NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 59

Pini Muthu Palasa පිනි මුතු පලස – 59

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

දිනෙන් දින වෙනස් වන පූජිතගේ වෙනස මට දරා සිටින්නටද නොහැකි සෙයකි. පෙර ඔහුතුළ වූ රළු පරළු සැඩ ගතිය ඔහු කෙරෙන් මුළු මනින්ම දුරුව ගියාක් මෙන් ඔහු වඩා කරුණාවෙනුත්, මෘදුවත් මා ඇමතුවේය. නිවසේ වැඩ පළට පවා මට උදව් වූයේ මා පුදුම කරවමිනි.

“මම පොල් ගාලා දෙන්නම්…ඔයා ඔය වැඩේ කරන්න…”

“මං අතුගාන්නම්….”

“මං රෙදි ටික වේලෙන්න දාන්නම්…ඔයා ඉන්න…”

මෙසේ ඔහු පොඩි පොඩි වැඩට පවා සහය විය. පොල් ගෙඩිය පවා ලෙලි ගසා පොල් ගා දුන්නේය. මාළු ටික සුද්ද කොට කපා දුන්නේය. මිදුළ උදළු ගා අතු ගා දමා කොහෙන්, කොහෙන් හෝ රැගෙන ආ මල් පැළඳ සිට වූවේය. අම්මා මෙදෙස බලා සතුටු වන බව මට පෙනිණි. මා ඒ පිළිබඳව සතුටු වන්නද, දුක් වන්නද කියා සිතා ගන්නට නොහැකිව මා සිත අතරමං වී ඇති බවක් මට හැඟිණි. මා තවමත් රජිව් පිළිබඳව සිතමින් පසුවූවා සේම කෙතරම් ඔහු අමතක කරන්නට උත්සහ කළද මා තවමත් ඔහුට ආදරය කරන බව මට තදින්ම දැනෙන්නට විය. පූජිත බොහෝ දිනකින් රැකියාවට නොගිය නිසා මම දිනක් ඔහුගෙන් ඒ ගැන විමසීමි.

“මම ඒ රස්සාවෙන් අයින් වෙන්න හිතුවා…”

“ඉතින් අයින් වෙලා…?” මම පුදුමයෙන් ඇසීමි.

“මගේම කියලා මොනවා හරි දෙයක් පටන් ගන්නවා…”

“ඒක නම් හොඳයි තමා…ඒත් මොන වගේ දෙයක්ද කරන්න හිතන් ඉන්නේ…?”

“ඔයාට හිතෙන්නේ මොන වගේ දෙයක් කළොත් හොඳයි කියලද…?”

එවිට ඔහු එක එල්ලේ මා දෙස බලා විමසුවේය. මම මොහොතක් සිතුවෙමි. ඔහු මගෙන් යම් දෙයකට හෝ උපදෙස් විමසූ පළමු වතාවය.

“වැඩිදුර යන්න ඕන නැහැ…මේ වත්තේ කොච්ව්ර පොල් ගස් තියනවද…? ඒ ටිකට හොඳට පොහොර දාලා ගස් ටික නඩත්තු කළා නම්…වෙන මොකුත් කරන්න ඕන නැහැ…පොඩි ලොරියක් අරගෙන ඔයාටම පුළුවන් විකුණ ගන්න…එහෙම නැත්නම් බ්ලොක් ගල් මැෂිමක් ගන්න…ගෙදර ඉඳන් ඒක කරන ගමන් පොල් බිස්නස් එකත් කරගන්න පුළුවන්…”

මම කීවෙමි.

“මම හිතුවේ සිල්ලර බඩු කඩයක් දාගන්න…”

“සිල්ලර බඩු කඩ දෙකක්ම මේ ළඟම තියනවානේ…ඒක නිසා ඒක වැඩක් නැහැ…ඔයත් එකක් දැම්මොත් අර කඩවලටත් පාඩුවක්…ඔයාටත් බිස්නස් හැදෙන්න කාලයක් යනවා…හැමෝම කරන දේ කරන්න යන්න හොඳ නැහැ…අපි කරන්න ඕන කවුරුවත් නොකරන දෙයක්…අතරමඟ කඩා නොවැටෙන දෙයක්…”

ඔහු උනන්දුවෙ අසා සිටියේය.

