More
    NovelsRath Dothaluරත් දෝතළු - 35

    රත් දෝතළු – 35

    -

    spot_img

    රත් දෝතළු – 35

    විනීෆ්‍රීඩා මහත්මිය ඉදිරියේ දණ ඔබා ගත් මම ඇගේ අතක් අල්ලාගතිමි.

    “මං මඟ බලන් හිටියේ ළමයෝ… මොකෝ පරක්කු වුණේ…?”

    ඈ මා හිස අතගාමින් මෘදු හඬකින් කී අතර මට බැලුණේ අහස් දෙසය. පරක්කු වුණේ මා නිසා යැයි ඔහු පවසනු ඇතිද කියා සැකයක් මා සිතේ ඇති විය. එන අතරමඟ මා හඬා වැළපුණු බවක් ඔහු පැවසුවා නම් එය උහුළනු නොහැකි ලැජ්ජාවක් වනු ඇත.

    “පරක්කු වුණේ නැහැනේ… අපි ඉක්මනට ආවනේ…”

    මා සිත සහනයට පත්කරමින් අහස් කීය.

    “හ්ම්ම්… මට හිතුණේ ගොඩක් වෙලා ගියා කියලා… ඉඳගන්න ළමයෝ… ඔයාට මහන්සිද…?”

    ඇයට කීකරුව මම අසුනකින් හිඳගතිමි. මම පිළිතුරක් දීමට පෙර අහස් එයට පිළිතුරු දුන්නේ මට රවමිනි.

    “මහන්සිද අහන්නේ? සුදු මම්මා හිතුවද මෙයා වාහනේ පස්සෙන් දුවන් ආවා කියලා… සැපට වාඩි වෙලානේ ආවේ… මටනේ මහන්සි ඩ්‍රයිව්කරලා…”

    ඔහු කීවේ නොසතුටෙන් මෙනි. මා මුව ඇද කළේ විනිෆ්‍රීඩා මහත්මියට නොපෙනෙන්නටය.

    “හරි…හරි… ළමයෝ… ඔයා ඕවා ගණන් ගන්න එපා…”

    ඈ පැවසුවේ මා සිත් රිදවාගනු ඇතැයි සිතා වන්නට ඇති බව මට වැටහිණි.

    “දැන් ඉතින් සුදු මම්මාට අපිව මතකත් නැහැ…”

    අහස් නෝක්කාඩු කියනවිට විනීෆ්‍රීඩා මහත්මිය තරමක් හඬින් සිනහසුණාය.

    “පේනවද මේ ළමයාගේ ඉරිසියාව…?”

    මා මුවට නැඟි සිනහව එසැණින් වියැකී ගියේ අහස් නෙරවාගත් දෑසින් මා දෙසට හෙළූ බැල්ම නෙත ගැටුණ නිසාය.

    “නැතුවට හොඳයි…”

    ඔහු පහත් හඬින් මිමුණුවේ මුහුණ ඉවතට හරවාගනිමිනි.

    “හරි…හරි… දැන් ඔය කතා වැඩක් නැහැ… අපි තේ ටිකක් බොමුද…?”

    ඈ විමසුවේ අහස්ගෙන් වුවද ඔහු ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.

    “අරවින්දි ආව ගමන්ම සුදු මම්මා රාජකාරියක් පැවරුවා වගේ…”

    “නැහැ…නැහැ… මම ඔයාට කිව්වේ පුතේ… මේ ළමයා ආව විතරනේ…”

    “ආහ්… මටද කිව්වේ…”

    ඔහු අපහසුතාවයට පත්වූවා මෙන් කීය.

    “නැතුව ඉතින්… වෙන කාටද…?”

    “මම හදන්නම් මැඩම්…”

    අසුනින් නැඟී සිටිමින් මම කීවෙමි.

    “අනේ… ළමයෝ…”

    “කමක් නැහැ මැඩම්…”

    “ඉන්නකෝ එහෙනම් මාත් එන්නම්…”

    ඈ පෙරමුණ ගන්නා විට මම ඈ පසුපස පැමිණියෙමි. කබඩවල අසුරා තිබූ අඩුම කුඩුම පිටතට ගෙන මම මේසය මත තැබුවෙමි.

