රත් දෝතළු – 66
නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ ඒ නිසාදැයි මම නොදනිමි. විනිෆ්‍රීඩා මහත්මියද සුව නින්දකය. අහස් මට කරන්නට භාර දී ගිය සියල්ල මා මේ වනවිටත් ඉටු කොට අවසන්ය. අලස බවක් දැනුණෙන් මම පිටුපස දොරින් මිදුලට බැස මිදුල දිගේ ඉදිරිපසට ආවෙමි. මල් පැළ වලට වතුර දැමීමට තවම වේලාසන වැඩිය. මිදුල දිගේ විත් මම ඉස්තෝප්පුවට හරහා ආලින්දයට ගොඩ වන විට එහි අසුනක හිඳ සිටි විහඟ දැක තිගැස්සුණේ මේ මොහොතේ ඔහු එහි හිඳීවියැයි නොසිතුව බැවිනි. රූගත කිරීම් කීපයක් ඇති බැවින් ඔහු බදුල්ල පෙදෙසට ගියේ ගිය සති අගය. ඔහු නිවසට එන්නට ඇත්තේ දැන්ය.
“විහඟ සර්… දැන්ද ආවේ…?”
සිතේ වූ තිගැස්ම සඟවාගෙන මම ඇසීමි.
“දැන් තමා… කොහාටද වාෂ්ප වෙන්නේ…?”
ඔහු අසුනින් නැඟී සිටිමින් කීය.
“එළියේ හිටියේ…”
“හ්ම්ම්… තේකක් ඕන… හරි මහන්සියි… එළියෙන් තේ වත් නොබී ආවේ ඔයාගේ අතින් තේකක් බොන්න ඕන නිසා…”
ඔහු එය නිකමට කියූවක් නම් නොවන බව මට වැටහිණි.
“මම හදන්නම්…”
මම වහා පිටුපසට පැමිණියේ විහඟ මැද දොරින් යළි අනෙක් පසට යන විටය. ඔහු යළි පැමිණියේ මම තේ සාදා නිම වන විටය.
“මම ඔයාට තෑග්ගක් ගෙනාවා…”
ඔහු පාර්සලයක් මවෙත දිගු කරමින් කීය. එය අතට නොගෙන මම විදහාගත් දෑසින් විහඟ දෙස බලාසිටියෙමි.
“මට මොකටද විහඟ සර් තෑගි…?”
තේ කෝප්පය මේසය මත තබමින් මම ඇසුවෙමි.
“නිකමට අරගත්තේ… ගන්නකෝ…”
ඔහු එය මවෙත දිගු කළද එය ගැනීමට සිතක් මවෙත නොවීය.
“අනේ… විහඟ සර්… ගොඩාක් ස්තූතියි… ඒත් මට එපා… මට ඒක බාරගන්න බැහැ…”
“ඒ මොකද බාරගන්න බැරි…?”
මා එය ප්‍රතික්ෂේප කළ නිසාදෝ ඔහු මවිතයෙන් ඇසීය.
“තෑග්ගක් දෙන්න හේතුවක් තියෙන්න ඕනනේ සර්… අලුත් අවුරුදුත් නෙවේනේ… මගේ උපන්දිනේටත් තව කල් තියනවා… අනික මං මෙහෙ ආවේ රස්සාවට… මට ඒකට පඩියක් හම්බෙනවා… මට තෑගි ඕන නැහැ සර්…”
“ඕහ්… ඒකත් එහෙමද…? පඩි ගෙවන්නේ අහස් නිසාද මෙච්චර රැස් විහිදෙන්නේ…? ලොකුකම… එයා කිව්වද මගෙන් මොකුත් බාරගන්න එපා කියලා…?”
“විහඟ සර්… ඇයි මේකට අහස් සර්ව ඇදලා ගන්නේ… අහස් සර් මේ ගැන මොකුත් දන්නේ නැහැනේ…”
“එහෙනම් මොකද ගන්න බැරි… එයා දැනගනියි කියලා බයේද… නැත්නම් තමුන්ගේ අහංකාරකමද…?”
“සර්ට කැමති විදියකට හිතාගන්න…”
නොසතුටත් නොමනාපයත් මුසුව මම කීවෙමි. විහඟ ගෙනවිත් දුන් පළියට මා ඔහුහේ තෑගි බාරගන්නේ මන්ද.?
“ඔව්… මට හිතාගන්න තියෙන්නේ නම් එක විදියයි… තමුන් එයාට ආදරෙයි… ඒ නිසා මං දෙන ඒවා බාරගන්න කැමති නැහැ…”
මා සිතේ ඇති වූයේ කෝපයකුත් බියකුත්ය. විනිෆ්‍රිඩා මහත්මියට මෙය ඇසුණා නම්…!
