More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 02

    Tharu Mal Viyan තරු මල් වියන් – 02

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    අංජලී කුහුල් සිතින් ඇසුවද හිමානිගේ මුවේ ඇඳුණේ උපහාසය මුසු සිනහවකි.

    “මැරුණේ එයා නෙවේ…”

    ඈ කීවේ නොපහන් හඬකිනි.

    “එහෙනම්…?”

    “තුෂර…”

    යළිත් කුහුලක් ඇති කරමින් හිමානි කීවාය.

    “අපිට තේරුණේ නැහැ…තුෂර මැරුණා කියන්නේ…හංසිනී එයාට බූට් එක තිබ්බද…?”

    ගයා ඇසුවේ ඇගේ අගක් මුලක් නොමැති කතාව වටහා ගන්නට නොහැකිවය.

    “එයා වෙන කොල්ලෙක් එක්ක පැනලා ගියා…”

    හිමානි කියන් විට තිදෙනම මුහුණින් මුහුණ බලා ගත්තේ එය අදහන්නට නොහැකිවය.

    “මොනවා…!”

    ඔවුන් තිදෙනම කීවේ එකවරමය.

    “ඔව්…හංසිනී වෙනුවෙන් හැමදේම කරලත් එයා අන්තිමේදි වෙන එක්කෙනෙක් එක්ක පැනලා ගියා…ඒකෙන් තුෂර ගොඩක් අවුල් වුණා…අද මෙහෙම හරි එයා ඉන්න එක ලොකු දෙයක්…ගෙදර අය විතරක් නෙවේ…අපි හැමෝම අප්සට් වුණා…තුෂර හුඟක් මෙන්ටලි වැටුණා…අපි පුළුවන් තරම් එයා එක්ක හිටියා…සෙනුරයි මායි එයාව මේ කෝස් එක් ෆලෝ කරමු කියලා එක්ක ආවේ එයා ගෙදරට වෙලා හිටියොත් පිස්සු හැදෙයි කියලා හිතලා…නැතුව ඉතින් තුෂරට මේවා ඇති වැඩක් නැහැ…එයාට ඕන තරම් සල්ලි තියනවා…මේකෙන් පොඩි වෙනසක් වෙනවානේ…එයාට කල්පනා කරන්න වෙලාවක් නැති වෙනවා…”

    අංජලී සුසුමක් හෙළුවාය. ඈ මෙවන් දෙයක් සිදුව ඇතැයි කියා නිකමට හෝ සිතා නොතිබුණාය. සෙනුරත් හිමානිත් තුෂර සමඟ පන්තියට ඇතුළු වනු දැක අංජලී ඔවුනට සුහද සිනහවක් පෑවාය. පන්තිය ආරම්භ වූයෙන් ඔවුනට කතා බහට වේලාවක් නොලැබිණි.

    “අපේ තුෂර නිතර ඔයා ගැන කියනවා අංජලී…”

    විවේකය වෙලේ හිමානි අංජලී සමඟ කියන විට ඈ හිමානි දෙස බැලුවේ ගත පුරා සිහින් දාදිය නැඟෙන විටය. මාලක ගෙනා යෝජනාවෙන් සිත කළබල කරගෙන සිටි අංජලී හිමානි කී දෙයින් යළිත් තැති ගත්තාය. ඒ මොහොතේ තුෂර හෝ සෙනුර ඔවුන් අසල නොවීම වාසනාවකි.

    “කාලෙකට පස්සේ එයාට කෙනෙක්ට හිත ගිහින්…”

    වායුසමීකරණය කරන ලද කාමරයේ සිටියද අංජලීගේ කොඳු ඇට පෙළ දිගේ සිහින් දා බිඳු ගලා යනු ඇයට දැනිණි. කුමක් සිදු වන්නට යනවාද කියා ඇයට සිතා ගන්නට නොහැකිය. හිමානි නැඟිට ඉවතට ගියේ ඇගේ සිත අලුතින් කඩා බිඳ විසුරුවා දමමිනි.