“ඔයාගේ මොළේ තමා මොළේ…එහෙම කෙනෙක්ට මං සළකපු විදිය වැරදියි…”

පසුතැවිල්ලක් ඔහු සිතේ ඇති වූවා වන්නට ඇත. මවෙත නැඹුරු වූ පූජිත මගේ නළලත මෘදුව සිප ගත්තේය. එවන් මෘදු බවක් මීට පෙර ඔහුගෙන් නොලද නුහුරු බව නිසාදෝ මසිත ගැස්සිණි. ඒ මොහොතේත් මට සිහිවූයේ රජිව්ය. පූජිත මගේ සැමියා යැයි පිළිගැනුමට තවමත් මා සිත සූදානම් නැතිවාක් මෙනි.
——————————————————————————————————
“ඔය රාජකරුණා උඹට කවදාවත් ඌ ගාවින් උඹට අයින් වෙන්න දෙන්නේ නැහැ…”

අම්මා කීවේ පූජිත සිය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කර සිටින බව පවසන විටය.

“එහෙම කොහොමද…? අපිටත් කියලා ජීවිතයක් තියෙන්න එපැයි…”

පූජිත කීවේ කෝපයෙනි.

“ඔය මිනිහා කැමති වෙන්නේ නැහැ…උඹ ඔය රස්සාවෙන් අයින් වෙනවට…උඹ ඌට හිතවත්ව ඉන්න තාක් කල් ඌ උඹට හොඳින් සළකයි…උඹ අයින් වෙනවා කිව්වොත් ඌ ඔරොප්පු වෙනවා කියන එක මට සහද්සුද්දෙන්ම කීවෑකි…”

පූජිත කල්පනා කරන්නට විය. මා සිතේද ඈ කියූ කාරණය පිළිබඳව ඇති වූයේ බියකි.

“ඌ කොහොමද එහෙම කරන්නේ…?”

“කොහොම හරි කොරයි…අපිට වඩා ඌ ගැන දන්නේ උඹනේ…කරන දෙයක් සිහි කල්පනාවෙන්…”

පූජිත කිසිත් නොකියාම මිදුලට බැස යළි පැමිණියේ කිසිවක් අමතකව ගියාක් මෙනි.

“මං හංදියට ගිහින් ඉක්මනට එන්නම්…”

ඔහු එසේ කියන විට මට පුදුම නොවී බැරි විය.

“හා…පරිස්සමින්…”

මා මුවින් පිට වූයේ නිතැනිනි. මීට පෙර ඔහු යනෙන තැන් කිසිවක් මා හා පැවසුවේ නැත. මේ ඔහුගේ තවත් වෙනසකි. පෙර මෙන් ඔහු බීමත්ව නිවසට පැමිණියේද නැත. පසුගිය දිනක මිතුරන් කිහිප දෙනෙකු ඔහුව කැඳවා ගෙන යෑමට පැමිණියද ඔහු නොගියේය.

“උඹලා සෙට් වෙයල්ලා…මම බීම නැවැත්තුවා…”

ඔහු ඔවුනට පවසන හැටි මට කාමරයට ඇසිණි.

“මම නම් හිතුවේ නැහැ…මේකා මෙහෙම වෙනස් වෙයි කියලා…”

අම්මා දෙවියන්ට පින් දෙමින් කීවාය.

“දරුවෙක්ව ගුණ යහපත් කමින් හදන එක අම්මා කෙනෙකුගේ වගකීම…”

මා එසේ කීවේ ඇනුම් පදයක් ලෙසින් නොව මා සිතට දැනුණ දේය. ඈ දිගු සුසුමක් හෙළුවාය. අතීතය පිළිබඳව ඈ සිතේ පසුතැවිල්ලක් ඇතැයි කියා මට සිතිණි.

“ඔව්…මට මගේ කොල්ලාව හදන්න බැරි වුණා…ඌ හැදුණේ මං ගාව නෙවේනේ…මට ඌ ගැන බලන්නත් බැරි වුණා…”

අම්මාගේ හඬේ වූයේ ශෝකයකි. මම නිහඬ වූයේමි. වැළලී ගිය අතීතයක් යළි ගොඩට ඇද දමා කිසිවෙකුට ලැබෙන සැනසීමක් නැත. පෙඟෙන්නට දමා තිබූ රෙදි ටික සෝදන්නට මම පිටුපසට ආවේ අම්මා කාමරයට වැදෙන විටය. පූජිතගේ රෙදි ටික සෝදා වැල මත වනන විට මට සිහි වූයේ රජිව්ගේ රෙදි සේදූ හැටිය.

