රත් දෝතළු – 32
පසුදින මා අවදිවන විටත් නිර්මාණි පිටව ගොස් සිටියාය. මම යහනින් බැස ගත්තේ කලබළයෙනි. මෙතරම් පමාවන තුරුම නින්ද යෑම පුදුමයක් නොවේ. පෙරදින අප නිදාගන්නා විටත් බොහෝ පමාව තිබිණි. තේ කෝප්පයක් සාදාගෙන මම සඳළුතලයට පිවිසියෙමි. මුහුද අද තරමක කැළඹී ඇතිවාක් මෙනි. අව් රශ්මියද දැඩිය. හුන් තැනින් මෑත්ව මම යළි ඇතුළට පැමිණ දොර වසා දැමීමි. මෙහි ගතකරන අවසන් දවස අද බව සිහිව සියුම් දුකක් මසිතේ ඇති විය. හෙට දිනෙන් පසුව එළඹෙන දවස් කෙසේ වනු ඇතිද කියා මම නොදනිමි. එය මා සිතේ ඇතිකළේ සියුම් බිය මුසු චකිතයකි. නිර්මාණි පැමිණි වහා පාලිත මාමාට ඇමතුමක් ගත යුතුයැයි මම සිතුවේ දිවා ආහාර සූදානම් කරන මොහොතේය. නිවසේ තොරතුරක් හෝ දැනගන්නට නොහැක. කේෂව නිවසට කැඳවාගෙන විත් ඇතිද? ඔහු සිහිවන විටත් සිතේ බිය මුසු වෛරයක් නම් ඇති වීම වළකාගන්නට නම් මම අපොහොසත් වීමි. නිර්මාණි දුන් ඇඳුම් කීපය මම සූදානම් කොට බෑගයට දැමුවේ සිතින් ඇයට පින් දෙමිනි. නිර්මාණි වෙනදාටත් කලින්ම පැමිණීම මා සිතේ තැතිගැන්මක් ඇති කළේය.
“ඇයි නිරූ… මොකක් හරි හදිසියක්ද…?”
ඈ සැටිය මත වැටුණේ අතපය විසුරුවාගෙනය. මම වහා ඈ වෙත ළංවූයේ තැතිගැන්මෙනි.
“මොකෝ මේ බයවෙලා… මම හොඳින්… හරි මහන්සියි බං…”
ඈ වියළි සිනහවක් පාමින් කියන්විට මා සිතේ යම් අස්වැසිල්ලක් ඇති විය.
“මං බය වුණා මොකෝ අවේලාවේ කියලා…”
“මහන්සියි… ටිකක් කලින් ආවා… තේ ටිකක්…”
ඈ ඒ කී ආකාරයට නම් මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. මම තේ සාදාගෙන යළි ඈ වෙත එන විට නිර්මාණි සිටියේ අඩනින්දකට වැටීගෙනය. මම ඇයව අවදි කළේ ලෝභකමිනි. තිගැස්මෙන් යුතුව ඈ වහා අවදි වූවාය.
“හරි මහන්සියි… වොෂ් එකක් දාන් නිඳාගන්න ඕන… ඊයේ නින්දකුත් නැහැනේ…”
නිර්මාණි කීවේ තේ උගුරක රස බලමිනි.
“නිරූ… පාලිත මාමාට කෝල් එකක් අරන් ඕන…”
මම මතක් කළෙමි.
“මගෙන් අහන්න ඕනද… අනේ… ගන්න… මං වොෂ් එකක් දාගන්න යනවා…”
ඈ තේ කෝප්පය ස්ටූලය මත තබා කාමරයට යන විට මම පාලිත මාමාගේ අංකය සොයා ඇමතුමක් ගතිමි. පළමුව මම ඔහු හා පැවසුවේ රැකියාවක් සොයාගත් බවය. එය නිවසක නොකියා පෞද්ගලික ආයතනයක බවක් මම කීවෙමි.
“ගෙදර අය හොඳින් ඉන්නවා… දුව ඔහේ වැඩ ටික කරගෙන යන්නකෝ… මාත් ඒ පැත්ත බලනවා…”
මා සිතට අස්වැසිල්ලක් දෙමින් ඔහු කීය. කේෂව ගැන සඳහන් කළේද ඔහුමය. ඔහුව නිවසට කැඳවාගෙනවිත් ඇත.
“දැන් මොකද මාමේ…?”
දෙගිඩියාවෙන් මම ඇසීමි.
