Tharu Mal Viyan තරු මල් වියන්
අංජලී රැකියාව කරන ආයතනයේ සියලු දෙනම මේ වනවිට ඇයත් සමඟ ඉතා කුළුපඟව සිටියද ඈ සිය පෞද්ගලික කිසිවක්ම ඔවුන් සමඟ පවසන්නට නම් නොගියාය. තමාගේ මව්පියන් මියගොස් ඇති බවත් තමා සිටින්නේ මාමා සමඟ බවත් රැකියාව ලැබුණ බැවින් මෙහි පැමිණ පවුලේ හිතවතෙකුගේ නිවසේ නැවතී සිටින බව පමණක් ඈ කියා තිබුණාය. ඇයට මිතුරියන් සිහි විය. ශාමින්දගේ රුව නිතරම සිය දෑසේ මැවී මැවී පෙනිණි. එවන් විටක ඈ සිතට දැනෙන ශෝකය සඟවා ගන්නේ දිගු සුසුමක් හෙළමිනි. මෙරිටා මෙන්ම වික්‍රමද අංජලී යම්කිසි ප්‍රශ්නයකින් සිටින බව දැන සිටියද ඇගෙන් ඒ කිසිත් අසන්නට නොසිතුවේ එය ඇගේ පෞද්ගලිකත්වයට කරන අනවශ්‍ය ඇඟිලි ගැසීමක් බව සිතාය. එසේ වුවත් ඔවුන් දෙදෙනාම ඇයට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි.
දැන් ඇය පැමිණ සය මසක්ද ඉක්ම ගොසිනි. කාලය ගලා යන්නේ පියාපත් ලත්දාක් මෙනි. දිනක් වික්‍රම සේවය කරන පෞද්ගලික රෝහලෙන් සංවිධානය කරන ලද රෝහලේ සාදයකට වික්‍රම ඇයවත් කැඳවාගෙන ගියේය. මුලින් ඈ අකමැති වුවද මෙරිටාගේ බලවත් ඉල්ලීම නිසා ඇයද ඔවුන් සමඟ එකතු වූවාය. එහිදී ඇයට නවක වෛද්‍යවරයෙකු වන ගීසර කරුණාරත්න දැන හඳුනාගන්නට හැකි විය. ඔහු වික්‍රමගේ කුළුපඟ මිතුරෙකු විය. තවමත් අවිවාහකයෙකු වන ඔහුට මනමාලියක් සොයන බව සිනහසෙමින් පැවසුවේ වික්‍රමය.
“අපි හොයමු හොඳ කෙනෙක්ව…”
මෙරිටා එවිට කීවේද මඳහසක් පාමිනි. ගීසර ඒ මොහොතේ අංජලී දෙස බලා සිටියේ මනමාලියක් මේ මොහොතේ මුණ ගැසුණාක් බඳු දෑසිනි.
අංජලී ඒ බවක් නොදුටු අතර මෙරිටා නම් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ අංජලී වෙත බව මනාව දුටුවාය.
“අංජලී එයා ගැන මොන අදහසක් ඇති කරගෙනද කවුද දන්නේ…දැක්කෙත් අදමයි…”
ඈ සිතුවාය. තනිව කතා බහ කිරීමට අවස්ථාවක් ලැබුණු බැවින් ගීසර අංජලී සමඟ සුහද කතා බහකට පිවිසියාය. ඈ සේවය කරන තැන, කළින් කුමක් කළාද කියා ඔහු ඇගෙන් යම් යම් තොරතුරු කීපයක් විමසුවද අංජලී ඒවාට පිළිතුරු දුන්නේ නොකැමැත්ත සඟවාගෙනය.
“මං අනවශ්‍ය ප්‍රශ්න අහන එක ඔයාට කරදරයක්ද මංදා…”
ඔහු අවසානයේ එසේ කියන විට අංජලී ඔහු දෙස එක එල්ලේ බැලුවාය.
“ඒක හිතන්න තිබුණේ ප්‍රශ්න අහන්න කලින්…පස්සේ නෙවේ…”
ඈ ඍජුව පවසන විට ඔහු පත් වූයේ අපහසුතාවයකටය.