“විහඟ සර්… මොනවද මේ කියන විකාර කතා… තෑගි බාරගන්න බැහැ කිව්වා කියලා ඔහොම කතා කියන්න එපා… නොගැළපෙන දේවල් බාරගන්න මට ඕන නැහැ…”
“ගැළපෙනවද බලන්නවත් තමුන් මේක අතටවත් ගත්තේ නැහැනේ… හේතුව ඒක නෙවේ… මං අර කලින් කියපු එක…”
“ඒක එහෙම නෙවේ කියලා මං වගේම සර්ත් හොඳටම දන්නවානේ…”
“උගුරට හොරා බෙහෙත් බොන්න හදන්න එපා…”
“බෙහෙත් බොන්න මට ඇති ලෙඩක් නැහැ… සර්ගේ තෑගි බාරනොගත්තා කියලා නිකන් චෝදනා කරන්න එපා…”
“කෙනෙක් තැග්ගක් දුන්නාම ඒක බාරනොගෙන මූණට දමලා ගහන සිරිතක් නැහැ… අනික ඕන කෙල්ලෙක් කැමතියි තෑගි ලැබෙනවා නම්… තමුන් මොකද ඔය තරම් ගණන්…?”
“ඔව්… වෙන්නැති… සර්ගේ ලිස්ට් එකේ ඉන්න ලාභ කෙල්ලො නම් කැමති ඇති… මාවත් ඒ ගාණට දාගන්න හදන්න එපා… දකින, දකින අයට ආදරේ කරන ජාතියේ නෙවේ මං…”
“ඕ…හෝ… ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට… ඒකෙන් අදහස් වෙන්නේ… තමුන් බිග් බ්‍රෝට ආදරේ කරනවා කියලා… ඒත් දැනගන්නවා අරවින්දි… එයා කවදාවත් තමුන්ට ආදරේ කරන්නේ නැහැ… තමුන් ලොකුවට හිතාගෙන හිටියට වැඩක් නැහැ… කවදාවත් ලැබෙන දෙයක් නෙවේ…”
ඒ කතාවට මා සිත රිදුණේ මන්දැයි මම නොදනිමි.
“ආදරේ කියන්නේ ලබාගැනීමම නෙවේ විහඟ සර්… නොලැබෙන දේටත් මේ ලෝකේ කී දෙනෙක් නම් ආදරේ කරනවා ඇතිද…”
“තමුන්ගේ ලොකුකම…”
“සර්ට පෙන්නන්න තරම මට ඇති ලොකුකමක් මං ගාව නැහැ… අපි දුප්පත් මිනිස්සු… හැබැයි එහෙම කියලා… අනුන්ගේන් යැපෙන්නවත් කාගෙන්වත් බලාපොරොත්තුවෙන්නවත් අපේ අම්මා තාත්තා අපිව හදලා නැහැ… මේ තේක බොන්න… නිවෙන්න කලින්…”
මම එසේ කියා ඔහු අසලින් මෑත් වූයේ පෑරුණු සිතැතිනි.
“මාන්නය…”
ඔහු කියනු මට ඇසිණි. මසිත රිදී තිබිණි. ඔහු කළ චෝදනා මොනතරම් නම් බරපතළද…! යහන මත හිඳගෙන මම සිතුවේ මම සිතින් අහස්ට ආදරය කරනවාද කියාය. එය එසේ වුවත් විහඟට එවන් චෝදනාවක් කරන්නට ඇති අයිතිය කුමක්ද.? ඔහු පවසන්නාක් මෙන් එය කිසි දිනක ඉටු නොවන්නක් බව මම දනිමි. එනමුත් අහස්ද මා පිළිබඳව සැළකිලිමත් වන්නේ ආදරය නිසා නොවේද කියාත් අනෙක් අතට මට සිතිණි.
————————————————————————————————————————————————————-
හැකිතාක් විහඟ මඟහැර සිටින්නට මම උත්සාහ කළෙමි. ඔහුගේ හැසිරීම අමුතුය. මා ඔහු මඟාරින්නට දරන උත්සාහය විනිෆ්‍රීඩා මහත්මියටද වැටහී, පෙනී ගොස් තිබිණි.
“මොකද අරවින්දි… අපේ චූටි පුතා ඔයාගේ හිත රිදෙන්නවත් මොකුත් කිව්වද…?”
විනිෆ්‍රීඩා මහත්මිය එසේ ඇසුවේ විහඟ පැමිණි විටෙක මම ඔහු මඟහැර පැමිණි නිසා වන්නට ඇත.
“ආහ්… න්…නැහැ මැඩම්…”
ඇගෙන් කිසිත් සැඟවීමට මට වුවමනා නොවීය. මම සිදුවීම ඈ හා පැවසිමී.