“රෝද පුටුවට වෙලා බලාගත්තු අත බලන් ඉන්නවාලු… කා එක්කවත් කතා බතා නැතිලු කියලා දුවලාගේ අම්මා තමා කිව්වේ…”
“සිහිකල්පනාව නැතිලුද…?”
“එහෙම ආබාධයක් නැහැ… ඉස්පිරිතාලේ ඉන්දැද්දිත් හොඳට කතා බහ කළා කියලා ප්‍රියනන්දයා කිව්වේ… පොලීසියෙන් අහනකොට මොකුත් දන්නේ නැහැ… මතක නැහැ කිව්වලු…”
ඔහු පැවසුවද මා සිතේ ඇති වූයේ අලුත් බියකි.
“ඒත් මට නම් බයයි මාමේ…”
“දුව හිත කලබළ කරගන්න වුවමනා නැහැ… ඒවා සේරම හරි…”
ඔහු පැවසුවේ මා සිත සනසන අදහසින් වුවද කතාබහ අවසන් කළ පසුවත් මා සිතමින් සිටියේ කේෂව මෙසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන අරමුණක් ඇතිවද කියාය.
“අහස පොළොව ගැටගහන්න වගේ මොනවද කල්පනා කරන්නේ…?”
නිර්මාණි එසේ අසමින් මවෙත ආවාය. ඈ ගැල්වූ මෘදු විළවුන් සුවඳ මා නාසයට දැනිණි.
“ගැට ගැහුණු ඒවා ළිහාගන්න බැරිවයි මං මේ දඟළන්නේ…”
සිනහවක් මුවට නංවාගන්නට උත්සාහ දරමින් මම කීවෙමි.
“හිතේ කලබළෙන් ගැට ලිහාගන්න ගිහින් වෙන්නේ… තව තව ගැට ගැටගැහෙන එකයි… එන දෙයක් එන විදියකට බාරගමු… පාලිත මාමා මොකෝ කිව්වේ…?”
ඔහු පැවසූ දෑ මම නිර්මාණි හා පැවසීමි.
“ප්‍රශ්නයක් වෙලා නැහැනේ… මෙයා මේ කොරහෙත් කිඹුල්ලු හොයන්න දඟලනවා… හිත කලබළ කරගන්නේ නැතුව ඉන්න…”
නිර්මාණි කීවේ සැහැල්ලුවෙනි. මම කෙටි සුසුමක් හෙළීමි.
“මේ… ඒක නෙවේ… මං අහන්නමයි හිටියේ…”
මම වුවමනාවෙන් ඈ දෙස බැලීමි.
“මොනවද…?”
“දැන් මේ ජොබ් එකට යන්න හිතුවේ කැමැත්තෙන්මද…?”
ඈ මා දෙස වුවමනාවෙන්ම බලමින් විමසුවාය. යළි සිතන්නට දෙයක් නැත. මම එය සිතා අවසන්ය.
“ඔව් නිරූ… ටික කාලෙකට හරි මම යනවා… ඒ මැඩම් කිව්වේ නර්සින් හෝම් එකෙන් ආව ළමයට දවසට තුන්දාහක් ගෙව්වලු… ඇවිත් නිකම් ඉන්නවට… සල්ලි තිබ්බා කියලා හරි…. මිනිස්සුන්ගෙන් මෙහෙම ගසාකන්න හොඳ නැහැ…”
“මාසයක් හිටියානම් අනූ දාහක්… ඒත් ඉතින් ඒ ළමයාට හම්බෙන්නේ ඒකෙන් සොච්චමනේ…”
“ඔව් ඉතින්… ඒක නම් ඇත්ත…”
“ඔයාට පඩි වැඩිකරලා දෙයිනේ ටික කාලෙකින්… අනික ජොබ් දෙකක් කරන්න වෙන නිසා පඩිය වැඩිපුර ඉල්ලන්න…”
නිර්මාණි සිහි කළාය. මම ඊට හිස සැළීමි.
“පඩිය වැඩි පුර දෙයිද ඉතින්…?”
මම යළිත් ඇසීමි.
“එව්වා කියන්න බැහැ… රස්සාවට කලින් පරස්ථාව හදාගෙනනේ ආවේ… හොඳයි… හොඳයි… මෙයාට හරි යනවා නම්…”
ඈ එල්ල කළේ ඇනුම්පදයකි.