“අක්කේ…”

නිරෝෂාගේ හඬින් මම තිගැස්සුණද මා මුවේ රැඳී තිබූ මඳහස නම් ඈ දකින්නට ඇතිවාට සැක නැත.

“මොනවද තනියම හිනා වෙවී කල්පනා කරන්නේ…පූජිතයියාගේ මොනවා හරි මතක් වෙලා වගේ…?”

නිරෝෂා අතින් මුව වසාගෙන ඇසුවේ මා වැළ මත වනමින් සිටි පූජිතගේ යට ඇඳුම් දෙස බලා ලැජ්ජාවෙන් ඇඹරෙමිනි. මා සිතමින් සිටියේ රජිව්ගේ ඇඳුම් සේදූ දා ඔහු කියූ දේ ගැන මිස පූජිත ගැන නොවේ.

“අනේ…අනේ…කෙල්ල හොඳටම නරක් වෙලා…”

අත්ලේ රැඳී තිබූ දිය බිඳු ඇගේ මුහුණට ඉසිමින් මම කියන විට ඈ තරමක් හඬින් සිනහසුණාය.

“අපි කිව්වොත් තමා නරක…”

බොරු අමනාපයකින් ඈ කීවේ සිනහව සඟවාගෙනය.

“පිස්සු…”

බේසමේ ඉතිරිව තිබූ වතුර ටික දෙහි ගස පාමුලට හළා මම තෙත දෑත් හැඳ සිටි චීත්තයෙන් පිස ගතිමි.

“පූජිතයියා දැන් හුඟාක් වෙනස් වෙලා අක්කේ…”

“හ්ම්ම්…”

මා කළේ හූ මිටි තැබීමය.

“අක්කා තාමත් අර අයියා ගැන හිතනවද…?”

ඇගේ පැනයෙන් මා තුළ පුදුමයක් හෝ තිගැස්මක් ඇති නොවීය. මේ මොහොතේත් මා සිතමින් සිටියේ ඔහු පිළිබඳවය.

“මං එයා ගැන හිතුවා කියලා ඇති වැඩක් නැහැ නිරෝෂා…ඒකෙන් එයාට වෙන යහපතක් නැහැ…අනික මං දැන් අවලංගු කාසියක්…”

“ඒත් අක්කේ…ඔයා තාම එයාට ආදරෙයි නේද…?”

ඇගේ කතාවෙන් පුදුමයට පත්ව මම ඈ දෙස බැලීමි.

“අනේ පණ්ඩිත ආච්චි ඔයා කොහොමද එහෙම කියන්නේ…?”

“එයාම තමා මට කිව්වේ…මට හමුවුණ වෙලේ…”

මා තුළ තිගැස්මක් ඇති විය.

“එයාව හමුවුණා…ඒ කොහේදිද…?”

“ඔයා ඒක අහලා කලබල වුණා…ඔයා තාමත් එයා ගැන හිතනවා නේද…?”

මා ඇසූ දෙයට පිළිතුරක් නොදී ඈ පෙරළා මා විමසුවාය. මා සිත නොඉවසිළිමත් වූයේ ඇයට රජිව් හමු වූයේ කොහේදීද යන්න දැන ගැනුමටය.

“එහෙම නැහැ කියන්න බැහැ…ඒක නැහැ කිව්වොත් ඒක බොරුවක්…ඒත් ඔයාට එයාව මුණ ගැහුණේ කොහේදිද…?”

“ගිය සතියේ පොළට ගිය වෙලේ…ඔයයි අයියායි එළවලු තෝර තෝර ඉද්දි මං නිකමට වළං කඩේ දිහා බැලුවා…අර අයියා එතන හිටගෙන ඉන්නවා දැකලා මට පුදුම හිතුණා…මං ඔය දෙන්නව මඟෑරලා ගිහින් එයා එක්ක කතා කළා…”

“මොනවා…ඔයා ඇයි ඒ වෙලේ මට ඒක නොකීවේ…?”

පුදුමයෙනුත් කුතුහළයෙනුත් වේදනාවෙනුත් මම ඇසීමි. ඔහු එසේනම් යළිත් වතාවක් පැමිණ ඇත.