“මං ඔය තෑගි බාර අරන් අන්තිමේදි මට කතා අහන්න වෙයි මැඩම්… මතකනේ එක පාරකුත් විශාකා මැඩම් කියපු කතා…”
“හ්ම්ම්… ඒක නම් ඇත්ත…”
කෙටි සුසුමක් හෙළූ ඈ කීවාය. සමහර අවස්ථාවක විහඟ මා මුහුණට මුහුණ හමු වූ විටෙක ඔහු මා දෙස බැලුවේ සමච්චල් සහහත සිනහවක් මුව මත නංවාගෙනය. එය මා සිතේ ඇතිකළේ වේදනාමුසු හැඟීමකි. ඔහුට වුවමනා වී ඇත්තේ මා රිදවීමටය. ඔහුගේ යටි අරමුණ කුමක්ද කියා මට සිතාගන්නට නොහැකිය. තෑගි භෝග ලබාදී ඔහුට මා රවටාගන්නට ඇති වුවමනාවක් නම් නැති බව මම හොඳාකාරවම දනිමි. ඔහුට වුවමනා නම් ඔහු ඉඟිකළ පමණින් දුසිම් ගණන් තරුණියන් ඔහු පසුපස එනු ඇත. සමහරවිට ඔහු එම තිළිණය ගෙන එන්නට ඇත්තේ හොඳ සිතින් වන්නට ඇති මුත් එය බාර නොගත්තා කියා මා සිතේ පසුතැවීමක් නම් ඇති නොවීය. එදින සැඳෑවේ මා ඉස්තෝප්පුවේ වූ අසුනක හිඳහෙන පොතක් කියවමින් සිටි තැනට පැමිණි විහඟද මා පසෙක හිඳ ගන්නා විට මම ගෙල හරවා ඔහු දෙස බැලීමි. මේ මොහොතේ මට ඔහු මඟහැර යා නොහැකිය. ඔහු සමඟ කුමන කතාබහක් ඇතිවුවද එය කෙළවරවන්නේ මා සිත රිදවන යමකිනි.
“ලොකු ලයින්…”
ඔහු ඇනුම්පදය එල්ල කළේ මටය. මම එය නැසූණා සේ සිටියෙමි.
“මම තමුන්ට කිව්වේ…”
“ඒක මට අදාළම නැති කතාවක් නිසා මට අහක යන තොප්පි ඔළුවට දාගන්න ඕන නැහැ…”
“අදාළ නැත්තේ මොකද… මහන්තත්ත කමින් ඔළුව ඉදිමිලා මදිවට… අදාළත් නැහැලු…”
මා සිතට ශෝකයක් නොදැනිණි. විහඟ යම් කිසි දෙයක් නිසා සිත් වේදනාවකින් පසුවෙනවා යැයි කියා මට ඒ මොහොතේ සිතිණි.
“සර්ට ඕන දෙයක් කියාගන්න විහඟ සර්… මට හිතෙන්නේ සර් ඉන්නේ නම් මොකක් හරි හිත් වේදනාවකින් වගේ කියලයි..”
ඔහු මවිතයෙන් මදෙස බැලීය.
“ඔව්… ඔව්… මං ඉන්නේ නම් හිත් වේදනාවෙන් තමා… ඒ වෙන කවුරුත් ගැන නෙවේ… තමුන් ගැන් හිත් වේදනාවෙන්…”
“ඒ මොකද ඒ…?”
“තමුන් මිරිඟුවක් පස්සේ දුවනවා කියලා හිතනකොට වේදනාවයි…”
“අනේ මන්දා සර් මොනවා කියනවද කියලා…”
“නොදන්න නිස තමා මේ කියලා දෙන්නේ… මොකද තමුන් රැවටිලා ඉන්නේ… අහස් කියන්නේ මිරිඟුවක්… තමුන් මෝඩ මුව දෙනක් වගේ පස්සෙන් දිව්වට තමුන්ට ලැබෙන දෙයක් නැහැ… මට දුක අන්න ඒකයි…”
“අහස් සර් මිරිඟුවක් නම්… මං මුව දෙනකුත් කියමු… එතකොට විහඟ සර් කවුද… මුව දෙන පස්සේ දුවන දඩයක්කාරයද…?”
ඔහු දෑස් විදහා මදෙස බලා සිටියේය.
“අහස් නොවුණා නම් ඔයා මට කැමති වෙලා අරවින්දි… එයායි අපි අතරේ ඉන්න බාධාව…”
මම තිගැස්සී ගිය අතර මට හුනස්නෙන් නැඟිටුණේ ඉබේමය. සිත වේගයෙන් ගැහෙන විට, මා ගත වෙව්ලන බවක් මට දැනෙන විට, මම අත රැඳි පොත තරයේ අල්ලාගත්තේ එය ගිළිහෙනු ඇතැයි සිතාය.
-13 වන සඳුදා නැවත හමුවෙමු-