    “ඔයාට හැමදේම මතකයි නේ… වෙලාවකට මටවත් මතක නැහැ තියපු තැන්…”

    “ආහ්… මැඩම්… එදා අහස් සර් පෙන්නුවානේ…”

    “ඒක තමා…ඒක නෙවේ අරවින්දි…”

    ඈ විමසන විට මම කේතලය ළිප මත තබා ඈ වෙත හැරුණෙමි.

    “මැඩම්…”

    “යාළුවා මොකද කිව්වේ… ඔයා මෙහෙ එනවා කියලා කියනකොට…?”

    “ආහ්… මුළින් නම් කැමති වුණේ නැහැ මැඩම්…”

    “ආහ්… ඒ මොකද…?”

    “එයා බයේ…”

    “අනේ ළමයෝ… ඔයාට මෙහෙ බයවෙන්න දෙයක් නැහැ… මම ඔයාව බලාගන්නවා… හොඳද…?”

    ඈ එසේ විමසන විට මා සිතේ අලුත් සෙනෙහසක් ඉපදිණි.

    “මම ආවේ මැඩම්ව බලාගන්න… මැඩම් මාව බලාගන්නවද…?”

    මඳහසක් පාමින් මම ඇසීමි.

    “අපි දෙන්න අපි දෙන්නව බලාගමුකෝ… වැඩේ ඉවරනේ…”

    සිනහසෙමින් ඈ කියන විට මමද ඈ හා සිනහසුණෙමි. සංජය විසින් ඇයට ඇමතුමක් දුන්නාදැයි විමසීමට සිතුණද එකවරම ඒ ගැන විමසීම සුදුසු නොවේ කියා සිතුණු බැවින් මම නිහඬව සිටියෙමි. අහස්ද එදින හෝටලයේදී මා නාඳුනන සේ හැසිරුණේ මන්ද කියා මට තවමත් සිතාගන්නට නොහැකිය. සමහරවිට ඒ මා වැනි දුප්පත් එකියක සමඟ ඔහු වැනි උසස් පැළන්තියේ අයෙක් කුමකට කතා කරනවාද කියා සිතා වන්නට ඇත. ඉක්මනින් තේ සාදාගෙන අපි ආලින්දය වෙත පැමිණෙන විටත් අහස් සිටියේ ජංගම දුරකථනයට යොමාගත් හිසිනි.

    “අද තේ බොයිද කියලා මම මේ හිත හිත හිටියේ…?”

    ඔහු හිස නොඔසවාම කීවේ ඇනුම්පදයක් බව මට වැටහිණි.

    “ඒ මොකද පුතේ…?”

    විනිෆ්‍රීඩා මහත්මිය ඇසුවේ මවිතයෙන් වුවද මා ඔහුගේ ඊළඟ ඇනුම්පදයට සූදානමින් බලාසිටියෙමි.

    “නැහැ ඉතින්… ගැහැණු දෙන්නෙක් එකතු වෙලා වැඩක් කරන්න ගියොත්… කරන්න ගිය දේ නෙවේනේ කරලා ඉවර වෙන්නේ… ඒකයි මම කිව්වේ…”

    “ඇයි… අපි තේ හදන්න ගිහින් පිට්ටු තම්බන් ආවා කියලා හිතුවද…?”

    විනීෆ්‍රීඩා මහත්මිය අසන විට මා මුවින් සිනහව පිට පනීවි යැයි සිතා මම වහා අතේ වූ තේ බන්දේසිය ස්ටූලට මත තැබුවෙමි. ඔහු හිස ඔසවා එයටද රැවුමක් හෙළමින් බැලුවේ මා දෙසය. මම තේ කෝප්පයක් ගෙන විනීෆ්‍රීඩා මහත්මිය වෙත පිරිනැමුවෙමි.

