ඒ සෙවනැල්ල විස්තර කිරීමට හදන හැම වෙලාවකම ඇගේ අම්මා පැවසුවේ කුණාටු ඕනෑම කෙනෙක්ව බය කරන බවයි. ඇගේ තාත්තා උතුරු සාගරයෙන් එන දරුණු සුළං ගැන පැවසූ අතර ඇගේ මාමා හිනැහෙමින් පැවසුවේ එවැනි දරුණු කුණාටුවකින් බේරීම ගැන ඇය ආඩම්බර විය යුතු බවයි. නමුත් දැනුදු සමහර විට සුළඟ ඇගේ නම මුමුණනු ඇයට ඇසේ.
කුණාටුවට පසු උදාවූ හත්වැනි රාත්‍රියේ, කවුදෝ තම කාමරයේ ජනේලයට මෘදු හඬින් තට්ටු කරනු ඇයට ඇසුණි. එය ලී මත ඇඟිලිවලින් තට්ටු කිරීම නොව රිද්මයානුකූලව මෘදුව ඇතිල්ලෙන සුළඟේ හඬයි. මාරාට බියක් දැණුනි. ඉන්පසු ඉබේම ජනේල විවර විය. ජනේලයෙන් පිටත මිහිදුම දැවටී තිබුණි. මිහිදුම අතරින් ආ රිදී පැහැ කුඩා පියාපත් සහිත සලබයෙකු ඇගේ අත්ල මත වැසුවේය.
“ආපසු එන්න”
මිමිණීමක් ඇසුණි. මාරා ඇගේ අත ඉවතට ගත්තාය.
“නැහැ”
එවිට සලබ ආත්මයන් එක හඬින් මෙසේ කීවාය:
“ඉගෙන ගන්න”
“පෘථිවියේ දරුවෝ… මෙහේ එන්න.”
මාරා මොහොතක් කල්පනා කළාය. ඔවුන් විශ්වාස කළ නිසා නොව, මේ සිදුවන්නේ කුමක්දැයි ඇයට දැන ගැනීමට අවශ්‍ය නිසා ඇය ඔවුන් හා එක් වුණාය. සලබ ආත්මයන් ඇයව කඳු බෑවුමට නැවත රැගෙන ගියේය. වලාකුළු මෘදු ලෙස පාවෙමින් තිබුණි.

“අපි තමයි සුළඟ “
එය පැවසීය.
“කුණාටුව එවන්නෙ අපි… අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් අයට අපි කතා කරනවා.”
“ඔයාලා මාව අහසට ඇදගෙන යන්න හැදුවා “
මාරා කීවාය.
“අපි ඔයාව තෝරගන්නයි උත්සාහ කළේ.”
සලබ හඬවල් දහසක් මුමුණමින් මෙසේ කීවෝය.
“නිම්නය ඔබව තෝරා ගත්තා.”
ඇයට එය වැටහුණි.
“නිම්නයට අවශ්‍ය කුමක්ද?”
මාරා ඇසුවාය.
ඇයට යටින් තිබූ පොළොව ගල් මෙන් ගැඹුරු කම්පනයක් මුමුණමින් හඬ නැගුවේය. තණකොළ ඇගේ පාද දෙසට නැමී තිබුණි. පිනි කැට දිලිසුණේය.
“සමතුලිතතාවය”
සුළං සෙවනැල්ල පැවසුවේය.
“පොළොව සුව වෙනවා.. කුණාටු හමනවා. වැස්ස ඇතිවෙනවා. සුළඟ බීජ පතුරුවනවා. අපි සතුරො නෙවෙයි. සොබාදහම් චක්‍ර.”
මාරාට සැනසුමක් දැණිනි. සෑම ගිම්හානයකම ඇගේ දෙමාපියන් වර්ෂාව ඉල්ලා යාච්ඤා කරයි. ඇතැම්විට ගං වතුර කෙත්වතු පාළු කරයි. වැස්සේ බලය ගැන ඇය සිතුවාය. එය විටෙක භයානක වුවත් ජීවය සඳහා අත්‍යාවශ්‍ය දෙයකි.
“ඔබට මා ලවා කුණාටු පාලනය කරවන්න අවශ්‍යද?”
සුළං සෙවනැල්ලේ දෑස් දීප්තිමත් විය.
“නැහැ… අප සමඟ කතා කරන්න…. අපට මඟ පෙන්වන්න.”
“හොඳයි මම එකඟ නම්”
ඇය පැවසුවාය. වලාකුළක් හිස වැනුවේය. ගිගුරුම් හඬක් ඇසුණි.




