More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු -28

    Hima Mal Renu හිම මල් රේණු -28

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    අප අතර මොහොතකට පැවතියේ නිහැඬියාවකි. තෙෂාරා යළි හිස එසවූයේ කඳුළු පිසගෙනය.හැඬීමෙන් පසු ඇගේ සිතට යම් සහනයක් ලැබෙන්නට ඇතිවාට සැක නැත.

    “මට සමාවෙන්න ආරාණ්‍යා…මං ඔයාට හුඟාක් වැරදි කළා…ඒත් එහෙම තියෙද්දීත් ඔයාලා මාව බලන්න ආවා…මම හරිම උද්ධච්ච…අහංකාර කෙල්ලෙක්…මං කොච්චර අනික් අයට අපහාස කරලා තියනවද…සමච්චලේට හිනා වෙලා තියනවද…කොයි තරම් අනික් අයගේ හිත් රිද්දලා තියනවාද…ඒවා ගැන මට දැනුණේ එදා මම ලැජ්ජ වුණ දවසේ…මට මං ගැනම ලැජ්ජයි…මට එක දිගට ස්කූල් එන්න හිතෙන්නේ නැත්තේ ඒ නිසයි…”

    ඈ කීවේ බිඳුණු හඬකිනි.

    “ඔයාට පහු වෙලා හරි ඒ දේවල් අවබෝධ වුණානේ තෙෂාරා…ඔයා තාමත් පරක්කු නැහැ…ඒ නිසා ස්කූල් එන්න…” මම කීවෙමි.

    “ඔයාටම ඔයාගේ වැරදි තේරුණ එක ලොකු දෙයක් තෙෂාරා…තමන්ටම විඳවන්න දෙයක් වෙනකල් අනික් අයගේ දුක…වේදනාව…තව කෙනෙක්ට තේරෙන්නේ නැහැ…”

    තේෂාන් කියන විට තෙෂාරා එය වැටහී ඇති බව කියාපාමින් හිස සැළුවාය. අපි ඇගේ නිවසින් පිටව ආවේ තීරණයක් ගැනීමට ඇයට ඉඩ හැර මිස බලකිරීමට නොයමිනි.

    “තෙෂාරා හුඟාක් වෙනස් වෙලා…” තේෂාන් කීවේ අවීශ්ටය.

    “තව නරකටද…?” අවීශ් ඇසුවේ උපහාසයට මෙනි.

    “ඒකේ නරක් වෙන්න දෙයක් තිබුණේ නැහැනේ මචං…” තේෂාන් පිළිතුරු ලෙස කීවේය.

    “දැන් සතුටුද නදීරා…?” අවීශ් ඒ ඇසුවේ මගෙනි.

    “ඔව්…ඔව්…මට හරි සතුටුයි…”

    නදීරා මා දෙස බලමින් කියන විට මම ඇයට රවමින් ඉවත බලා ගතිමි.

    “ගැස්සිළි…පිප්පිළි…රැවිළි…එරවිළි…සේරම මට…”

    නදීරා නොසතුටෙන් කියන විට අවීශ් උස් හඬින් සිනහාසුණේය.

    ****** ****** ***** ***** ****** ****** ************ ****** ***** *****
    අපි පසු දින පාසල් යන විට තෙෂාරා පැමිණ සිටිනු දැක මා සිතේ ඇති වූයේ සතුටකි. ඈ පෙරට දිව විත් අප දෙදෙනා පිළිගත්තේ ලෙංගතුවය. ඈ අප සමඟ වඩාත් මිතුරුව සිටි අතර ඇගේ පෞද්ගලික තොරතුරු ද අප සමඟ කියන්නට වූවාය.

    “අපේ අම්මා ඉන්නේ අසනීපෙන්…”

    පාසල් පටන් ගන්නට තව බොහෝ වේලා ඇත. අපි තිදෙන පන්තියෙන් පිටත හිඳගෙන කතා බහ කළෙමු.

    “ඇයි…මොකක්ද අසනීපෙ…?”

    “අපේ අම්මායි තාත්තයි ඉන්නේ වෙන වෙනම…දැන් අවුරුදු ගානක්…ඒක නිසා අම්මාට ඩිප්‍රෙෂ්න් ආවා…දැන් එයාට හරියට අමතක වෙනව…පරණ දේවල් අද ඊයේ වගේ මතක තිබුණාට මේ දැන් කියන දේ…මේ අමතක වෙනවා…අම්මා හිතන් ඉන්නේ තාත්තා තාම ගෙදර ඉන්නවා කියලා…”

    ඒ ඇසූ මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. ඈ මෙවන් ප්‍රශ්න ගොඩාක් මැද සිටියදී අනෙක් අයව රිදවූයේ කෙසේද.?

