More
    NovelsMandaramen EhaMandaramen Eha - 26 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 26 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – සිරිවර්ධන මුදළාලි සුපුරුදු උද්‍යාන බංකුව මතට වී පයිප්පය උරමින්, පුවත්පත වෙත දෑස් යොමා උන්නේය. එහෙත් ඔහුගේ දෑස විටින්,විට සිය දෙමහල් නිවසේ ප්‍රධාන දොරටුව වෙත සුපරික්ෂාකාරී වූයේ කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙනි. මොහොතකින් එම දොරටුවෙන් උද්‍යාන භූමියට පා තැබුවේ සිය වැඩිමහල් පුතු වූ සුදු මහත්තයාය. බලාපොරොත්තුවේ සේයාව එය බව පසක් කරමින්, සිරිවර්ධන මුදළාලි පුවත්පත පසෙක තබා, පයිප්පය මුවෙන් ඉවතට ගත්තේය.

    “ලොකු ළමයා…”

    සිය යතුරු පැදිය වෙත එමින් සිටි සුදු මහත්තයා, සිය පියාගේ හඬට අවනතව ඔහු වෙත පැමිණියේය.

    “පප්පේ..”

    ඒ සිය පියාට කීමට ඇති ඕනෑම දෙයක් ඇසීමට තමා දැන් සූදානම් බව ඔහු හඟවන ආකාරයයි.

    “මං තමුන්ට කීවා නේද අද පොඩි එකාව ගල්ගමුවෙ ෆැන්සි හවුස් එකට එක්කං යන්න සූදානම් කරන්නය කියලා…”

    “දැන් පැය ගානක ඉදං මල්ලිට කෝල් කරනවා මිනිහා ෆෝන් එක ආන්සර් කරන්නෑනේ පප්පේ..”

    “තමුන්ගෙන් දෙයක් ඇහුවොත් බැරි,බැරියාව මිස හරි හමන් උත්තරයක් ඇත්තෙම නෑනේ ලොකු ළමයා…”

    සිරිවර්ධන මුදළාලි එසේ කියන අතරවාරයේද, සුදු මහත්තයා කළේ, සිය ජංගම දුරකතනයෙන් කිසිවෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමය. ඒ මොහොතේ නිවසේ ගේට්ටුව අසළ වාහනයක් නතර කරන හඬ ඇසී දෙදෙනාම ගෙල ඔසවා එදෙස බැලූහ. අදීෂගේ කාරයෙන් පැමිණි ලක්මාල් ඉන් බැසගත් පසු මොහොතක් දෙදෙනා යම් කතාබහක යෙදී හිඳ, අදීෂ එතැනින් පිටව යන තුරුත් සිරිවර්ධන මුදළාලී සහ සුදු මහත්තයා උන්නේ එදෙසම නෙත් යොමාගෙනය. ඒ බැව් දුරතියාම වටහාගත් ලක්මාල්, එදෙස නොබලාම ගේ දෙසට යන්නට පියවර එසවීය.

    “කෝල් එකක් ගත්තාම ආන්සර් කරන්න බැරිද මනුස්ස….”

    සුදු මහත්තයාගේ වේගවත් කෑගැසීමට ලක්මාල් නතර වීමත්, සිරිවර්ධන මුදළාලීගේ තට්ටුවෙන් සුදු මහත්තයා නිහඬ වීමත් සිදු වූයේ එකම මොහොතේදීය.

    “තමුන් යන්න ආපු ගමන යන්න පුළුවන් ලොකු ළමයා…” යැයි සුදු මහත්තයාට කී සිරිවර්ධන මුදළාලි

    “තමුන් මෙහාට ආවනං ඩිංගක්..” කියා ලක්මාල් ඇමතීය.

    සිනමාපටයක වීරයා සහ දුෂ්ඨයා එකිනෙකා පසුකර යන මන්දගාමී රූප රාමුවක් මෙන්, ලක්මාල් සිරිවර්ධන මුදළාලි දෙසටත්, සුදු මහත්‍තයා සිය යතුරු පැදිය වෙතටත් පැති මාරු කළෝය.

