Hima Mal Renu හිම මල් රෙණු
මට එය අමතකව තිබීම පුදුමයකි. මම නදීරාට ඇමතුමක් ගෙන කීවේ ඉක්මනින් මා හමුවීමට පැමිණෙන ලෙසය. කියූ පමාවට ඈ අප නිවසට පැමිණියාය.
“මොකෝ වුණේ…ඇයි මේ හදිසියේ එන්න කිව්වේ…?”
ඈ පුදුමයෙනුත් කුතුහළෙයෙනුත් ප්‍රශ්න කළාය.
“එතන්ට ගිහින්ම කියන්නම්…”
ගුණතුංග මාමා අප කැඳවා ගෙන ආවේ එතරම් සතුටකින් නොවන බව මට වැටහුණ මුත්, මම එය කිසිදු තැකීමක් නොකළෙමි. ඔහුට දුන් උපදෙස් අනුව ඔහු රථය පැදවීය.
“අනේ මන්දා…කොහේ යනවද කියලා…” නදීරා නෝක්කාඩු කීවාය.
“දෙවියනේ…මෙහේද ආවේ…ඔයා මොනවද කරන්න යන්නේ ආරණ්‍යා…?”
මා කී තැන රථය නවතන විට නදීරා කෑ ගැසුවේ පුදුමයට පත්ව මෙන්ම ඒ පිළිබඳව එතරම් සතුටකින් නොවන බව මට පෙනී ගියේය.
“අන්තිම තුරුම්පුව…අවීශ් ගැන දැනගන්න තියන…”
මම එසේ කියා රථයෙන් බැස ගන්නා විට නදීරා ද කලබළයෙන් රථයෙන් බැස ගෙන මා පසුපස දිව ආවාය.
“මොනාද ඔයා කරන්න යන්නේ…?”
මගේ අතින් අදිමින් ඈ විමසුවේ නොසතුටෙනි. මම තිගැස්මෙන් ඈ වෙත හැරුණෙමි.
“මං ෂානුගෙන් අහන්න ආවේ අවීශ් ගැන…එයා නොදැන ඉන්න විදියක් නැහැ…”
නදීරාගේ එයට අකමැති වන්නේ මන්ද කියා මම පුදුමයෙන් සිතමින් තාප්පයේ සවි කර තිබූ විදුලි සීනුව හැඬවූයෙමි. නිවසේ මෙහෙකරුවෙකු විත් ගේට්ටුව විවර කළ අතර ඔහු පැවසුවේ ඔවුන් නිවස විකුණා දමා පිටරටකට පදිංචියට ගොස් දැන් බොහෝ කළක් බවය. ඒ ඇසු මා පුදුම වූයෙමි. මගේ අවසන් බලාපොරොත්තුවත් සුන්ව ගියේ ඔවුන්ගේ දුරකථනය අංකයක් හෝ මොහු ළඟ නැති බවත්, ඔහුද රැකියාවට පැමිණියේ ඔවුන් පිටව යන්නට ආසන්න කාලයේදී බවත් පැවසූ විටය. සුන් වූ බලාපොරොත්තු සහිතව අපි යළි නිවසට පැමිණියෙමු. මා හිතුවක්කාරකම් කරනවා යැයි තාත්තා මට දෝෂාරෝපණය කරන්නට වූයේ සවස නිවසට පැමිණි සැටියේමය. ඔය ඩිංගට එය තාත්තා ගේ කනේ තැබුවේ පුංචි අම්මා හැර අන් කවුරුත් නොවේ. මට නිවසින් පිටව යෑමට ඔහු තහනම් පැනවූයේ ගුණතුංග මාමාට මෙන්ම නැන්දාටද දැඩි ලෙස දොස් පවරමිනි. ඔවුන්ටද මා නිසා දොස් අසන්නට වූ නිසා මා සිතේ ඇති වූයේ කණගාටුවක් මෙන්ම පුංචි අම්මා කෙරෙහි කෝපයකුත් ය. වරද මා අත වූ නිසා මේ මොහොතේ මම නිහඬව සිටියෙමි. නිවසට වී අලසව ගෙවී යන කාලය අපරාදේ යැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. තාත්තා මා රැකියාවක් කරනවාටද අකමැති වූ අතර ඔහුගේ අදහස වූයේ මා ආයතනයට බැඳී එහි රාජකාරී ඇරඹිය යුතු බව මුත් මා සිතේ එයට කිසිදු කැමැත්තක් නම් නොවීය.
“මට තාත්තා ගේ බිස්නස් වලට ජොයින් වෙන්න ඕන නැහැ…මං කැමතියි ජොබ් එකක් කරලා මටම දෙයක් කරගන්න පුළුවන් තැනකට එන්න…”
මම එම අදහස ප්‍රතික්ෂේප කරමින් කීවෙමි.