    “සර් තේ බොන්නේ නිවිලනේ…”

    ඔහු දෙස බලා මම විමසුවේ ඔහු රිදවන්නටය. නෙරවාගත් බැල්මක් මවෙත හෙළූ ඔහු ඉදිරියට නැඹුරුව තේ කෝප්පට අතට ගත්තේය.

    “මෙයා කවද්ද නිවිච්ච තේ බිව්වේ… පොඩි කාලේ ඉඳන් උණු උණුවේ තේ බොන්නේ… යාන්තම් හරි නිවිලා තිබුණා නම් කටේවත් තියන්නේ නැහැ…”

    ඒ බව මමද දැනගත්තේ මෙහි පැමිණි පළමුදාමය. ඔහු බුම්මාගත් වනම සිටියේය. එදින ඔහු එසේ කරන්නට ඇත්තේ මා රිදවන්නට වන්නට ඇත. නමුත් එසේ කරන්නේ මන්ද.?

    “ආහ්… මං අහන්නමයි හිටියේ ළමයෝ ඔයාගෙන්… ඔයා කොහොමද අපේ සංජය අඳුනන්නේ…?”

    විනිෆ්‍රීඩා මහත්මිය අසන විට තේ උගුරක රස බලමින් මම යැටැසින් අහස් දෙසට බැල්මක් හෙළීමි. ඔහු එය නෑසුණා සේ තේ කෝප්පය රස බලන්නට විය.

    “මම මිස්ටර් සංජය අඳුනගත්තෙත් මෙහෙ ආවාට පස්සේ මැඩම්… මගේ යාළුවා තමා එයාව දන්නේ… මිස්ටර් සංජය මැඩම්ව හොඳටම දන්නවා නේද… මැඩම්ට කෝල් කළාද…?”

    “ඔව්…ඔව්… මට කෝල් කළා… ඔයාලා ඩිනර් එකකට ගිහින් ඉන්නවා දැක්කා කියලා මට අහස් පුතා කිව්වේ…”

    “සර්… කිව්වද ඒක… ඒ වුණාට මාව දැකලා හිටියේ නිකන් අඳුන්නෙවත් නැති ගානට… මිස්ටර් සංජයට විතරක් කතා කරලා යන්න ගියා… හරියට නිකන් අපි වැරදි තැනක මුණ ගැහුණ වගේ…”

    මම ඔහුට වදින්නට එසේ කීවේ විනීෆ්‍රීඩා මහත්මිය සමඟය.

    “මොනවා ළමයෝ… ඔයා එහෙම කළාද… සංජය මොනවා හිතුවද දන්නේ නැහැ… අනික ඔයාට නිකමට හරි කතා කරන්න තිබුණානේ… අපේ වොලට් එක නැති වෙලා ඒකත් ගෙදරටම ගෙනත් දීලා ගිය ළමයා… අනික මෙහෙ වැඩට එන්න ඉන්නේ කියලාත් දැන දැනම එහෙම කරපු එකනම් වැරදියි…”

    ඈ එක දිගට ඔහුට දොස් පවරන විට මා සිතේ ඇති වූයේ සතුටකි. මම දෑස් වලින් සිනහසෙමින් ඔහු දෙස බලා සිටින විට ඔහුද මා දෙස බලා සිටියේය.

    “ඇයි ඉතින් මෙයාට තිබුණානේ මා එක්ක කතාකරන්න… ඔය කෙල්ලෝ එක්ක බලෙන් කතාකරන්න යන පුරුද්දක් මට නැහැ…”

    “අපිටත් පුරුදු නැහැ කොල්ලෝ එක්ක බලෙන් කතාකරන්න යන්න… අපිට කතා කළොත් තමා අපිත් කතාකරන්නේ…”

    මමද එකටෙක කීවෙමි.

    “හරි ළමයා තමා මෙයා… ඔයා ඕවා හිතන්න එපා ළමයෝ…”

    ඈ යළිත් කීවේ මා සනසන්නට මෙනි. අහස් හිස් තේ කෝප්පය ස්ටූලය මත තමබින් නැඟී සිටියේය.

