Tharu Mal Viyan තරු මල්වියන්
පියාගේ නිවසින් එළියට බැස අංජලී පාර දිගේ ඇවිද ආවේ ත්‍රී රෝද රියක් එතැයි බලාපොරොත්තුවෙනි. බොහෝ දුරක් ඇවිද ආවද ඇයට රථයක් හමු නොවිණ. සිතුවිලි ඉබාගාතේ සැරිසරන විට ඈ ජංගම දුරකථන අතට ගත්තේ කුළී රථයක් ගෙන්වා ගැනීමටය. මීට පෙර එය කරන්නට තිබුණ බවක් ඇයට සිහි වූයේ මේ මොහොතේය. තම පියවි සිහියද තමා කෙරෙන් ගිළිහී ගොස් ඇති බවක් ඇයට දැනෙමින් තිබිණි. දුරකථනය ක්‍රියා කරවූ සැනින් මඟ හැරුණු ඇමතුම් වලට පණිවුඩ ගලා එන්නට වූ බැවින් අංජලී මඳක් පමා වූවාය. ඇමතුම් ගෙන තිබුණේ ගයානිය. තමා නිසා ඈ කළබලයට පත්ව ඇතැයි ඇයට සිතිණි. ඈ ගයානිට ඇමතුමක් ගනිමින්ම ඇවිද ගියේ පාරේ අයිනෙන්ම වාගේය. එකවරම අතුරු පාරකින් දැමූ මෝටර් රථයක ගැටීමෙන් ඈ විසි වී ඇද වැටුණාය. රථය තිරිංග යොදා එකවරම නැවතූ රියදුරු ඉන් බැස ගෙන ඇය වෙත දිව ආවේ ක්ෂණිකයෙනි.
“ඕහ්…මයි ගෝඩ්…ඔයා හොඳින්ද…?”
ඇයට නැඟිට ගැනීමට උදව් වෙමින් ඔහු විමසුවේ කළබලකාරී හඬකිනි. නොරුස්සුමක් සිතේ ඇති වුවද ඈ ඔහුගේ කාරුණික හඬින් සිතේ නොපහන් බව නොපෙන්වා තමා හොඳින් යැයි කීවේ මැදි වයසේ හුන් එම පුද්ගලයා කෙරෙහි එක්වරම සිතේ ඇති වූ පහන් හැඟුම නිසාය.
“මට සමාවෙන්න…මගේ වැරැද්ද…මං එක පාරටම වාහනේ පාරට දැම්මා…ඔයාට ඇවිදින්න පුළුවන්ද…?”
ඔහු ඇයව නැඟිටුවා ඇගේ උර මතින්ම අල්ලාගෙන එක දිගටම විමසන්නට විය. රථය වැදුණේ දකුණු කකුලේ දණහිස ළඟය. ඉන් වේදනාවක් දැනේ.
“ටිකක් රිදෙනවා…”
කෙඳිරිලි හඬකින් ඈ කීවාය. ඇයට ජංගම දුරකථනය සිහි වූයේ මේ මොහොතේය.
“ආහ්…මගේ ෆෝන් එක…”
ඇයට කෑ ගැසිණි. ඔහුගේ දෑස් දිව ගියේ බිම විසිර තිබූ ජංගම දුරකථනය වෙතය. දැන් නම් එයින් ඇති වැඩක් නැති බව ඔහුට වැටහුණ මුත් අංජලීව මොහොතකට අත හරිමින් ඔහු වහා ගොස් බිඳී ගිය දුරකථනයේ කෑලි එකතු කරමින් එය රැගෙන පැමිණියේය.
“ඒකෙන් වැඩක් නැහැ…මගේ වැරැද්ද…ඔයාට අමාරුයි…ඔයා කොහාටද යන්නේ දුව…මං ඔයාව හොස්පිට්ල් එකට අරන් යන්නම්…අපි බලමු ඩැමේජ් මොනවද කියලා…පේන් එක එන්නේ දැන් නෙවේ…පස්සේ…මං බෙහෙත් දාන්නම්…”
ඔහු එක දිගටම කියවගෙන යන්නට විය. ඇයට රථය දෙස යළිත් වරක් බැලුණේ ඉබේමය. රෝහලට ගෙන ගියහොත් මෙදින එහි නවතා ගනු ඇත. ඇයට ආපසු නවාතැනට යෑමට වන්නේ නැත. ඈ තුළ තැති ගැන්මක් ඇති වූයේ එම නිසාම නොවේ. මේ නාඳුනන මිනිසා විශ්වාස කරන්නේ කෙසේද…?
“බය වෙන්න එපා…මං ඩොක්ටර් කෙනෙක්…මං ප්‍රැක්ටිස් කරන හොස්පිට්ල් එක තියෙන්නෙ පේරාදෙණිය රෝඩ් එකේ… අපි එතන්ට ගිහින් බලමු…”
රථයේ වෛද්‍යවරයෙකුගේ ලාංඡනය අලවා ඇති බව ඈ නෙත ගැටිණි. කුළී රියක් ගන්නට නොහැකිය. ජංගම දුරකථනය බිඳී ගොසිනි.