“එහෙනම් ටික දවසක් ඉන්නකෝ…මං බලන්නම් මොනවා හරි කරන්න…”
ඔහු ඒ මොහොතේ පැවසුවද එසේ කරනු ඇතැයි කියා කිසිදු විශ්වාසයක් මා සිතේ නොවීය. ඒ අතරම ඔහුට මෙම නිවස කුළියට දී වෙනත් නිවසක් මිලට ගැනීමටද වුවමනා වී ඇති බව මා හා කීවේ නැන්දාය. එවිට තාත්තාද අප අසළය. ඒ නම් ඔහුගේ අදහසක් නොව පුංචි අම්මා ගේ අදහසක් වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.
“ඒ මොකද…තාත්තේ…හදිසියේ…?”
මා ඇසූ දේට ඍජු පිළිතුරක් නොදුන් තාත්තා නැන්දා දෙස බැලුවේ නිහඬ බැල්මකිනි. ඒ හරියට ඇයටම පවසන්නට කියන්නාක් මෙනි. නැන්දාගේ මුවේ ඒ මොහොතේ වූයේ නොරිස්සුම් සහගත පෙනුමකි.
“තාත්තා හිතාගෙන ඉන්නේ මේ ගෙදර දෝසයක් තියනවා කියලා…”
“ගෙදර දෝසයක්…! ඒ මොකද ඒ…?”
“මේ ගේ තිබුණේ අම්මාගේ නමටනේ…ඊට පස්සේ අම්මා ඇක්සිඩන්ට් වුණා…දැන් මේ ගේ අයිති ඔයාට…ඔයාටත් අනතුරක් වුණානේ…දැන් තාත්තා බයේ ඉන්නේ…”
උපහාසය මුසුව නැන්දා කියන විට මා එයට සිනහසිය යුතුද කෝප විය යුතුද කියා මට සිතා ගන්නට අපහසු විය.
“අම්මා නැති වුණේ මිට අවුරුදු දාසයකට දාහතකට කළින් නේ…ඒක මේ ගෙදර දෝසයක් නිසා වුණු දෙයක් නෙවේනේ… මාත් අහක යන වාහනේකට පැනලා ඇක්සිඩන්ට් වුණා නෙවේනේ…තාත්තා තාම ජීවත් වෙන්නේ ආදි යුගේනේ… කවුරු මේ ගෙදරින් ගියත්… මං මේ ගෙදරින් යන්නේ නැහැ… යන්න ඕන කෙනෙක් ගියාවේ…”
මම එසේ පල නොකියා පළා බෙදුවේ කාටද කියා දත් නිසාදෝ තාත්තා ගේ මුහුණ අඳුරුව යන සැටි මම දුටිමි. මම නැඟිට ගෙතුළට ඒමට සූදානම් වන විටම රෝවන් පැමිණියෙන් මම හුන් තැනම යළි අසුන් ගතිමි. ඔහු නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති අයෙකු යැයි කියා මම සිතුවේ මට මතකය අහිමිව තිබූ කාලයේ ඔහු මට අපහාසාත්මකව කළ කතාවක් නැන්දාගෙන් දැන ගන්නට ලැබී තිබූ නිසාය. ඔහු මෙසේ මෙහි පැමිණෙන්නේ තාත්තාගේ අනුදැනුම ඇතිව යැයි සැකයකුත් මා සිතේ විය. ඔහු අප වෙත පැමිණියේ මෝඩ සිනහවක් පාමිනි.
“ආරාණ්‍යා…දැන් කොහොමද ඔයාට…? අංකල් කිව්වා ඔයාට දැන් සනීපයි කියලා…”
“අංකල් කිව්වා නම් ඉතින්…ආයේම ඕක අහන්න දෙයක් නැහැනේ…අනික මට සනීප වෙන්න අසනීපයක් නෙවේ තිබුණේ…”
මම ඇනුම්පදයක් ලෙස කීවේ සිතේ උපන් නොමනාපය ඔහුගේ මුහුණටම දමා ගසමිනි.
“ඔයා විහිළු කරන්නත් දන්නවා වගේ…” ඔහු විරිත්තිලක් පාමින් කීවේය.
“නැහැ…විහිළු නෙවේ…මං මොකටද ඔයා එක්ක විහිළු කරන්නේ…ඔයාට ලැජ්ජාවක් කියන නාමයක් ගෑවිලාවත් තියනවා නම් මේ ගෙදර පස් පාගන්නේ නැහැ…අනික මතකනේ අවීශ් ගෙන් කාපු පාර…? මට තමුන්ව දකින කොටත් ලැජ්ජයි…”
“පේනවනේ අංකල් මෙයා කතා කරන විදිය…දැන් මෙහෙම නම් මැරි කළාම කොහොම වෙයිද දන්නේ නැහැ…”
ඔහු එසේ කීවේ අර මුවේ ඇඳි විරිත්තිල්ලෙන්ම ය.