    “ඉතින් තාත්තා ගෙදර එන්නේම නැද්ද…?”

    “දැන් නම් නිතර නිතර එනවා…ඒ ප්‍රශ්න වෙච්ච කාලේ නම් ගෙදර ආවෙම නැහැ…”

    “එයාලා ඩිවෝස්ද…?”

    “අනේ නැහැ…ආරාණ්‍යා…තාත්තා ඉන්නේ වෙනම…දැන් නම් එයා ගෙදර ආවම දවස් දෙක තුනක් නවතිනවා…”

    “ඉතින් ඔයා කියන්නේ නැද්ද තාත්තාට ගෙදර නවතින්න කියලා…?” තෙෂාරා දිගු සුසුමක් හෙළුවාය.

    “එයාට අම්මාව දකිද්දී තරහක් කේන්තියකුත් එනවා ඇති…ඒකමයි එයා ගෙදරින් ගියේ…දැන් නම් තාත්තා අම්මට අනුකම්පා කරනවා…”

    “අපි එන්නම් අම්මාව බලලා යන්න…” ඈ එවර මා දෙස බැලුවේ මවිතයෙනි.

    “ඔයාලා ආයිමත් එනවද අපේ ගෙදර…?” ඇය අදහාගන්නට බැරිවාක් මෙන් ඇසුවාය.

    “ඇයි එන්න එපාද…?”

    “අනේ….එන්න…එන්න…මං කැමතියි ආරණ්‍යා ඔයාලා එනවා නම්…”

    “ෂුවර්…”

    අපි තිදෙන යළි පන්තියට පැමිණියෙමු.

    “දෙන්නා දැන් කිරියි පැණියි වගේ නේද…?”

    තේෂාන් දිනක් මට විහිළු කළේය.

    “කොහොම වුණත් තේෂාන්…එයා දැන් හොඳට ස්ටඩී කරනවා…හැමදාම ස්කූලුත් එනවා…ඒකම මදිද…?”

    “නැහැ…නැහැ…ඒක නම් හොඳ දෙයක් තමා…එයා දැන් ඉස්සරට වඩා ලස්සනයි වගේ…නැද්ද…?”

    ඔහු අසන විට නදීරා ඔහු වෙත හෙළුවේ මනමාල බැල්මකි.

    “මල් සරා විදලා වගේ මෙයාටත්…” දෑස් නටවමින් ඈ කීවාය.

    “ඇයි බොල…ලස්සන දේට ලස්සනයි කීවාම ඒක වැරදිද…? කෙල්ලෝනේ… ජෙල…”

    “අනේ…වැඩේමයි…තෙෂාරා ඉස්සරත් ලස්සනයි…නපුරු කමට ඒ ලස්සන වැහිලා තිබුණේ…අනික දැන් එයාගේ කොණ්ඩේ වැවිලා…ඒකයි ඔයාට එහෙම පේන්නේ…”

    නදීරා එක දිගට කියවගෙන ගියාය.

    “ඒක ඇත්ත තේෂාන්…අනික මෙච්චර කල් එයා හිටියේ හැම කෙනා එක්කම තරහින්…වෛරයෙන්නේ…හිත පිරිසිදු වෙද්දී රූපෙත් ඉබේම ලස්සන වෙනවා…”

    මම කීවෙමි.

    “ආහ්…ඒකද එතකොට වෙලා තියෙන්නේ…?”

    “හ්ම්ම්…” මම හූ මිටි තැබීමි.

    “නැතුව…මේ ගොබ්බදාසට ඕවා තේරෙන්නේ නැහැ…”

    නදීරා කියන විට මා මුවෙන් සිනහවක් පිට පැන්නේය.

    “ඔන්න ආරාණ්‍යා…මෙයා දැන් භාෂියගේ වචන සෙට් එකක් අල්ලන්…මට පේන්නේ මල්සරා අපිට කළින් මෙයාට විදියි වගේ…” තේෂාන් නදීරාට වද කළේය.

    “අනේ යනවා…” ඈ කීවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

    ******* ****** ******* ******* ****** *************** ****** ******* ******
    සුදු පැහැති මල් ඉහිරුණ ලා කහ පැහැති ගවුම ඇඳගෙන මම කැඩපත ඉදිරියේ සිට වටයක් කැරකුණෙමි. නැන්දා කාමරයට එබුණේ එවිටමය.