“ඒ වෙලේ ඒක කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ…අනික මං ඒ වෙලේ ඕක ඔයාට කිව්වා දැන් ඔයා කලබල වුණා වගේ කලබල වෙලා…එයා ඉන්න දිහා බලයි…පූජිතයියා ඒක දැකලා සැකයක් ඇති කරගත්තා නම් මෙතන අද තුන් හතර දෙනෙක්ට වළවල් කපන්න වෙලා…”

ඈ කියන්නේ සත්‍යයකි.

“එයාට ඔයා ගැන සැකයක් වත් ඇතිවෙන්න හැසිරෙන්න නම් එපා… එහෙම වුණොත් අක්කේ එයා කලින් හිටපු පූජිතට වඩා හපන් වෙනවා ෂුවර්…”

නිරෝෂා මා මෙන් නොවේ. ඈ දුරදිග බලා කටයුතු කර ඇත. ඒ අතින් බලන විට මම ඇයට වඩා ළාබාලය.

“එයත් දැක්කා ඔය දෙන්නා දැන් සතුටින් ඉන්නවා කියලා…මම කිව්වා පූජිතයියා දැන් ඉස්සර වගේ නෙවේ…ගොඩක් වෙනස් අක්කාටත් හරි ආදරෙන් සලකනවා කියලා…අපි එදා පන්සල් ගිය දවසෙ එයාත් ඒක දැක්කා කිව්වා…එයා මෙහෙත් ඇවිත්…”

මා ඔහු දුටු බවක් මම නොකීවෙමි.

“ඔයා සතුටින් ඉන්නවා නම් එයාටත් ඕන එච්චරයි කිව්වා…”

මා මුවින් සුසුමක් ගිළිහිණි. අහිමි වීමක වේදනාවක් මා සිතට දැනිණි. මා පූජිත සමඟ අකමැත්තෙන් හෝ පැමිණියේ රජිව්ගේ ජීවිතයට මා නිසා යම් අසාධාරණයක් සිදු නොවනු දැකීමටය. ඔහුගේ අනාගතය අඳුරු නොකර ලස්සන ජීවිතයක් හිමි වනු දැකීමේ ආසාවටය. ඉතින් මා සිත හදාගෙන ජීවත් විය යුතු නොවේද.?

“පූජිතයියා දැන් හුඟාක් වෙනස් වෙලා අක්කේ…එයාව ආයෙමත් පරණ ජීවිතේට ඇදලා දාන්න නම් එපා…එහෙම වුණොත් ඔයා කරගන්නේ ලොකු පවක්…ඒක මේ ආත්මෙදි නම් ගෙවලා ඉවර කරගන්න බැරි වෙයි…”

නිරෝෂා කී දෙයින් මා තුළ ඇති වූයේ බියකි. එවැන්නක් සිදු වීමට ඉඩක් මගෙන් නම් සිදු නොවන බව මම ඉඳුරාම දනිමි.

“ආහ්…මේ දෙන්නා මෙතනද…?”

පූජිතගේ හඬ ඇසී අපි දෙදෙනම වහා එදෙස බැලීමු. පිටුපස දොරින් මිදුලට බැස ඔහු අප දෙසට ඇවිද ආවේය.

“මොකද දෙන්නා එක්ක කුමන්ත්‍රණයක්ද…?”

ඔහු ඇසුවේ මඳහසක් පාමිනි.

“ඔව් ඔව්…කුමන්ත්‍රණයක්…ජනාධිපති මැදුරට පනින්න කියලා බැලුවේ…”

නිරෝෂා සිනහසෙමින් කීවාය.

“උඹ ඕන මඟුලක් කරගනින්…මගේ නෝනව ඕවට ගාව ගන්නේ නැතුව…”

මා වෙත ළංවූ පූජිත මගේ කරවටා දෑත යැවුවේ ඔහු වෙත ළං කරගනිමිනි.

“අම්මාද බොල…මෙයා බලහල්ලකෝ… හා හා…නෝනාව හයියෙන් අල්ලලා තියා ගන්න…මම යනවා…”

නිරෝෂා සිනහසෙමින් කියා අපෙන් සමුගෙන වැටෙන් පැන නිවස දෙසට යන විට අපිත් ගෙතුළට ආවෙමු.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you