    “ඔතනින් ඉඳගන්නවා..”

    සිරිවර්ධන මුදාලාලී, ලක්මාල්ට කීයේ, අසළ තිබූ උද්‍යාන බංකුවක් දක්වමිනි.

    “කමක් නෑ පප්…”

    සිරිවර්ධන මුදළාලී යටිතොල සපා ලක්මාල් වෙත හෙලූ බැල්මෙන්, කියන්නට ගිය දේ ගිලගත් ඔහු අසල බංකුවේ වාඩි වූයේය.

    “කෝ තමුන් උදේ පැදගෙන ගිය බයික්කෙක…”

    “පැච් එකක් ගියා පාළුගමදී..”

    “ඔය ගෙනත් බස්සපු හාදයද අදීෂ කියන්නෙ..”

    “ඔව් පප්පේ..”

    “අනුන්ගෙ කාර් වලින් ඇවිත් බැස්සට එච්චර නම්බුකාර නෑ පොඩි ළමයා…ඒ නම්බුව එන්න තමන්ගෙම එකකින් ඇවිත් බහින්නෝනෙ..”

    “මට එහෙම නම්බුකාරයෙක් වෙන්නෝනෙ නෑ පප්පේ..”

    “ඒ වුණාට මට ඕනේ..”

    සිරිවර්ධන මුදළාලි ඒ ටික කීයේ වේගයෙන් කෑ ගසාය. ලක්මාල් සිය මුහුණ බිමට නැඹුරු කරගත්තේය.

    “ඔහේලට ඕනේ බම්බුවක් කරගන්න පුළුවන් මේ පප්පා මලාම..එතකං සිරිවර්ධනලාට තමන්ගෙ නම්බුව තමා අංක එක..හෙට ඉඳලා ගල්ගමුවෙ ෆැන්සි හවුස් එක බලාගන්නෙ ඔහේ..මං ලියන මහත්තයෙක් හොයාගත්තා…මිනිහ එනවා හෙට උදේ…තව කැෂියර් එකටත් ගෑණු ළමේක් මිනිහම හොයල දෙයි..තමුන්ට තියෙන්නේ ව්‍යාපාරේ බලා කියාගෙන ඉන්නෙක..ආයෙ,ආයෙත් මට මේක කියන්න තියන්නෙපා..එදාට ඒක මං මෙහෙම ලකේට කියන්නෙත් නෑ තේරුණාද..”

    පයිප්පය සහ පත්තරය දෑතට ගත් සිරිවර්ධන මුදළාලි එතැනින් පිටව යන දෙස මොහොතක් බලා සිටි ලක්මාල්, අත මිට මොලවා වැරෙන් බංකුවට පහරක් ගැසුවේය.

    තාරුකා උන්නේ ඇසළ ගස පාමුල පිට ලෑලී බංකුවට බරදී, කඩුල්ල දෙස නෙත් යොමාගෙනය. ඇගේ සිත මීට මොහොතකට පෙර සිදුවූ සිදුවීම වෙත ඇදී ගියේ නිරායාසයෙනි. කාලිංග සිය යතුරු පැදියෙන් බසිනවාත් සමඟම පිටුපස අසුනේ හුන් ජිල්බු සෙමින් මඟහැර යනු ඈ නිරීක්ෂණය කළාය. ශාරික, කාලිංග දැකීමෙන් තරමක් අපහසුතාවයට පත් වූවද, ඔහු එය නොපෙන්වා ව්‍යාජ සිනහවක් කාලිංග වෙත යොමාගෙන සිටියේය. එහෙත් ශාරිකව මායිම් නොකළ කාලිංග කුඩා කවිරූ අත පාර්සලයක් තබා සිය වැඩිමහල් නැඟණිය වෙත තියුණු බැල්මක් හෙලුවේය. එය තේරුම් ගත්තාක් මෙන් කවිරුව ඔසවා ගත් සමන්තී ගෙට වැදුණාය. තාරුකාද ඇය අනුගමනය කරන්නට සැරසුණද,

    “උඔ පොඩ්ඩක් ඔහොම හිටපං නඟේ..”

