More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 26

    Pini Muthu Palasa පිනි මුතු පලස – 26

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    මම නිවසට නොයා වැව අසළ පමා වෙමින් මම කල් මැරීමි. නිවසට යෑමට සිතක් මා තුළ නොවීය. එය දැන් මට අපායකි. ඇරත් ඒ මට අයත් නිවසක්ද නොවේ. මා එහි කුළියට සිටින අයෙකු මෙනි. අක්කා කෙරෙහි මා සිතේ. ඇත්තේ වෛරී හැඟීමකි. මට ඇයව දැකීමත් අප්‍රසන්නය. වැඩි වේලාවක් මට මෙහි රැඳීසිටීමට නොහැකිය. මම නිවස වෙත පියවර තැබුවේ තෝන්ති වූ හිසිනි. අක්කා දොරකඩ සිටගෙන සිටින බව මම දුටුවේ ඉස්තෝප්පුවට ගොඩ වන මොහොතේය.
    නොරිස්සුමක් යළි හිස ඔසොවන්නට වූයේ ඈ දකින විටය.

    “චූටි නංගී…කොහොමද රිසාල්ට්ස්…?”

    මම සපත්තු ගළවමින් එහි පමා වන විට අක්කා මා විමසුවාය. ඇයට පිළිතුරක් දීමට මම ඉක්මන් නොවූයෙමි. මඩ පෑඟුණ සපත්තු ගළවා පසෙකට විසී කොට මම හිස ඔසවා අක්කා දෙස බැලුවේ මින් පෙර කවරදාකවත් නොවූ වෛරයක් කෝපයක් සිතේ දරාගෙනය. දෑස් වලින් ඇයව ගිණි තැබිය හැකි වූවා නම් මා දෑස් වලින් පිටවන ගින්නෙන්ම ඈ දැවී යනු ඇත.

    “මොකටද අහන්නේ…? දැනගත්තා කියලා ඇති වැඩක් නැහැනේ…තමුසේ කොහොමත් දැන් මාව බන්දලා දෙන්න හිතන් ඉවරනේ…තමුසෙගේ මිනිහව ගෙන්න ගන්න ඇඟිලි ගැන ගැනනේ ඉන්නේ නේද…?”

    කෝපයෙන් කෑ ගැසූ මම සාලය මැදින් කාමරයට දිව විත් දොර වසා දමා යහනට පැන ඉකි ගසමින් හැඬුවෙමි. ජීවිතය පිළිබඳව හෝ මගේ අනාගතය පිළිබඳව සුන්දර සිහින, බලාපොරොත්තු කිසිවක් මා සිත තුළ පොදි බැඳගෙන නොතිබුණා වුවද මෙතරම් ඉක්මනින් විවාහයක් කර ගැනුමට නම් මම කිසිදා සිතා සිටියේ නැත. මේ දුක්බර මොහොතේ පවා මට රජිව් සිහි විය. මම ඔහු පිළිබඳව සිතමින් තව තව හැඬුවෙමි. ඔහුට වුවද මා මේ උගුළෙන් බේරා ගැනීමට කළ හැකි කිසිත් නැත.
    ——————————————————————————————————
    “අක්කේ…”