“අනේ… මේ… යනවා යන්න…”
“කැමත්තෙන්ම යන්න හදන්නේ ඒකත් එක හේතුවක් නිසානේ… නැත්ද… උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ නංගී…”
“බෙහෙත් බොන්න මට ඇති ලෙඩක් නැහැ…”
ලැජ්ජාමුසු හැඟීමක් ඇති වුවද මම කීවේ මවාගත් නොමනාපයකිනි.
“ලෙඩේ හැදෙයි ඔහොම යනකොට…”
“මේ… කටවහන් ඉන්නවද නූපන් ළමයින්ට කේන්දර හදන්නැතුව…”
“කේන්දරත් බලවන්න වෙයි ඔහොම ගිහින්… හැබැයි මේ කාලේ නම් සිකුරු හතේ…”
ඇගෙන් නම් මට බේරිල්ලක් නොමැත. වෙනත් යමක් නොකියා මම ඇයට රැව්වේ ඈ එයටත් කුමක් හෝ පවසනු ඇති බව දැනය.
“උඹ රවත්දිත් ලස්සනයි බං… අහසුයි විහඟයි දෙන්නම මේකිට මරා ගනියිද දන්නැහැ මෙහෙම ගිහින්…”
“මේ… නිරූ… කටවහන් ඉන්නවද… විකාර දොඩවන්නැතුව…”
මම අසනවිට ඈ කළේ උස් හඬින් සිනහසීමය.
“දැන් ඔයාගේ අංකල් කෝල් කරයිද ඒ මැඩම්ට…?”
කතාබහ වෙනතකට යොමු කරන අටියෙනුත් නිර්මාණි කේන්ති ඇවිස්සීමටත් සිතා මම ඇසීමි.
“මගේ මොකා කිව්වා…?”
“සංජු අංකල්…”
“අංකල්…? හිටපන් මං කියන්නම්…”
“ඉතින් බොරුද… අහස් පුතා කියන්නේ අංකල් කියලා… මං අංකල් කිව්වාම මොකද…?”
නිර්මාණි උකුළ මත තබාගෙන සිටි කොට්ටයෙන් මට දමා ගැසුවාය. මම සිනහසෙමින් එය ළමැදට තුරුළුකොට ගතිමි.
“උඹ… හරකි…”
ඈ කෑගැසුවාය.
“හරි… හරි… මං විහිළුවක් කළේ…”
ඈ රවාගත් බැල්මකින් බලා සිටිනු දැක මා මුවේ සිනහව පුළුල් විය. මුව ඇදකරගනිමින් රූපවාහිනියේ දුරස්ථපාලකය අතටගත් ඈ එය ක්‍රියා කෙරෙවුවාය.
“අනේ මන්දා අරවින්දි…”
ඈ කියනවිට මම බැලුවේ මවිතයෙනි. මෙතෙක් සැහැල්ලුවෙන් සිටි ඇගේ මුහුණේ එක්වරම ඇඳී තිබුණේ ශෝකී හැඟීමකි.
“මොකෝ අනේ එකපාරම මූණ කළු වෙලා…?”
මම වහා ඇසීමි.
“ඔයා හිටිය නිසා මේ ටිකේ පාළුවක් දැනුණේ නැහැ අරවින්දි… දැන් ඉතින් ඔයාත් ගියාම මං ආයෙත් මේ බිත්ති හතරේ කොටුවෙනවා…”
ඇගේ හඬේ වූයේ සැබෑවටම ශෝකයකි. ඈ වෙත නැඹුරුව මම ඇගේ අතකින් අල්ලාගත්තේ සිත පිරීගිය අපමණ සෙනෙහසකිනි.
“වැඩි දුරක නෙවේනේ… මං පුළුවන් වෙලාවට එන්නම් ඇවිත් යන්න…”
පොරොන්දුවක ලෙස මම කීවද එය ඉටුකළ හැකිවේද කියා විශ්වාසයක් නම් මා තුළ නොවීය.
“ඔය කිව්වට එතන වැඩ එක්ක හිර වුණාම විවේකයක් නැති වෙයි අරවින්දි…”
මා මුවින් සුසුමක් ගිළිහිණි.
“අපි බලමුකෝ…”
මමද කීවේ කෙටි සුසුමක් හෙළමිනි.
“පරිස්සමට වැඩටික කරගන්න… පුළුවන් හැමවෙලේම කතාකරන්න… නැත්නම් මං හරි ගන්නම්…”
මම එයට හිස සැළීමි.
-හෙටත් හමුවෙමු-