    යැයි කාලිංග පැවසූයෙන් තාරුකා එතැන නතරවූයේ සිදුවන්නට යන්නේ කුමක්ද යන්න වටහාගන්නට මෙන් ශාරික දෙසද බලමිනි. ශාරිකට දැණුනේ තමන් තව දුරටත් මෙතැනට සුදුසු නොවන හෙයකි. ඔහු සිය යතුරු පැදිය වෙත යන්නට පියවර එසවීය.

    “ඔයැයිත් මේ කාරණේ දැනගත්තට හානියක් නෑ…ඉඳලා අහලම ගියොත් දැනුමටත් ප්‍රයෝජනයක් වෙයි..”

    ගමන නතර කළ ශාරික, තාරුකා දෙස බලාගෙන පසෙකින් සිටගත්තේය. කාලිංග ඔවුන් අතරට පැමිණ තාරුකාගේ මුහුණ සමීපයේ සිට කතාකරන්නට වූයේය.

    “මං උඔට පංකාදු පහේ රස්සාවක් හෙව්වා නඟේ..පරස්තාවල් උඔලම හොයාගත්ත එකේ අපි ඒ යුතුකමවත් කරන්නෙපායැ ඉතිං..නැද්ද මස්සිනේ..වෙන්ඩ..”

    කාලිංග එය කීයේ ශාරික දෙස බලා අවසාන වචන දෙකට පරතරය තබා තාලයකට ඇද උපහාසයෙනි. තාරුකා අයාගත් දෑසින් සිය අයියා දෙස බලා උන්නා මිස සිදුවන දෙයක අග මුල ඇයට තේරුණේ නැත.

    “ඒත් අයියේ මේ…” ශාරික වචන අහුලන්නට විය.

    “ඒත්..මේත් ඕනැන්නෑ….ඔයැයි රස්සාවට ගියෙ පැදුරටත් නොකියනෙ..ඒත් අපි ඒම නෑ…යුතුකමට කීවා මිස උපදේශ ඕනැන්නෙත් නෑ…”

    “අයියෙ මෙහෙම එකපාරට..”

    “උඔටත් කියන්න තියෙන්නේ මෙයැයිට කියපු දේමයි..රස්සාවක් කරන්ඩ පස්මහ බැලුම් ඕනෑද බං..ඔය වෙන්ඩ මස්සිනා ගිය තාලෙටම යමං..අනික උඔ වැඩ කරන්නෙ මාත් එක්ක..ඒ නිසා හූනෙකුටවත් බයවෙන්ඩ කාරණා ඇත්තෙත් නෑ….”

    තාරුකා ඉන් එහාට එකදු වචනයක් හෝ පිට නොකළේ එය නිශ්ඵල බව තේරුම් ගිය හෙයිනි. ශාරික සෙමෙන් කඩුල්ල දෙසට යද්දී නම් ඇයට තදින් හීල්ලිනි.

    “බැලුවොත් අස්සක,මුල්ලක හූල්ලනවා…ඇති මේ ගෙවල්,දොරවල් මේ තරමින් හරි ඉතුරු වෙලා තියනවා බොලාගේ මුස්පේන්තුකම් එක්ක..”

    තාරුකා පියවි ලෝකයට පැමිණියේ සිය මව වූ ලොකු බණ්ඩාර මැණිකේ තමන්ට දොස් නඟමින් මිදුලට බට හඬිනි. පිටුපසින් පැමිණි සමන්තී දුටු ලොකු බණ්ඩාර මැණිකේ යළි ගෙට වැදුණාය. තාරුකා අසලට පැමිණි සමන්තී සෙමෙන් සිය බාල නැඟණියගේ හිස අතගාමින් කතා කළාය.