“මැරි කළාම…කාව මැරි කළාමද…?” කෝපයෙන් මම ඇසීමි.
“ඇයි අනේ…? අපි දෙන්නා…”
එවර මා සිතේ කෝපය මටම පාලනය කර ගැනීමට මට අපහසු විය.
“ඔළුව කොහේ හරි වද්ද ගෙනද ඉන්නේ…? මට පේන්නේ ඔයාට නම් බෙහෙත් කරන්න වෙයි… ඔය තියෙන අසනීපෙට…මට මොළේ අමාරුවක් නැහැ…තමුන් වගේ ලැජ්ජ නැති පිරිමියෙක්ව කසාද බැඳගන්න…අනික හිතන් ඉන්නේ මට කාවවත් බැඳ ගන්න බැරි වෙන්න මං අවලමේ ගිය කෙනෙක් කියලනේ…නේද…?ඉතින් ඇයි ඔයා ඔච්චර පස්සෙන් පන්න පන්න එන්නේ…මට අයිති වෙන්න තියන බූදලේට ආසාවෙන්ද…? සල්ලි වලට තමුන් ඕන ජරා වැඩක් කරන ජාතියේ කෙනෙක් වගේ මට පේන්නේ…මං අවීශ් එක්ක පැනලා ගියේ නැහැ…අන්න ඒක දැන ගන්නවා…”
තාත්තාට හෝ කිසිත් කීමට ඉඩක් නොතියා මම කෝපය ඔහු මුහුණටම දමා ගැසීමි. රෝවන් කිසිදු කතාවක් නොමැතිව ආපසු හැරී යන්නට ඇත්තේ ලැජ්ජාවෙන්ද කෝපයෙන්ද කියා නොදන්නා මුත් මම ඒ පිළිබඳව තැකීමක් හෝ නොකළෙමි.
“දුව…”
තාත්තා කුමක් හෝ කීමට උත්සාහ දරන විට මම වහා ඔහුව නැවැත්වීමි.
“මගෙන් නාහා මීට පස්සේ එක එක්කෙනාව ගෙන්නන්න හදන්න එපා… කසාද බැඳගන්න තරම් කුලප්පුවක් මට නැහැ…”
එසේ කී මම ගෙතුළට පැමිණියෙමි.
දින කීපයක් ගත වන තුරු මා සිතේ කෝපය සංසිඳී තිබුණේ නැත. එය කොයි යම් මොහොතක හෝ යළිත් වරක් පිටාර ගලනු ඇතැයි කියා මට සිතුණේ සෑම දෙයක් කෙරෙහිම මා සිතේ කෝපයක් ඇති වූ නිසාය. තාත්තා කෙරෙහිද මා සිතේ වූයේ නොමනාපයකි. යළිත් වරක් මා කෝප ගැන්වෙන දෙයක් සිදුවූයේ පුංචි අම්මා නිසාය. ඉරුදින සැඳෑවේ මම ආලින්දයට වී සිටියේ පොතක් කියවමිනි. තාත්තාද මා පසෙක හිඳගෙන පුවත් පතක් කියවමින් සිටි අතර පුංචි අම්මා එහි පැමිණියේ මුහුණේ ඉහිරුණ සිනහවක්ද සමඟය. ඈ කුමක් හෝ කාරණයක් නිසා සතුටින් සිටින බව පෙනිණි.
“මාවන්…”
ඈ තාත්තා අමතමින් ඔහු පසෙක හිඳ ගත්තාය.
“දුව කෝල් කළා…එයා එහෙ එක්සෑම් එකෙන් හොඳටම පාස් වෙලාලු…අනේ මට හරි සතුටුයි මාවන්…එයා දැන් එහේට වෙලා සතුටින් ඉන්නවානේ…මෙහේ හිටියා නම් එයා නහස්ති වෙලා…”
පුංචි අම්මා එක දිගට කියවගෙන ගියාය. නංගී මේ වන තුරු මට ඇමතුමක් දුන්නේ නැත. මෙතරම් දෙයක් සිදු වූයේ ඈ නිසාය. ඈ එහි සතුටින් සිටිනවා නම් එය වෙනම කාරණයකි. නමුත් ඇයට නිකමට හෝ මා ඇමතීමට තිබුණා නොවේද.? එය ඇගේ යුතුකමකි. එදින මා අවීශ් සමඟ ගොස් ඈ මුදවා නොගන්නට පුංචි අම්මා මෙසේ මට ඇසෙන්නට පුරාජේරු දොඩවන්නේ නැත. කෙසේ නමුත් නංගී ආත්මාර්ථකාමී අයෙකු බව ඈ විසින්ම ඔප්පු කර හමාරය. පොත වසා දමා මම අසුනින් නැඟී සිටියේ ඇගේ පුරාජේරු අසමින් පොත කියවන්නට නොහැකි නිසාය. නැන්දා ඒ මොහොතේ තරප්පු පෙළ බැසගෙන පහළට එනු දැක මා සිතුවේ මිදුලට ගියා නම් හොඳයි කියාය.