    කඩ කාමරය අතු ගාමින් සිටි අක්කා මගේ හඬින් හැරී නොසැළකිලිමත් බැල්මක් මවෙත හෙළා යළි සිය කාර්යය තුළම නිරත වූවාය. මම මෙලෙස හෝ ඇයව ඇමතුවේ දින ගණනාවකට පසුවය. ඇසිලින් නැන්දා කී මනමාලයා මා බලන්නට පැමිණියේ ඉකුත් සතියේ දිනකදීය. ජීවිතයේ පළමුවරට සාරියකුත් හැඳ මගේම අසරණ කමට තේ බන්දේසියකුත් රැගෙන මට ඔවුන් ඉදිරියට යෑමට සිදු විය. මනමාලයා දුටු පළමු මොහොතේම මා සිත බියකිනුත් දැඩි කළකිරීමකිනුත් හිරි වැටී ගියේය. අවුරුදු විසි පහක් පමණ වයසකින් යුත් ඔහුට වූයේ ඊටත් වඩා වයසින් වැඩි මුහුකිරා ගිය හැඩි දැඩි පෙනුමකි. කිසිදු තෙත් බවක් හෝ ප්‍රියමනාප බවක් ඔහුගේ මුහුණේ පවා නොවීය. මහා හඬින් කෑ ගසා හඬන්නට උපන් ආවේගය මම ඒ මොහොතේ අසීරුවෙන් වුවද මැඩ ගතිමි. ඔහු දැකීමට පෙර මා සිතා සිටියේ ඔහුද රජිව් මෙන් නොමැති වුවත් යාන්තමින් හෝ කඩවසම් අයෙකු යැයි කියා මුත් බැලූ බැල්මටම ඔහු ගල් පර්වතයක් මෙන් රළු අයෙකුය. මසිත හැකිළී දිය වී ගියේ මා ඔහු දුටු මොහොතේදීමය. අක්කාට සිතක් පපුවක් නැතැයි කියා මම ඒ මොහොතේත් සිතුවෙමි. ඇයට වුවමනා එකම දෙය නම් සුමිත් අයියා නිවසට ගෙන්වා ගැනීමය.

    අනෙක් අයගේ වුවමනාවට මට මා බලන්නට පැමිණි මනමාලයා සමඟ තනිව බහ කිරීමට සිදු විය. නමින් පූජිත වූ ඔහු සේවය කරන බවක් කීවේ ප්‍රදේශයේ සිටින ප්‍රසිද්ධ ඇමතිවරයෙකු ළඟ බව ඔහුගෙන් මම දැන ගතිමි. ඒ වන තුරුම මම ඔහු පිළිබඳව කිසිත් දැන නොසිටියෙමි. එම ඇමතිවරයාගේ නම ඇසූ සැණින් මා මුළු ගතම හිරි වැටී ගියේය. ඔහු මැර දේශපාකයෙකු මෙන්ම ස්ත්‍රී ලෝලියෙකුද බව සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි. දේශපාලන පළිගැනීම් වලට ඔහු තරුණයන් බොහෝ දෙනෙකු මරා දැමූ බවටද කතා ඇසී ඇත. එවන් අයෙකු ළඟ සේවය කරන මොහු කෙබඳු අයෙකුදැයි කියා සිතා ගැනීම අපහසු කරුණක් නොවන්නේය. පූජිත දුටු මොහොතේ පටන්ම ඔහු මට ආගන්තුකයෙකු පමණක්ම වූවා සේම මා සිතේ ඇති කර තිබුණේ බිය මුසු හැඟීමකි. මුළු ජීවිත කාලය පුරාම ඔහු මට ආගන්‍තුකයෙකුම පමණක් වනු ඇතැයි කියා සිතන විටත් මා දෙපතුලින් පටන් ගත් හිරිවැටීමක් සිරුර පුරා දිව ගියේය.

    “මොනවද දැන් කියන්න ආවේ…?”

    රළු හඬින් අක්කා අසන විට මම සිතුවිලි දැහැනෙන් මිදුණේ තිගැස්මෙනි.

    “මට දැන්ම බඳින්න බැහැ…මං ඒ මනුස්සයාට කැමති නැහැ…මට තව ටිකක් ඉගෙන ගන්න ඕන…”

    මා දෑස් අලුත් වූ කඳුලින් බොඳ විය. ඒ කඳුළු වල උණුසුමට හෝ අක්කාගේ රළු සිත දිය කරන්නට නොහැකි බවක් දැන දැනම මම හැඬීමි.

    “අපි දැන් වචනයක් දීලා ඉවරයි…ඔයා ඇඬුවා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ…එයාලත් කැමතියි මේක ඉක්මනට ඉවරයක් කරන්න…”

    ඈ කීවේ කිසිදු හැඟීමක් නැති සේය.

    “ඒ මනුස්සයා කවුද, කින්ද මන්ද කියලා කිසිම දෙයක් නොදැන මාව බන්දන්න යන එක සාධාරණ නැහැ…අනේ…මට තව ටික කාලයක් මෙහෙම ඉන්න දෙන්න…”

    හඬමින් මම අක්කාගේ දෙපතුල් ළඟ වැඳ වැටුණේ ඇගෙන් අනුකම්පාවක් බලාපොරොත්තුවෙනි.