“එන්න…බය වෙන්න එපා…මාත් එක්ක යමු…නැත්නම් මං ඔයාව ඔයාගේ ගෙදරට එක්ක ගිහින් චෙක් කරලා බලන්නද…?”
ඔහු යළිත් කීය.
“ආහ්….මං මෙහෙ නෙවේ…මං මේ යාළුවෙක් මුණ ගැහෙන්න ආවේ…ඒත් එයාලා ගෙදර නැහැ…මං ආයේ මේ යන ගමන්…”
ඈ මුවට නැඟුණක් නිසා වහා මුසාවක් කීවාය.
“එහෙනම් අපි හොස්පිට්ල් එකට යමුද…?”
ඈ පැකිළෙමින් සිටිනු දැක ඔහු යළිත් ඇසීය. කළ යුත්තේ එයයි. ඈ එයට එකඟ වන විට ඔහු ඇයව අතින් අල්ලාගෙනම විත් රියට නැංවීය. ගයානි කළබලයට පත්ව ඇතැයි ඇයට සිතුණේ මේ මොහොතේය. නමුත් ඇයට ඇමතුමක් ගන්නට නොහැකිය. දොස්තරවරයාද විත් රථයට නැග ගෙන රිය පණ ගන්වා ගත්තේය.
“මම වික්‍රමාරච්චි…සර්ජන්…ඔය දරුවාගේ නම මොකක්ද…මෙහෙ ඉන්නේ යාළුවෙක් කිව්වා නේද…?”
ඔහු සුහදව විමසූ අතර පුදුමයකට මෙන් ඇයට දී තිබූ පියාගේ වාසගමද වික්‍රමාරච්චිය. නමුත් එය තමාට අයිති නැත
“මම අංජලී…”
ඈ සිය වාසගම නොකියා නම පමණක් පැවසුවාය.
“මං යාළුවෙක් හම්බෙන්න ආවේ…එයාගේ මාමාගෙ සර්නේම් එකත් වික්‍රමාරච්චි… සර්ලා නෑයොද දන්නැහැ…”
අංජලී මඳහසක් තවරාගෙන ඇසුවේ නිකමටය.
“මේ හරියේ මගේ රිලේෂන් කවුරුත් නැහැ…මං ආවේ මම දන්න කියන කෙනෙක් මුණ ගැහෙන්න…එයා පිට රට ඉඳන් ආවේ පෙරේදා…පොඩි පාර්සලයක් තිබුණා ගෙන්න ගන්න…ඒක..ග…න්න… ආවේ…”
ඔහු අවසන් වදන් පැවසුවෙ තරමක බිඳුණු හඬකින් බව ඇයට වහා වැටහිණි.
“සර්…හොඳින්ද…?”
ඈ විමසුම් බැල්මක් හෙළමින් ඇසුවාය.
“න්න්…නැහැ…මං හොඳින් නෙවේ…ළමයෝ…”
ඔහු වහා පිළිතුරු දුන්නේය. ඒ කුමක් දැයි අසන්නට නොහැකිය. තමාට අයත් කාර්යයක් නොවේ නිසා ඈ නිහඬ වූවාය. ඈ සිතේ කිව නොහැකි අනුකම්පාවක් මෙන්ම ලෙංගතු හැඟීමක්ද ඇතිව තිබුණේ මන්ද කියා ඇයට සිතා ගන්නට නොහැකිය. ඔවුන් ඉතා ඉක්මනින් නුවරට ළඟා වූ අතර අතරමඟ ඇමතුමක් ලැබුණ නිසා මඳකට රිය පාරේ පසෙක නැවතු ඔහු එම දුරකථනයට ඇමතුවේ ඒ සිය බිරිඳ බව කියමිනි.
“මං ටිකක් ලේට් වෙනවා ඩාර්ලින්…හොස්පිට්ල් එකට දුවලා එන්නම්…ඒක හරි…මං ඇවිත් කියන්නම්…”
ඔහු එපමණක් පවසා වහා කතා බහ නිම කළේය. පෞද්ගලික රෝහලක රිය ගාලේ රිය නැවතූ වික්‍රමාරච්චි අංජලීවද කැඳවාගෙන එහි ඇතුළුව පිළිගැනීම් අංශයේ අයෙකු සමඟ කතා බහ කර ඇයව බාහිර රොගීන් පරීක්ෂා කරන කාමරයකට කැඳවාගෙන පැමිණියේ එහි සේවය කරන හෙදියකද සමඟය.
කිව යුතු තරම් ආබාධයක් නැත. වේදනා නාශක බෙහෙතක් නියම කළ වෛද්‍යවරයා හෙදිය යවා එය ගෙන්වා ගත්තේය.