    එදින ඉරු දිනකි. මාලක හැරුණු කොට නිවසේ සියල්ලෝම එදින නිවසේ සිටියහ. මාලක පාඨමාලාවක් හදාරණ බැවින් ඉරු දින ඔහු නිවසට එන විට සවස් වේ.
    මාමාත් නැන්දාත් ආලින්දයට වී කතා බහකය. මිදුලේ සිට අංජලී නිවසට ගොඩ වී ආලින්දය හරහා කාමරයට යෑමට සූදානම් වන විට මාමා ඇයව ඇමතුවේය.

    “කෝ දුව අපේ සුදු පුතා…?”

    මාමා ඒ ඇසුවේ මේනක ගැනය. මේනක සිටියේ කාමරයට වී පරිඝණකයේ කාර්යයක නිරතවය.

    “කාමරේ මාමා…”

    “එන්න කියන්නකෝ…අපිට එයා එක්ක කතා කරන්න කාරණාවක් තියනවා…”

    මාමා එකත් එකටම සුදු අයියා හා කතා බහ කරන්නට යන්නේ ගම්පොළින් ඔහුට ආ මංගල යෝජනාව ගැන විය යුතුයැයි අංජලි අනුමාන කළාය.
    අංජලී කාමරයට දිව ගියේ මේනකව සොයාය. ඔහු පරිඝණකයට දෑස ඔබාගෙන කාර්යයක නිරතව සිටි අතර අංජලීගේ හදිසි කඩා පාත් වීමෙන් වහා හැරී ඈ දෙස බැලුවේය.

    “අංජු මොකෝ මේ කලබලෙන්…?”

    ඔහු සිය කාර්යය මඳකට නවතා විමසුවේ ඈ දෙස වුවමනාවෙන් බලමිනි.

    “අන්න මාමා එන්න කිව්වා…”

    “ඇයි…?”

    “ඔෆිස් එකට ගිහිල්ලාත් වැඩ…නිවාඩුදාට ගෙදර ඉඳගෙනත් වැඩ…එක්කෝ සුදු අයියා ඉරිදාටත් ඔෆිස් යන්න…එතකොට හරිනේ…ගෙදර ඉන්න දවසටවත් ගෙදර මිනිස්සු එක්ක කතා බහක් නැහැ… දවසම කාමරේනේ…”

    ඈ නෝක්කාඩු කීවේ මාමා එසේ කී නිසා නොවන බව මේනකට වහා වැටහිණි. ඔහු මුව මත නැගුණු මඳහසකින් යුතුව අංජලී දෙස බැලුවාය.

    “ඔය ටික කීවේ තාත්තමද…?”

    “නැතුව ඉතින්…මමයැ…”

    ඈ මවාගත් නොමනාපයකින් යුතුව කීවාය.

    “හ්ම්ම්…හරි හරි…දැන් මොකටද තාත්තා කතා කළේ…?”

    “මං දන්නේ නැහැ…ගිහින් අහගන්න…මට කිව්වේ එන්න කියන්න කියලා විතරයි…”

    ඈ ආවා සේම කඩා බිඳගෙන පිටතට දිව ගොස් නැන්දා පසෙක හිඳ ගත්තාය. මේනකද ඒ සමඟම පිටතට පැමිණියේය.

    “මොකද ළමයෝ මේ…නිවාඩුදාටත් වැඩ…? ඕවා ඔෆිස් එකේ තියලා එන්න මීට පස්සේ…”

    ඉන්ද්‍රාණි මහත්මිය කතා කළේ නොසතුටු හඬකිනි. මේනක නිහඬව මවගේ නෝක්කාඩුව අසා සිටියා මිස ඊට විරුද්ධව කිසිවක් නොකීවේය.

    “මෙහෙන් වාඩි වෙන්නකෝ…අපිට ඔයාට දෙයක් කියන්න තියනවා…”

    මේනක පියාගේ අණට කීකරුව හිඳ ගත්තේ කුහුල් දෑසින් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.

    “මොකක්ද තාත්තේ…?”

    “ඔයාට මතකද අපි එදා ගම්පොළ වෙඩින් එකට ගිය වෙලේ මීට් වුණ සිරිවර්ධන අංකල්…?”

    මේනකට ඔහුව එක්වරම සිහියට නොනැඟිණි.

    “මට මතක නැහැ…”

    පියා කුමක් කියන්නට යනවාද කියා ඔහුට තවමත් වැටහුමක් නොවීය.