    “මේ කසාදේ කෙරෙන්න ඕන…ඔයා හිතාගෙන ඉන්නේ මං ඔයා ගැන මොකුත් දන්නේ නැහැ කියලද…? ඉස්කෝලේ කොල්ලෙක් එක්ක යාළුවෙලා නටපු නාඩගම් මට ආරංචියි…මටත් හැමදාම මෙයාව බලන්න බැහැ…මෙයා ගෙදර ඉන්න කල් මට මගේ මිනිහව ගෙන්න ගන්න හැටියකුත් නැහැනේ…”

    මෙතෙක් බිම වැටී මා ඇගේ අනුකම්පාව අයැද සිටියද ඇගේ කතාවෙන් කෝපයට පත් වූ මා වහා නැඟී සිටියේ කෝපයෙනි. ඈ කළ චෝදනාව කෙතරම් පහත් නීචද.?

    “මොකක්ද මං නටපු නාඩගම…? මං නාඩගම් නැටුවා නම් මෙච්චර තමුසෙගේ දෙපතුල් ළඟ වැඳ වැටෙන්නේ නැහැ…අනික මිනිහව ගෙට ගන්න බැරි මං උගේ කරේ එල්ලෙන්න ගිය නිසා නෙවේනේ…වටේම ගෑණු තියන් ඉන්න වනචරයා…හරි මිනිහෙක් නම් තව කමක් නැහැ….බේබද්දා…මමනේ ඌට කරදර කරන්න ගියේ නේද…?”

    කෝපයෙන් මම කෑ ගැසීමි. ආත්මානුකම්පාවෙන් මසිත බර වන විට අක්කාගෙන් තව දුරටත් අනුකම්පාව යදිමින් වැඳ වැටී පලක් නොවන බව මට වැටහිණි. සුමිත් අයියා කොපමණ පහත්, නින්දිත වැඩක් කළා වුවද ඇයට වුවමනා ඔහුව නිවසට කැඳවා ගැනීම බව දැන මසිත ඈ කෙරෙහි පෙරටත් වඩා පිළිකුළක් ඇති විය. හඬන්නට තවත් නම් කඳුළු තිබුණාද කියා මම නොදනිමි. කාමරයට පැමිණ ජනේලය අසළ සිටගෙන මම සිතන්නට වූයේ මේ කරුමයෙන් ගැළවෙන මඟක් පිළිබඳවය. එයට විසඳුමක් පෙනෙන මානයක නොවීය. දෛවය මා සමඟ කරන මේ සරදම බරපතළ වැඩි යැයි කියා මට සිතිණි. එය පන්න පන්නා පළි ගන්නේ මා කළ කුමන නම් පාපයකටද…? මේ විවාහය කරගන්නවාට වඩා කණේරු ඇට ටිකක් කා මිය ගියා නම් මීට වඩා හොඳ යැයි කියා මට නැවත නැවතත් සිතුණේ වැට අද්දර සිටුවා තිබූ ඵලින් බර කණේරු ගස් පේළිය දකින විටය.

    “චුටි නංගී…”

    හදිසියේම අක්කා කාමරයට වැදී පහත් හඬින් මා අමතන විට මම එය නෑසුණා සේ සිටියේ පහව නොගිය කෝපයෙනි.

    “චූටි නංගී…අන්න…අර ළමයා ඇවිත්…මූණ ටිකක් සෝදන්…හොඳ ගවුමක් ඇඳන් එනවකෝ ඉස්සරහට…”

    ඈ මා සවනට රහස් හඬින් මුමුණන විට මම පුදුමයෙන් ඈ වෙත හැරුණෙමි.

    “මොන ළමයද…?”

    පැමිණියේ කවුරුන්ද කියා කිසිදු අනුමානයක් හෝ නොමැති නිසා මම ඇසුවේ නොරුස්සුමෙනි.

    “අර ළමයා අනේ……පූජිත…”

    මා සිත අලුතින් ගැස්සී ගියද මුවට නැඟුණේ උපහාසය මුසු සිනහවකි.