    “හැඩයි…හැඩයි…අපි යමුද…?”

    ඈ කියන විට මා සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඉහිර ගියේය. මාත් නැන්දාත් සූදානම් වූයේ අවීශ් ගේ නිවසට යෑමටය. මා වුවමනාවට වඩා හැඩ වෙනවා යැයි නැන්දා සිතුවාවත්දැයි සැකයක් මා සිතේ ඇති විය. මීට පෙර නම් මට එසේ සිතී තිබුණේම නැත. සමහරවිට ඈ එසේ නොසිතුවා වන්නටත් ඇත. එවන් දෙයක් සිතීමත් විහිළුවක් මෙනි. එය හොරාට පෙර කෙහෙල් කැණ වැට පැණීමක් බඳුය.

    “රේඛා…කොච්චර කාලෙකින්ද…?”

    අපි එනතුරු නිරංගා ඇන්ටි මඟ බලමින් සිටි අතර ඈ නැන්දා සිප වැළඳ ගනිමින් කීවාය.

    “ඔයාට මාව මතක තිබුණා…?”

    “අමතක වෙන්න මම මැරිලා ඉපදුණේ නැහැ රේඛා…ඔයාලා ආව එක කොයි තරම් දෙයක්ද…? මෙයාලා මුණ නොගැසුණා නම් ඔන්න අපි කවදාවත්ම හමු නොවෙන්න තිබ්බා…ඒත් මට ඔයාලව අමතක වුණේ නැහැ…”

    ඈ එක දිගට කියවගෙන ගියේ ශෝකයෙන් මෙනි. මාත් අවීශුත් මුහුණින් මුහුණ බලාගෙන නිහඬ සිනා පෑවෙමු. ඔහු අප තිදෙනා තනිකර ඇතුළට නොපෙනී ගිය පසු නැන්දාත් නිරංගා ඇන්ටීත් කතා බහ ඇරඹුවාය.

    “ඔයා ඇක්සිඩන්ට් වුණාලු…කොහොමද ඒක වුණේ…?”

    නැන්දා අසන විට ඈ දිගු සුසුමක් හෙළුවාය.

    “එතන ලොකු කතාවක් තියනවා රේඛා… මට ඒ හැමදේම කියන්න බැහැ…මායි කෝලිතයි අතරේ ලොකු කතා බහක් ඇති වුණා…ඒ වෙලේ එයා මාව තල්ලු කළා… දොර ළඟ තිබුණු මාළු ටැංකියේ වැදිලා මාව වැටෙද්දී ඒකත් මගේ අත උඩට වැටිලා…මට ඒක මතක නැහැ…කෝලිත මාව හොස්පිට්ල් ගෙනියන්න ඇති…මගේ අත භාගෙට වෙන් වෙලාලු තිබිලා තියෙන්නේ…මැහුම් දාලා…මං සති දෙකක් විතර හොස්පිට්ල් හිටියා…”

    ඈ මොහොතකට නිහඬ වන විට අපි හුස්ම නාල්ලා අසා සිටියෙමු.

    “එච්චර දෙයක් වෙලත් අපි දන්නේ නැහැනේ…” නැන්දා කීවේ ශෝකී හඬකිනි.

    “කොහොම දැන ගන්නද රේඛා…? අනූත් ඇක්සිඩන්ට් වුණා කියලා මම දැන ගත්තෙත් හුඟාක් පරක්කු වෙලා…එතකොට හැමදේම ඉවරයි…හොස්පිට්ල් එකෙන් ආවට පස්සේ මට ඒක ආරංචි වුණාම මම එහේ ආවා…ඒත් ඔයාලා කවුරුත් එහේ හිටියේ නැහැ…”

    “ඔව්…මං දුවත් අරන් ගමේ ගියා…මෙයා අම්මා අහ…අහා…අඬද්දී මං මොනවා කියන්නද…මොනවා කරන්නද… කියලා මට තේරුණෙත් නැහැ…අම්මා කිව්වා දුවව අරන් එහේ එන්න කියලා…”

    මා සිත අලුත් වූ ශෝකයකින් වැසී ගියේය.

    “හ්ම්ම්…හොස්පිට්ල් ඉඳන් ආවට පස්සේ මායි කෝලිතයි වෙන් වුණා…ඩිවෝස් වුණා නෙවේ…මං එයාගෙන් ඈත් වෙලා ගමට ගියා…අපි ගොඩක් කාලයක් හිටියේ එහේ…මෙහෙට ඇවිත් දැන් අවුරුදු හතරක් වගේ ඇති…”

    “එතකොට ඔයාලා තාම වෙන් වෙලාද…?” නැන්දා පිදුමයෙන් ඇසුවාය.