“සොරි…මං ඔයා ගැන දැනගන්නයි ඇහුවේ…”
“හ්ම්ම්…කෙනෙක්ව දැනගන්න කල් මුලින් දාහක් ප්‍රශ්න අහනවා…ඊට පස්සේ අර කුතුහළය නැති වුණාම කරන්නේ හිමින් මඟාරින එක…යාළුකම් ඇති වෙන්නේ හදිසියේ නෙවේ…ඒකට කාලයක් ඕන…”
ඈ ඇනුම්පදයක් එල්ල කළාය.
“ආහ්…මං එහෙම හිතුවේ නැහැ…”
“ඒත් මං නම් එහෙම හිතුවා…”
“ඔයා කෙළින් කතා කරන කෙනෙක්…”
“කෙළින් කතා කරන එක හොඳයි නේද…ඇදේට කතා කරනවාට වඩා…”
ඈ මඳහසක් පාමින් අසන විට ඔහුද තරමක හඬකින් සිනහසුණේය.
“ඔව් ඔව්…ඔයා හරි…අපි එහෙනම් හොඳ යාළුවෝ වෙයි…”
ඔහු අසනවිට ඈ පැකිළුණාය. අලුත් මිතුරු දම් ඇතිකර ගැනීමට ඈ තුළ එතරම් කැමැත්තක් නොවීය.
“ඒක තීරණය කරන්න ඕන කාලය…”
“මට ඔයාගේ නම්බර් එක ඉල්ලගන්න පුළුවන්ද…?”
ඔහු අසනවිට ඈ තිගැස්මට පත්විය.
“සොරි…මං පර්සනල් නම්බර් එක කාටවත් දෙන්නෙ නැහැ…”
ඔහු මවිතයෙන් බලා සිටියේ අදහාගන්නට නොහැකිව මෙනි.
“ආර් යූ සීරියස්…”
“ඔව්…මං.ඇත්තටම කිව්වේ…”
“ඔයා මාරයි…”
ඈ මඳහසක් පෑවා මිස කිසිත් නොකීවාය. මෙරිටා මිතුරියන්ගෙන් මිදී ඔවුනතරට පැමිණියෙන් එම කතා බහ ඉබේම නැවතිණි. පසුව සාදය අවසන්ව ඔවුන් පැමිණෙන අතරේ මෙරිටා අංජලීගෙන් ගීසර පිළිබඳව විමසුවාය.
“එයා මගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලුවා… මම කිව්වා මං කාටවත් නම්බර් දෙන්නේ නැහැ කියලා…අනවශ්‍ය කරදර ඔළුවට දාගන්න මං කැමති නැහැ…මං මෙහේ ආවේ කසාඳ බඳින්න කෙනෙක් හොයා ගන්න නෙවේනේ…”
සිනහසෙමින් ඈ කීවද එහි ඇනුම්පදයක ස්වරයක්ද විය.
“ඔව්…ඔව්…ඔයා එහෙම කියපු එක හොඳයි දුව…පොර මගෙන් නම්බර් එක ඉල්ලන්න බලයි…බලන්නකෝ බොරුද කියලා…”
“ඒක නම් කීයටවත් කරන්න එපා විකී…”
මෙරිටා වහා කීවේ අංජලී කීමට සූදානම් වූ දෙයමය.