    “හහ්..! මරු ළමයා…ළමයි දැකලා නැතුව ඇති මෙයා…නාකි ගොබ්බයෙක්ට ළමයෙක් කියනවද…?”

    මුව කොණින් නැඟුණු සිනහවෙන් යුතුවම මම ඇසීමි.

    “මේ…චූටි නංගී…කියවන්නේ නැතුව එනවා ලැහැස්ති වෙලා…තමුසේ හිතන් ඉන්නේ රාජ කුමාරයෙක් තමුසෙව දෝලාවෙන් වඩම්මවන් යන්න එයි කියලද…?”

    මම තිගැස්සුණෙමි. අක්කා පහර දුන්නේ මා සිත වඩාත් රිදෙන තැනටමය. එවන් සිතුවිල්ලක් හෝ මා සිතේ කොණක හෝ නොවුණද ඈ මා සිත අලුතින් පෑරුවාය. අක්කා දිනුම ලැබුවාය. මම පරාද වූයෙමි. ඈ මට රවමින් පිටතට යන විට මම මුහුණ සෝදා ගෙන විත් කබඩයෙන් ගත් ගවුමකින් සැරසී කැඩපත ඉදිරියේ සිට ගතිමි. මගේම පිළිඹිබුව දකින විට මසිත අලුත් වූ අනුකම්පාවකින් බර විය.

    “චූටි නංගී…ඔයා එනවද…?”

    එවර අක්කා කවදාවත් නොඇමතූ ස්වරයකින් මා ඇමතුවේ මා තවත් පමා වූ නිසා වන්නට ඇත. මම සෙමෙන් හිස පීරුවෙමි.මට හදිසියක් නැත. තනි කරලට කොණ්ඩය ගොතා බූල් බෑන්ඩයක් දමාගෙන මම ආලින්දයට ආවේ ඊටත් බොහෝ වෙලාවකට පසුවය. අක්කා පෙනෙන්නට නොසිටි අතර පූජිත තනිවම එහි පසු විය. මා දුටු ඔහු මා හා සිනහසුණද පිළිතුරු සිනහවක් පෑමට මට සිහි නොවීය. නොමැති නම් සිනහවක් මුවට නොනැඟිණි. බිත්තිය අයිනේ වූ කැබිනට්ටුවට බර දී සිටගෙන මම දෑත් බැඳ ගතිමි. ඔහු කුමකට පැමිණියාද කියා මා සිතේ ඇති වූයේ දැඩි අප්‍රසාදයකි. එය මා මුවින්ද පෙනුනා වන්නට ඇති මුත් මම ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළෙමි. රළු, පරළු දැඩි මුහුණක් සහිත වූ ඒ මුහුණ දෙස බලන්නට නොහැකි නිසා මා සිටියේ බිමට නැඹුරු කොට ගත් හිසිනි.

    “ඉතින් මංදා..කිණි…”

    ඔහු මා නම ඇමතුවේ දෙවරකටය. එම ඇමතුම මා සිතේ අලුත් නොපහන් හැඟීමක් ඇති කළේය. ඔහුගේ රළු කට හඬ පවා ආගන්තුක විය. ඔහු මා අමතන විට පවා එහි කිසිදු හැඟීමක් තිබුණාද කියාත් සැක සහිතය. හිස ඔසවා නොමනාපය මුසු දෑසින් මම ඔහු දෙස බැලීමි.

    “ප්‍රතිඵල ආවා නේද…?”

    එවර ඔහු ඇසුවේය. මුවට නැඟි වචන පිට කර ගනු නොහැකිව මම “ඔව්” යැයි කීවේ නොසතුටෙනි.

    “පාස්ද…?”

    ඔහු නැවතත් ඇසීය.

    “ඔව්…එකක් ෆේල්…”

    මම නොසැළකිලිමත් ලෙස පිළිතුරු දුනිමි. අක්කා බීම වීදුරුවක් බන්දේසියක තබාගෙන විත් ඔහුට පිළිගැන්වූවාය.

    “ඉතින් මල්ලී…මොනවද විස්තර…?”