    “එයා ගෙදර යනවා එනවා…ඒත් මං කතා බහ කරන්නේ නැහැ…පුතා කතා කරන්නේ අවශ්‍යම දේකට විතරයි…මං කවදාවත් මේව්වා එයාට කියලා නැහැ…”

    ඈ එසේ නොකියා කීවේ මේ කිසිත් අවීශ් සමඟ නොපවසන ලෙසය. සියල්ල මට තව තවත් ප්‍රහේළිකාවකි.

    “ඔයාට මෙහෙම දෙයක් වුණා කියලාවත් අපිට දැන ගන්න ලැබුණේ නැහැනේ…ඒක වුණෙත් අක්කා ඇක්සිඩන්ට් වෙච්ච කාලේම වෙන්නැති…?”

    එය මා සිතේත් පැවති පැනයක් විය.

    “මං හිතන්නේත් එහෙම තමා…නැත්නම් මං ඒක දැන ගන්නවානේ…”

    “ඔයා ඔයින් බේරුණා ඇති…”

    “ඔව්…රේඛා…මං ජීවත් වුණේ පුතා නිසා… ජීවිතේ මං විඳෙව්වා විතරයි…සමහර දේවල් මට වෙනස් කරන්න පුළුවන් වුණා නම් කියලා මං අදටත් හිතනවා…එහෙම හිතද්දී මගේ හිතට කවදාවත් සැනසීමක් දැනෙන්නේ නැහැ…”

    ඈ කුමක් එයින් අදහස් කළාද කියා මට සිතා ගන්නට අපහසු විය. සමහර විට එය ඇගේ විවාහය පිළිබඳව ඇති කරගත් අදහසක් වන්නට ඇත. සේවිකාව අප වෙත පැමිණ සිසිල් බීම සංග්‍රහයක් කර ඉවත ගිය පසු අවීශ්ද අප වෙත පැමිණියේය. මාත් ඔහුත් නිහඬවම මිදුලට පැමිණියේ ඔවුනට කතා බහ කරන්නට ඉඩ හරිමිනි. අඹ ගස සෙවණේ වූ බංකුව මත් හිඳගෙන අපි නිහඬවම මොහොතක් වේලා සිටියෙමු. බට්ටිච්චන්ගේ මිහිරි නදින් පරිසරයේ වූ නිහඬ බවට මිහිරි බාධාවක් ඇති විය. නගරාසන්නයේ වුවද මෙහි වූයේ තුනී සීතලකි. ඒ නිවස වටා වූ උස්ව නැගුණ තුරුලතා නිසා වන්නට ඇත.

    “බීම එක රසයි…”

    ඔහු මදෙස බැලුවේ කට කොණින් පෑ සිනහාවක්ද සමඟය.

    “ම්ම්ම්…”

    “ඔයානේ හැදුවේ…?”

    “කොහොමද දන්නේ…?”

    “මම දන්නවා…”

    මඳහසක් නංවා ගෙන මම කීවෙමි.

    “දිවැස් තියනවද…?”

    “ඔව්…සමහර වෙලාවට…”

    “හ්ම්ම්…හොඳයි එහෙනම්…”

    ඔහු දෑත් ළය හරහා බැඳගෙන දුරක බලාගෙන කීවේය.

    “අවීශ්…”

    මම ඔහු අමතන විට ඔහු ගෙළ හරවා මදෙස වඩාත් වුවමනාවෙන් බැලීය.මුවින් “ඇයි…?” කියා නොඇසුවද ඒ දෑස් වල වූයේ ප්‍රශ්නාර්ථයකි.

    “ඔයා ඉන්නේ දුකෙන් නේද…?”

    මම ඔහුව වඩාත් පැහැදිලිවම පෙනෙන ලෙස හැරී ඒ කඩවසම් මුහුණ දෙස සෘජුව බලමින් ඇසීමි. ඔහුද මා දෙසම බලා සිටියේ දෑසේ වූ මවිතයකින් කියා මට සිතිණි.

    “දුකක් නැති වුණොත්නේ පුදුම…ඇයි එහෙම ඇහුවේ…?” එවර ඔහු ඇසුවේ නොසැළකිලිමත් ලෙසය.