    “මම උඩට යනවා සුදු මම්මා… වැඩ ටිකක් තියනවා ඉවරකරන්න… මම ටිකකින් ඇවිත් ඔයාට කරන්න ඕන දේවල් ටික කියලා දෙන්නම්… එතකල් රෙස්ට් එකේ ඉන්න…”

    ඔහු එසේ පවසා මැද දොරින් පිටව ගියේය. විනීෆ්‍රීඩා මහත්මිය මා වෙනුවෙන් සූදානම් කර තිබූ කාමරය වෙත මා කැඳවාගෙන ආවාය.

    “මගේ කාමරේට අල්ලපු කාමරේම මං ඔයාට ලැහැස්ති කළා…”

    කාමරය දුටු මා මවිතයට පත්වූයෙමි. සුව පහසු යහනකින්ද කන්නාඩි මේසයක් සහ ලියන මේසයකුත් කුඩා ඇඳුම් කබඩයකුත් එහි වූ අතර එය ඉඩ කඩ පිරුණු විසල් කාමරයක් විය.

    “අනේ මැඩම්…”

    මට කියවිණි. මේ සා දෙයක් මම නම් කිසිවිටක බලාපොරොත්තු නොවූයෙමි.

    “ඇයි දරුවෝ… මේක හොඳ නැත්ද…? එහෙනම් මං අනික් කාමරේ ලැහැස්ති කරන්නම්…”

    මම ඈ අසල දණ ගසා ගතිමි.

    “නැහැ…මැඩම්… මට මේක හොඳ වැඩියි… මං මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ…”

    ඈ මා හිස පිරුමැත්දේ සෙනෙහෙබර සිතිනි.

    “ඔයාව වැඩට ගත්තේ අහස්ගේ ගෙදර ඔෆිස් එකටත් එක්ක… ගෙදර සර්වන්ට් කෙනෙක් විදියට නෙවේ… ඔයා ඇඳුම් මාරු කරන් රෙස්ට් කරන්න… ඔය කබඩ් එකෙන් ඇඳුම් ටික දාගන්න… මොනවා හරිම ඕන නම් මට කියන්න… අහස් පුතා ඊයේ ඉඳන් ඔය කාමරේ අස්පස් කළේ…”

    මම පුදුම වූයේ ඒ කතාවටය. අහස් විසින් එය අස්පස් කළා යැයි කියා සිතීම පුදුමයක් නොවේද.? අනෙක් අතට එහි පුදුම වන්නට දෙයක් නැත. නිවසේ සේවයට වෙනත් කිසිවෙකු නොවූ නිසා ඔහු එය කරන්නට ඇත. කාමරය පුරා ඇවිදයමින් මම සිතුවේ විනීෆ්‍රීඩා මහත්මිය මට මෙසේ තමන්ගේ අයෙකුට මෙන් සළක්න්නේ මන්ද කියාය. ජනේලය හැර දමා මම පිටත බැලීමි. තාප්පය අයින දිගේ සිටුවා ඇති මලින් පිරීගිය ඉද්ද ගස් දකින විට මා සිතේ ඇති වූයේ පහන් හැඟීමකි.

    -23 වන සඳුදා නැවත හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...

    නාමල් අධිකරණයට

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ...

    බංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන ලකුණු

    ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා. ඒ අනුව...

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 33

    රත් දෝතළු - 33 අප අතර මොහොතකට නිහඬ බවක් පැතිර ගියේය. පාසලෙන් ඉවත් වූ පසුව නිර්මාණි මුණ ගැසුණේ වසර ගණනාවකින්...

    සැමියන්ට වෙන ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැඩි ඇයි?

    සැමියන්ට ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැඩි ඇයි? - The Housemaid සාමාන්‍යයෙන් බිරිඳක් තමන්ගෙ සැමියට වෙනත් ගැහැණුන්ගෙ ඇල්ම බැල්ම වැටෙනවද කියලා නිතර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page