“මේකෙන් එකක් දැන් බොන්න…රෑ වෙනකොට පේන් එකක් එන්න පුළුවන්….ආයේ රෑට කෑම කාලා බොන්න…”
එවර ඔහු වෛද්‍යවරයාගේ භූමිකාව රඟමින් සිටියේය. ඈ හිස සැළුවාය.
“හොඳයි…අපි යමු…මං ඔයාව ඇරළවන්නම්…”
“කමක් නැහැ…මං මෙතනින් ට්‍රයිෂෝ එකක් ගන්නම්…”
“නැහැ…එහෙම බැහැ…මං ඇරළවන්නම්… එන්න…”
එවර ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය. රිය වෙත එන තුරුම ඔහු ඇයව අත නෑරියේය. එහි සේවකයන් සියළු දෙනම බලා සිටිනු දැක අංජලී සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඇති විය. වෛද්‍යවරයා ඇයත් සමඟ බස් නැවතුම්පළ වෙත යනවා වෙනුවට කුඩා හෝටලයකට කැඳවාගෙන පැමිණියේ ඇයට බොන්නට යමක් රැගෙන දෙන්නටය. තමා උදෑසන පටන් කුසගින්නේ සිටි බව ඇයට සිහි වූයේ මේ මොහොතේය.
——————————————————————————————————
නාඳුනන අංකයකින් ඇමතුමක් එන විට මාලක එයට ඇමතුවේ එතරම් සතුටකින් නොවේ. ඒ සංචලා වන්නට ඇතැයි සැකයක් ඔහු සිතේ ඇති විය. ඇමතුම ගයානිගෙන් බව දැන ඔහු තරමක් පුදුමයටත් කළබලයටත් පත් වූයේ හදිසියක් නොවේ නම් ඈ තම අංකයට ඇමතුමක් නොගන්නා බව දන්නා නිසාය.
ඈ පැවසූ විස්තරය අසා සිටි මාලකද කළබලයට පත් විය. ඈ නුවර ගියේ මන්ද…? එකත් එකටම මාමා මුණ ගැසෙන්නට විය හැකිය.
“කතා කර කර ඉන්නකොටම එයා කෑ ගැහුවා…මට බයයි…අංජලීට කරදරක් වෙන්න ඇති…”
ගයානි එසේ කියා නිහඬ වූයේ මාලක කතා කරන තුරුය.
“මං ඔයාට කතා කළේ සුදු අයියලාව කළබල කරන්න බැරි නිසා…මේ වෙලාවේ එයා ගෙදර ඉන්න එපැයි…”
“ගයා කලබල නැතුව ඉන්න…ඔයා බලන්න ආයේමත් එයා හදිසියේ හරි කෝල් එකක් ගන්න පුළුවන්…මං දැන් පිටත් වෙන්නම්… එයා කෝල් කළොත් විස්තර අහගන්න…”
“මාත් එනවා ඔයා එක්ක යන්න…”
ගයා වහා කීවාය. මාලක මොහොතක සිතුවේය. තමා තනිවම යනවාට වඩා එය හොඳය කියා ඔහුද සිතුවේය.
“ඔයා නුවර පාරට පික් මී එකක් දාන් එන්න…මං ඔයාව ගන්නම්…”
ගයානි එයට එකඟ විය. ඈ පිටත් වීමට සූදානම් වන මොහොතේ අංජලී නැවත ඇමතුමක් ගන්නා විට ඈ වහා එයට ඇමතුවාය.
“ඔයාට මොකද වුණේ අංජලී…?”
කළබලයෙන් ඈ ඇසුවාය.
“මං හොඳින්…මං දැන් එන්න යන්නේ… ඔයා බය වෙලා ඇති කියලා හිතුවා…මං ඇවිත් විස්තර කියන්නම්…”
ගයානි තවත් යමක් අසන්නට පෙර ඈ දුරකථනය විසන්ධි කළාය. ගයානි නැවත මාලකට ඇමතුමක් ගත්තේ මේ බව දැනුම් දෙන්නටය. ඔහු සිතට සියුම් සහනයක් දැනිණි.
“ගයා…”
ඈ ඇමතුම විසන්ධි කිරීමට පෙර ඔහු ඈ අමතන විට ඈ සවන් දුන්නාය.
“මගේ අතින් වුණ දේට මට සමාවෙන්න…”
ගයානිගේ ඒ මොහොතේ මුවේ ඇඳුණු උපහාසය මුසු සිනහව ඔහුට පෙනෙන්නට ඔහු ඈ අසළක නොවූ මුත් ඒ උපහාසාත්මක හඬ නම් ඔහුට පැහැදිළිවම ඇසිණි.
“ඒක කියන්න දැන් පරක්කු වුණා වැඩි නැත්ද…? මාලක මං ඔයාට කතා කළේ ඔයා කරපු දේවල් අමතක කරලා නෙවේ…මේ හැම ප්‍රශ්නයක්ම ඇති කළේ ඔයා…ඒක අමතක කරන්න එපා…”
ඈ දුරකථනය විසන්ධි කළේ නොසතුටෙනි.