    “හරි…හරි…ඒකෙන් කමක් නැහැ…එයාලා ඔයාට ප්‍රොෆෝසල් එකක් ගෙනත්…”

    පියාගේ කතාවෙන් මේනක තුළ එක්වරම ඇති වූයේ තිගැස්මකි.

    “ප්‍රොෆෝසල් එකක්…!”

    කළබල හඬකින් ඔහු ඇසීය.

    “ඕකට ඔයිතරම් කලබල වෙන්න ඕන නැහැ ළමයෝ…”

    ඉන්ද්‍රාණි මහත්මිය වහා කීවේ සිනහවක් නංවාගෙනය.

    “මට දැන්ම මැරි කරන්න බැහැ තාත්තේ…”

    මේනක කීවේය. ඔහුද තුෂර මෙන්ම ආදරය නිසා අමිහිරි අත්දැකීමකට මුහුණ පෑ අයෙකු විය. මේනක විවාහයකට අදි මදි කරන්නේ ඒ නිසා වන්නට ඇතැයි කියා අංජලී මෙන්ම ඉන්ද්‍රාණිත් හේෂානුත් සිතූහ.

    “දැන් ඉතින් ඔය පරණ දේවල් අමතක කරලා දාලා වෙන දෙයක් බලමු ළමයෝ…”

    හේෂාන් පුතු ගැන උපන් අනුකම්පාවෙන් කීවේය.

    “මං ඒවා ගැන හිතන්නේ නැහැ…මට ස්කෝල් එකකට ඉන්ග්ලන්ඩ් යන්න වෙලා…ඒක හරියට කන්ෆර්ම් කරගන්න කල් මං නොකියා හිටියේ…”

    එය නම් සතුටුදායක පුවතකි.

    “ෂා…! ඒක ඇත්තද පුතේ…මොනතරම් දෙයක්ද…?”

    ඉන්ද්‍රාණි කීවේ සතුටිනි.

    “ඔව්…ළඟදිම යන්න වෙයි…ඒකයි මං කිව්වේ දැන්ම මැරි කරන්න බැරි වෙයි කියලා…”

    “ඒකට කමක් නැහැ…කතා බහ කරලා තියා ගත්තට පුතේ අද හෙට මැරි කරන්න යනවා නෙවේනේ…අපි ගිහින් බලමු…අනික අපි දන්න කියන මිනිස්සුනේ…”

    හේෂාන් කීවේ මේනක මේ අදහසට විරුද්ධ වනු ඇතැයි බියකිනි.

    “හොඳයි…හොඳයි…හොඳ විදියක්…හැබැයි ඉතින් මට අවුරුදු දෙකක් වත් ඉන්න වෙයි…”

    ඔහු කියන විට මවත් පියාත් මුහුණින් මුහුණ බලා ගත්තේ සහනයට පත් විලසකිනි.
    ——————————————————————————————————
    මේනකගේ විදෙස් ගත වීමෙන් පසුව නිවස තුළ වූයේ දැඩි පාළුවකි. එය වඩාත් දැනුණේ අංජලීගේ සිතටය. ඔහු මාලක මෙන් නොවේ. ඇයට සැබෑම සොහොයුරෙකු විය.

    “පුතා ඒ ළමයට කැමති වුණ එක නම් ලොකු දෙයක් හේෂාන්…”

    ඉන්ද්‍රාණි මහත්මිය කීවේ සිතේ වූ බරක් සැහැල්ලු වුණාක් මෙන් සහනයට පත් හඬකිනි.

    “ඒක නම් ඇත්ත ඉන්දු…කොහොම වුණත් සිරිවර්ධනව මම එදා ඉඳන්ම දන්නවානේ…දුවත් ලස්සනයි…හරිම හොඳ ළමයෙක් බව බැලූ බැල්මට පේනවනේ…”