    “නිකන්…”

    “ඒකත් දිවැසින් දැක්කාද…?” ඒ හඬේ වූයේ සරදම් සහගත බවකි.

    “දිවැස් ඕන නැහැ…මට තේරුණා…අහන්න බයට…සද්ද නැතුව හිටියා…”

    “බයට…ඇයි…මට බයද…?”

    “අනේ…මම මොකටද ඔයාට බය වෙන්නේ…”

    මුව ඇද කරමින් කී මම තව බීම උගුරක් රස බැලීමි.

    “ඒකනේ මටත් පුදුම…එදා චණ්ඩියා වගේ බලෙන්ම මගේ ෂර්ට් එකත් හදලා සිගරට් එකත් බිමට ඇදලා දාලා කෑ ගහපු කෙනා කොහොමද බය වෙන්නේ කියලා…”

    මා සිතේ සියුම් ලැජ්ජා මුසු හැඟීමක් ඉසිර ගියේය.

    “ඒකනේ කිව්වේ මං බය නැහැ කියලා…” දෙවුර සළමින් මම කීවෙමි.

    “හ්ම්ම්…එහෙනම්…?”

    “එහෙම ඇහුවොත් දුක වැඩි වෙයි කියලා හිතලා…”

    “ආහ්…?”

    “කියන්න බැරි දේවල් හිත ඇතුළේ හිර කරන් ඉන්නේ කා එක්කවත් කතා කරන්න බැරි බය නිසා…එහෙම නේද…?”

    “පුදුමයි ඔයා හිතන විදිය…”

    “ඒක හිතන විදිය නෙවේ…දැනෙන විදිය…මාත් සමහර දේවල් තනියම විඳවන කෙනෙක් නිසා මට එහෙම දැනෙනවා…”

    “ඒවා බෙදා ගන්න කැමතිද…?” ඔහු අසන විට මම සුසුමක් හෙළීමි.

    “මගේ අම්මා නැති වුණ දා ඉඳන් නැන්දා මාව බලන් තියෙන්නේ…එයත් නොහිටියා නම්…මං පුංචි එක්ක කොහොම ජීවත් වෙන්න තිබුණද කියලා මට හැම වෙලේම හිතෙනවා…අම්මාගේ මරණෙත් මට හරි අභිරහසක්…ඒ ගැන කවුරුත් මා එක්ක වැඩි පුර කතා කරන්නේ නැහැ… වෙලාවකට මට මගේ ජීවිතෙත් අභිරහසක් වගේ…”

    “සමහර වෙලාවට මටත් ඔය විදියටම දැනෙනවා…”

    “ඔයා ගැන…?”

    “නැහැ…අම්මා තාත්තා ගැන…”

    “ඔයා කැමතිද ඒ ගැන කතා කරන්න…?”

    “ලස්සන කතාවක් නම් නෙවේ…”

    “ලස්සන වුණා නම් ඒක අහන්න ඕන වෙන්නෙත් නැහැනේ…එහෙම නම් දුක් වෙන්න ඕනත් නැහැ…එහෙම නේද…?”

    “ඔව්…ඇත්ත…අම්මායි තාත්තයි අතරේ ප්‍රශ්න තියනවා කියලා මං දන්නවා… තාත්තා ගැන එක එක දේවල් මිනිස්සු කියනවා…මට අම්මාගෙන් ඒවා අහන්න බැහැ…එයා දුක් වෙයි කියලා… තාත්තා මට නම් කවදාවත් වෙනසක් කරලා නැහැ…ඒත් අපි අතරේ ලොකු බැඳීමකුත් නැහැ…එහෙම තිබුණා නම් මං කැමතියි…හරියට ඔයායි ඔයාලගේ තාත්තයි වගේ…”

    ඔහු මොහොතකට නිහඬ විය.සිතේ සිරකරන් සිටි දේවල් ඔහු මෙසේ මා ඉදිරියේ පවසන විට මම නිහඬවම අසා සිටියෙමි. මෙතෙක් කලකට ඔහු මේ දේවල් ප්‍රසාද් සමඟ හෝ කතා බහ කර නැතුවා විය යුතුයැයි කියා මම සිතුවෙමි.