    “වැඩිය ඔය ගැන හිතන්නෙපා නංගී…මං දැනගෙන හිටියා අයියා කවදාවත් මට රස්සාවකට යන්න දෙන්නෑ කියලා…ඒත් මට දුකක් නෑ.. ඔයාටයි,අයියටයි දෙන්නටම එක තැන රස්සා කරන්න ලැබුණු එකම මදෑ…”

    තාරුකාට යමක් කීමට අවැසි වූවාය. එහෙත් ඒ සඳහා කිසිදු වචනයක් ඇගේ මුවට පැමිණියේ නැත. ඇය අහස දෙසට හිස් බැල්මක් යොමා උන්නාය.

    ශාරික සිය සේවස්ථානයේ මේසය මත වූ ලිපි ගොනු දෙස ඔහේ බලා උන්නේය. අද ඔහු සිය රාජකාරි සඳහා පැමිණියේද ප්‍රමාද වීය. නිම කරන්නට බොහෝ දේ තිබුණද සිහියට නැඟෙන්නේම, රැකියාවට එන අතරතුර තාරුකාගේ නිවසට ගොඩවැදීමෙන් තමන්ට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බය ගැනමය. තමා කොතරම් යහපත් සිතින් සමන්තීට උදව් කරන්නට සිතුවේ නමුත්, එය තමන්ට පාරා වළල්ලක් වී කැරකුණු අයුරු සිතට ගෙන එන්නේ වේදනාකාරී හැඟීමකි. එක් අතෙකින් තාරුකා හා තමන් අතර එක් ආදරණීය වචන හුවමාරුවක් සිදු නොවීය. අනෙක් අතින් කාලිංගයියා කතා කළේම තමා දැඩිව අවතක්සේරු වන අයුරිනි. සියල්ල සිදුවන්නේ නුහුරට බව ඒකාන්තය. එහෙත් එය කාගේ නපුරට හේතූ වේදැයි සිතෙද්දී දැනෙන්නේ ලොකු බියකි.

    “මේං මෙයා…”

    මාධවීගේ හඬට ඇත්තෙන්ම ශාරික තිගැස්සුණේය. ඒ අතරම මේ ගැහැණියගේ නොසැලකිලිමත් හැසිරීම ඔහුට නොරිස්සුමක් ගෙන ආවේය.

    “මාධවී..ඔහොම මිනිස්සු ඉන්න තැන් වලට කඩා පනින්නෙපා, මැනර්ස් කියලා දේවල් තියනවා නේද..”

    “හප්පොච්චියේ..මෙයාගේ සැල් එක..එනකොට නම් හිටියේ හිමිජ්ජා වගේ..”

    කියන්නට පරුෂ වචන වැලක් එක දිගට මුව අග තිබුණද, මේ ඒ සඳහා සුදුසු කෙනා හෝ මොහොත නොවන බැවින් ඔහු කරබා ගත්තේය.

    “අද නිකං වහින ලකුණු තියෙන්නෙ අනේ..”

    “ඉතිං..”

    “වැඩ ඇරෙන වෙලාවත් කිට්ටු වේගෙන එනවා…”

    “එහෙනම් කැෂියර් එක වහලා යන්න..මං බොස් ආවම ගණුදෙනු බේරලා එන්නම්..”

    තොල් නොපිට පෙරලූ යුවතිය, ශාරික දෙස බැලූයේ ආරූඪ කරගත් අමනාපයෙනි.

    “බොස් ආවා…”
    කියාගෙන ඇය කැෂියර් කූඩුව වෙතට දිව ගියාය. මොහොතකින් සුදු මහත්තයා ශාරික ඉදිරියේ පෙනී සිටියේය.

    “මං තමුසෙට ලියන මහත්තයෙක් බලන්න කීවා නේද..ඒක ඕන්නෑ…අතෑරලා දානවා…අපේ පප්පට කෙනෙක් සෙට් වෙලා…”

    සුදු මහත්තයා එසේ කියාගෙන කැෂියර් කූඩුව දෙසට ගියේය. ශාරික මොහොතක් තුෂ්නිම්භූතව එලෙසම හිඳ උන්නේය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page