    මේනක විදෙස් ගත වන්නට පෙර ඔවුන් ගම්පොළ ගොස් පැමිණිදාට පහුවදා ඇති වූ කතා බහ අංජලීගේද සවන් වැකිණි. ගිම්හානි රූමත්ය. මාමා කියන්නාක් මෙන් ඇගේ ගතිගුණද හොඳ යැයි කියා අංජලීටද වැටහී ගියේ ඈ හමු වූ මුල් දිනයේමය. ඔවුන් ගම්පොළ සිරිවර්ධන මහාතාගේ නිවසට ගියේ හුදෙක් මනමාලියක් බලන්නට යන අදහසින් නොවේ. පැරණි මිතුරු දම් අලුත් කරගන්නට යන ගමනක් වූ බැවින් මෙය සම්ප්‍රදායී මනමාලිය බැලීමක් නොවූ නිසා එකිනෙකා සමඟ සුහදශීලී ලෙස කතා බහ කරන්නට ලැබුණු අවස්ථාවෙන් අංජලීටද ගිම්හානි ගැන යම් අවබෝධයක් ගන්නට හැකියාවක් ලැබිණි. මේනකට ගැළපෙන්නේ ඈ වන් යුවතියකැයි කියා අංජලීටද සිතී තිබූ නිසා මාමා කී දේ පිළිබඳව ඇයද එකඟ වූවාය. ගිම්හානි මේ වන විටත් ඇගේ හොඳ මිතුරියක වී සිටියා සේම ඔවුන් දුරකථනයෙන් නිතර කතා බහද කළෝය.

    “සුදු පුතා ඒ ළමයාට කැමති වුණ එක නම් ලොකු දෙයක්…”

    ඉන්ද්‍රාණි මහත්මිය යළිත් වරක් කීවාය. ඒ අතර අංජලී සිතුවේ පරිගණක පාඨමාලාව අවසන් වූ විගස රැකියාවක් සොයා ගත යුතු බවය. නැන්දා මාමා ඊට ඉඩ දේවිද සැකයකුත් ඇගේ සිතේ විය.

    “මෙතන්ට වෙලා හොරෙන් අනුන්ගේ කතා අහන් ඉන්නවා නේද…?”

    කෑම කාමරයේ අසුනක හිඳ ගෙන මුළුතැන්ගෙයි කතා බහට සවන් දෙමින් සිටි අංජලී තිගැස්සී ගියේ මාලකගේ හඬිනි.

    “අනුන්ගේ කතා නෙවේ…ඒ ගෙදර කතා බහක් නේ…”

    අංජලී සිත යට වූ තිගැස්ම සඟවා ගන්නට තැත් දරමින් කීවාය. ඇගේ අතේ වූ නවකතා පොත මාලක උදුරා ගෙන එක් බැල්මක් ඒ වෙත හෙළා යළි එය ඈ අතට දුන්නේ නොකැමැත්තෙන් දෙවුර හකුළුවමිනි. ඔහු නවකතා කියවීමට ප්‍රිය කළ අයෙකු නොවීය. අංජලී ඔහුව මඟහැර හුනස්නෙන් නැඟිට යෑමට සූදානම් වන විට මාලක වහා ඇගේ අතින් අල්ලාගෙන ඇයව වළකාලීය.

    “මොකද මාව මඟාරින්න හදන්නේ…?”

    මාලක පහත් හඬින් අසන විට අංජලී තිගැස්මෙන් වටපිට බලන්නට වූයේ හදිසියේ මාමා හෝ නැන්දා පැමිණියොත් කියා බියෙනි.

    “මාමලා එයි මාලකයියේ…මාව අතාරින්න…”

    බියපත් හඬකින් ඈ කීවාය.

    “මං කියපු දේ ගැන හිතුවද…?”

    ඔහු අසන විට ඈ අසරණ දෑසින් ඔහු දෙස බැලුවාය. ඔහුට දීමට පිළිතුරක් ඈ තුළ නොවීය. ඇගේ සිත බියෙන් සැළිණි.

    “න්…නැ…හැ…”

    පහත් හඬින් ඈ කෙඳිරුවාය.

    “ඇයි…?”

    “මට බයයි…මේවා කවදාවත් සිද්ධ වෙන දේවල් නෙවේ…ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ…?”

    “අපි ඒවා පස්සේ බලාගමුකෝ…”

    ඔහු කීවේ ඈ කී දේ ගැන කිසිදු තැකීමක් නොමැතිවය. තම සිතේ ඇති බිය ගැන ඔහුට කිසිදු හැඟීමක් පවා නොමැති ගානය.

    “දුව…”

    නැන්දාගේ හඬ ඇසුණු මාලක වහා ඉවත ගියේ ඇගේ බාහුව මුදා හරිමිනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page