“පේනවනේ මාවන්…ඒව ඇහෙද්දී ඊර්ෂ්‍යාව…ඒකනේ දැන් ඔය නැඟිටලා යන්න හදන්නේ…”
ඈ මට ඇසෙන්නට ඇනුම්පදයක් එල්ල කරන විට මම ඈ දෙස බැලුවේ කෝපයෙන් දැවෙන දෑසිනි.
“ඊර්ෂ්‍යාව…? කා ගැනද මං ඊර්ෂ්‍යා කරන්නේ…? ඊර්ෂ්‍යා කරන්නම වැඩේ…මහා ලොකු චූටි දුව…නිකන් ඉද්දිත් මොකක් හරි කුණු ගොඩක් අල්ලන් එල්ලෙන්නමනේ හදන්නේ…”
කෝපයෙන් මම කෑ ගැසීමි.
“මොකද ලොකු දුව ඔය කතා කරන විදිය…?”
“තාත්තා ඒක මගෙන්ද අහන්නේ…? පැත්තකට වෙලා හිටපු මාව අවුස්සලා ඉවර වෙලා….තාත්තත් මගෙන් අහනවා මොකද කියලා…”
“අනේ මාවන් නිකන් ඉන්න…මෙයාට ඕවා කියලා වැඩක් නැහැ…පේනවනෙ කතා කරන විදිය…”
“පේන්න…ඇහෙන්න තමා කතා කරන්නේ…නැති තැන කේළම් කිව්වේ නැහැ…තමුන් වගේ…”
නැන්දා දිව විත් මා අතින් අදින්නට විය.
“ලොකු දුව…” තාත්තා කෑ ගැසීය.
“මොකද මේ කතා කරන විදිය…?”
“මම මේ කතා කරන විදියත් හොඳ වැඩියි මෙයාට…”
“පේනවනේ මාවන්…මුළින්ම දෙකක් දීලා හදලා ගන්න තිබුණේ…එහෙම නොකරපු එකේ වරද…”
එවිට මගේ කෝපය උත්සන්න විය.
“දෙක තුනක් දීලා හදන්න හිතුවා මදි…නන්නත්තාරේ ගිය ගෑණියෙක් මගේ අම්මවත් මරාගෙන ගෙටත් රිංගන් තව මාවත් හදන්න එනවද…?”
නැන්දාගේ අත ගසා දැමූ මා පුංචි අම්මා වෙත අඩියෙන් දෙකෙන් ළංවී ඇයට අත දිග හැර ගැසූ කම්මුල් පහරින් ඈ කම්පනයට පත් වන්නට ඇත. ඈ කම්මුල අතින් අල්ලාගෙන මා දෙස බැලුවේත් තාත්තා “ලොකු දුව’ යැයි කෑ ගැසුවේත් එකටමය.
මේ කලබළය ඇසී චන්ද්‍රම්මාත් ගුණතුංග මාමාත් ආලින්දයට දිව ආහ. තාත්තා මා අතින් ඇද මට ගසන්නට ගිය කම්මුල් පහර වැළකුවේ නැන්දා ය.
“තමන්ගේ දරුවට අත උස්සන්න කළින් මෙයාගේ කට වහලා හිටියොත් හොඳයි නේද…?”
නැන්දා කෑ ගසන විට තාත්තා කෝපයෙන් මා දෙස බලා නිහඬ විය.
“ගහන්න දෙන්න නැන්දේ…මහා ලොකුවට හිතන් ඇති…මං මෙයාට බයේ ඉඳියි කියල…”
කෝපයෙන් මම කෑ ගැසීමි. මේ සුදුසුම මොහොත විය. මෙතෙක් දවස් මා නිහඬව සිටියෙමි. තව දුරටත් එසේ සිටිය යුතු නැත. සියල්ල හෙළි කිරීමට සුදුසු මේ මොහොතේදීය. නැන්දා යළිත් වරක් මා අතින් අදිමින් මා කැඳවා ගෙන යෑමට සූදානම් වන විට මම ඇගේ අත යළි වරක් ගසා දැමීමි. කෝපය නිසා මා සිටියේ වෙවුළමිනි. මට සන්සුන් වීමට වුවමනා නැත. මෙහි අවසානයක් දැකිය යුතුය.