——————————————————————————————————
ගයානි රැකියාවෙන් ඉවත් වූයේ අංජලී ඔවුන් හැර දමා ගොස් මාස තුනකට පමණ පසුවය. ශාමින්ද කීවේද ඇයට රැකියාවෙන් ඉවත් වන් ලෙසය. අංජලී සිටින තැනක් තවම දැනගන්නට නොහැකි වූ බව දැන ශාමින්ද සිටියේ බලවත් සිත් තැවුළෙන් මෙන්ම ගයානිගෙන් දැනගත් තොරතුරු නිසා සිතේ ඇතිවු බලවත් කෝපයකින්ද යුතුවය. දැන් ඉතින් කළහැකි කිසිත් නැත. ඔහු සිතේ ඈ කෙරෙහි ආදරය පෙරට වඩා දැඩි විය. හදිසියේ ඔහුට ලංකාවට පැමිණෙන්නට හැකියාවක්ද නොවීය. ඔහු වරින් වර මියුරටත්, ගයානිටත් ඇමතුම් දෙමින් ඈ ගැන සොයා බලන්නැයි කියා බල කළද ඔවුනටද කළ හැකි කිසිත් නැති බව ඔහු දැන සිටියේය. මේ සියල්ල මාලකගේ වරදය. දැන් ඔහුද සියල්ල හැරදමා විදෙස්ගතව ඇත. මේ අතර අංජලී මෙන්ම ගයානිද රැකියාවෙන් ඉවත්ව ගිය පසුව තුෂරද සිටියේ බලවත් කණස්සල්ලෙනි. අංජලී වෙනුවට සේවයට පැමිණි ධනූජාටද වූයේ අංජලීට මෙන් අවිහිංසක පෙනුමක් වූ අතර ඔහු සිතේ ඈ කෙරෙහි පහන් හැඟීමක් ඇති වුවද එය ආදරයක් නම් නොවීය. නිවැසියන් ඔහුට මනමාලියන් සෙවූවද ඔහු සියල්ල ප්‍රතික්ෂේප කළේ නොසතුටෙනි. සෙනුරත් හිමානිත් ඔහුට කීවේ අංජලී පිළිබඳව සිතා පළක් නොවන බවය. ඔහු ඈ පිළිබඳව සිතුවේ හුදෙක් නොලැබෙන ආදරයක් කියා නොව හොඳ මිතුරියක් අහිමිව ගියාක් මෙන් ශෝකී හැඟීමකිනි. ධනූජා කෙරෙහි සිතේ පැහැදීමක් ඇති වෙමින් පැවති බවක් ඔහු කිසිවෙකු හා නොපැවසුවේය. එය හුදෙක් පැහැදීමක් පමණක්ද නැතිනම් එය ආදරයක පෙරමඟ සලකුණුද කියා තවම පැවසිය නොහැකිය. හදිසි වන්නේ කුමකටද කියා ඔහු තනිවම සිතුවේය. අංජලී පිළිබඳව හෝඩුවාවක් සොයා ගන්නට තුෂරද උත්සාහ කළේය. සැවොම සිටියේ ඈ පිළිබඳව තැවුල් වූ සිත් වලිනි.
එය පුන් පොහොය දිනයකි. ගිම්හානි නිවැසියන්ද සමඟ නුවර දළඳා වඳින්නට ආවේ පුතුට සය මසක් පිරෙන විටය. තරමක සෙනඟක්ද සිටි නිසා ඔවුනට පමා වන්නට සිදු විය. නිවසින් තෙල් මල් රැගෙන ආ බැවින් මල් වෙළෙඳුන්ගෙන් මල් මිලදී ගන්නට වුවමනා නොවීය. ස්වභාදහමින් ලැබෙන මල් ටික කඩාගෙන විත් මෙහි අලවි කරන්නේ ඉතා වැඩිම මුදලකටය. නෙළුම් මල් වට්ටියක මිල අසන විට මහ දවාලෙත් තරු විසිවෙන තරම්ය. පෝලිමේ නොසිට ඉක්මනින් ඇතුළට යාමට අවස්ථාව උදා වූයේ දරුවා ඔසවාගෙන සිටි බැවිනි. මේනක සමඟ සිරිවර්ධන යුවළද ඇයත් සමඟම ඉක්මනින් ඇතුළට පැමිණියෝය. ඔවුන් දළඳා වැඳපුදා ගනිමින් සිටින විට අංජලීගේ හැඩරුව ඇති තරුණියක් එතනින් යනු දුටුවේ ගිම්හානිය. ඈ කලබලයෙන් මේනකට අමතන්නට හැදුවද ඔහු සිටියේ තරමක නුදුරින් හිඳ දෑස් වසාගෙන ගාථා කියමිනි. ඒ අංජලීම බවට සැකයක් නැත. නමුත් මේ මොහොතේ ඈ සෙනඟ අතර අතුරුදහන්ව ගොසිනි. මවට හෝ පියාටවත් ඒ ගැන කියාගන්නට නොහැකි වීමෙන් ගිම්හානි සිටියේ ළතැවුළෙනි.