    අක්කා අසන්නේ හරියට බොහෝ කාලයක් ඔහුව දැන හැඳින සිටින්නාක් මෙනි. ඈ පැමිණියේ හොඳ වෙලාවටය කියා මට සිතිණි. මා ඔහු සමඟ කුමක් නම් කතා කරන්නද.? මම ඉස්තෝප්පුවට බැස්සේ අක්කා ඔහු සමඟ කතා බහ අරඹන විටය.

    “රස්නෙයි නේද මල්ලි…එළියට වෙලා දෙන්න එක්ක ටිකක් කතා කරන්න…”

    ඈ යළිත් එසේ කියනු ඇසී මා සිතේ ඇති වූයේ නොපහන් හැඟීමකි. මම ගෙළ හරවා ඉක්මන් බැල්මක් ගෙතුළට හෙළන පමාවට ඔහු අසුනින් නැඟී සිටියේය. මා සිතන්නටත් පෙර පූජිත සිටියේ ඉස්තෝප්පුවේ මා අසළය.

    “අපි යමුද ටිකක් මිදුලට…?”

    ඔහු ඇසුවේ පෙරමුණ ගනිමිනි. මම ඔහු පසුපස ඔහේ ඇවිද ආවෙමි. මිදුලේ කොහොඹ ගස යටට පැමිණ අපි දෙදෙනම නැවතුණෙමු.

    “මෙතන හරි සනීපයි නේද…?”

    සිසිළ් සුළඟක් හමා ගියේ ගත සිසිළ් කරමිනි.

    “ඔව්…”

    මම ඕනාවට එපාවට පිළිතුරු දුනිමි.

    “ඇයි ඔයා මට කැමති වුණේ…?”

    මම එක්වරම ඇසූ පැනයෙන් ඔහු තරමක් වික්ෂිප්ත වූ බවක් පෙනිණි. ඒ රළු මුහුණේ සිනහවක් නැඟෙන්නට තව බොහෝ වේලාවක් ගත විය.

    “ඇත්තටම…අනේමන්දා…ඔයා හොඳයි කියලා හිතුණා…”

    මෝඩ සිනහවක් පාමින් ඔහු කීවේය.

    “කීප දෙනෙක් බලන්න ගියත්…මගේ හිතට ඒ කවූරුවත් ඇල්ලුවේ නැහැ…”

    මා තරම් ඒ කිසිවෙකු අවාසනාවන්ත නොවූවා වන්නට ඇතැයි කියා මට සිතිණි. පූජිත මගෙන් බොහෝ දේ අසන්නටත් කියන්නටත් ඇති මුත් ඒ කිසිත් මට නෑසිණි. නැතිනම් නෑසුණා සේ සිටියාද කියා හෝ මම නොදනිමි. මා සිත තිබුණේ බොහෝ දුර ඈතකය. ඒ පූජිත අසළක නම් නොවේ. ඔහු පිටත්ව ගිය පසුව මා සිතට දැණුන සැනසුම, සහනය නම් අපමණය.

    “මොනවද ළමයා කියන්නේ…?”

    පූජිත ගිය පසු අක්කා මා විමසුවේ කාමරයට එබෙමිනි.

    “මොනවා කියන්නද…?”

    නොරුස්සුමෙන් මම කීවෙමි.

    “දෙන්නා එක්ක මිදුලට වෙලා කතා කර කර හිටියේ එහෙනම් මෙච්චර වෙලා…”

    මම ජනේලයට පිටුපා අක්කා වෙත හැරුණේ කෝපයෙනි.

    “එහෙමද පෙණුනේ…?”

    “නැතුව…”

    “හරි ආසාවෙන් මං මල් කැඩුවා කියලද තමුසේ හිතන් ඉන්නේ…වද නොදී යනවා…මේ ඉන්න ටිකේවත් මට මගේ සැනසීම නැති කරන්න එපා…”

    මම කෑ ගැසීමි. අක්කා දොර රෙද්ද ගසා දමා ගියේ මට රවමිනි. දුකක් මා සිත වටා යළිත් එතෙන්නට විය. මා මිය ගියා නම් මිට වඩා හොඳ යැයි කියා මට ඒ මොහොතේත් සිතිණි. සිය දිවි නසා ගන්නට තරම් දිරියක් මා තුළ නොවීය. හඬමින් මම යහන මත වැතිර ගතිමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>