    “තාත්තා ඉඳලා හිටලා ගෙදර එනවා…ඒත් නවතින්නේ නැහැ…අමුත්තෙක් වගේ ඇවිත්…අමුත්තෙක් වගේ පිට වෙලා යනවා…අපි එකට වාඩි වෙලා කෑම කාපු කාලයක් මට මතක නැහැ…අම්මා තාත්තා එක්ක එකතු වෙලා මං කවදාවත් ගමනක් ගිහින් නැහැ…තාත්තා ඉන්නේ එයාගේ බිස්නස් එක්කමයි…ගොඩක් දෙනෙක් එයාගේ අෆෙයාර්ස් ගැන කියනව ඇහෙද්දී මට ඒක දරා ගන්න බැහැ…හැබැයි මම කවදාවත් දැකලා නැහැ එයා වෙන කා එක්කවත් කොහෙවත් ගමනක් බිමනක් යනවවත්…මිනිස්සු කියන්නේ බොරු කියලා…මම මගේ හිතටම ඒත්තු ගන්නන්න හදනවා…නැත්නම් මගේ හිත රවටා ගන්න හරි….සනස ගන්න හරි…මම එහෙම හිතනවා…වෙලාවකට මට කෑ ගහලා අඬන්න හිතෙනවා…ටෙලාන්ගේ අම්මා…තෙෂාරාගේ අම්මා එක්කත් එයාගේ අෆෙයාර්ස් තිබ්බා කියලා කියනවා…”

    මා දෑසට උණන කඳුළු සඟවා ගත් මම පුදුමයෙන් අවීශ් දෙස බැලීමි.

    “ටෙලාන්ගෙයි තෙෂාරාගෙයිත්…?”

    “හ්ම්ම්…”

    “ඒත්…තෙෂාරා ඔයාට කැමැත්තෙන්නේ හිටියේ…එහෙම වුණා නම්…තෙෂාරා ඔයා එක්කත් තරහා වෙන්න එපැයි…”

    “ඒක ඒ දෙන්නගේ ප්ලෑනක්…මගෙන් පළිගන්න ඕනවට තෙෂාරා මා එක්ක යාළුවෙන්න ට්‍රයි කළා…මං ඒකට අනුබල දුන්නේ නැහැනේ…”

    “මොනවා…?”

    “හ්ම්ම්…ටෙලානුත් මගෙන් පළිගන්න ට්‍රයි කරන්නේ…මොන දේකින් හරි එයා ඒක කරන්න හදයි…” මා සිතට බියක් දැනිණි.

    “ටෙලාන්ගේ තාත්තයි අපේ තාත්තයි හොඳ යාළුවෝ…ඒ වගේම…බිස්නස් පාර්ට්නර්ස්ලා…අපේ හොටෙල් එකේ එයාලටත් ෂෙයාර්ස් තියනවා…”

    “ඒත් එහෙම තියෙද්දිත් ටෙලාන් ඔයා එක්ක තරහයි…”

    “ඔහොම වුණේ මටනම් මාත් එහෙම වෙයි නේද…?”

    “නැහැ අවීශ්…ඔයා කවදාවත් එයා වගේ වෙන එකක් නැහැ…”

    ඔහු දෙවුර සැළුවේ නොසැළකිලිමත් ලෙසිනි.

    “කවුරුත් වුවමනාවෙන් වරදට පෙළඹෙන්නෙ නැහැ…එක්කෝ ජන්මෙන්… නැත්නම් පරිසරයෙන්…නැතිනම් කාගේ හරි පෙළඹීම් වලට…එහෙම නැත්නම් කාලයක් තිස්සේ මනසට දාන විෂ…”

    “ඔව්.වෙන්න පුළුවන්…ඔයා හොඳ කෙනෙක් කියලා මං දැනගත්තේ ඔයාව දැක්ක දවසෙමයි අවීශ්…”

    “කවුරුත් හොඳත් නැහැ…කවුරුත් නරකත් නැහැ…අපි හැමෝම ළඟම…ඒ දෙකම තියනවා…” මඳහසක් පාමින් ඔහු කීය.

    “ඒත් ටෙලාන් ඔයාලා එක්ක තරහා වුණාට එයාලගේ තාත්තා ඇයි තරහා නැත්තේ…?”

    මා සිතේ බලපැවැත් වූ පැනය මම විමසීමි.

    “මං හිතන්නේ ආටිගල අංකල් ඉස්සර ඉඳන්ම තාත්තාගේ යාළුවෙක්…එයා සමහර විට ඔය දේවල් වැඩිය කෙයාර් නොකරනවද දන්නැහැ…අනේ මන්දා…”

    ඔහු දෙවුර සළමින් කීවේය.

    “ටෙලාන්ගේ තාත්තා…ඩ්‍රග්ස් ගෙන්නනවද…?” සැකමුසු හඬකින් මම ඇසීමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page