NovelsRath Dothaluරත් දෝතළු - 26

රත් දෝතළු – 26

-

spot_img

රත් දෝතළු – 26

මා සිතුවේ මෙහි රැකියා ලබාගත්තා නම් මට විනීෆ්‍රීඩා මහත්මිය රැකබලාගෙන මෙහිම නැවතී සිටියහැකි නොවේද කියාය. මෙවන් තැනක රැකියාවක් කළා කියා සිදුවන අවමානයක් හෝ අවනම්බුවක් නැත. ගැටළුවකට ඇත්තේ නම් මේ ආඩම්බරකරයා එයට කැමති වනු ඇතිද කියාය.

“පුතේ මේ ළමයට යන්න ක්‍රමයක් හදලා දුන්නා නම්… ආව ත්‍රී වීල් එකත් අපි යැව්වා නේ…”

මගේ සිතුවිලි වලට බාධාකරමින් විනීෆ්‍රීඩා මහත්මිය කීවාය.

“දැන් මාත් ඒ පැත්තට යනවානේ සුදු මම්මා… මම ඩ්‍රොප් කරන්නම්…”

මා තැතිගන්වමින් ඔහු පවසා වහා අසුනින් නැඟී සිටියේය.

“නැහැ… නැහැ… මැඩම් ඕන නැහැ… මට පුළුවන් යන්න… මං ත්‍රී වීල් එකකම යන්නම්…”

ඔහු සමඟ රථයක නැඟී යාමට මට වුවමනා නැත.

“කමක් නැහැ ළමයෝ… පුතා එක්ක යන්න… ඒක ආරක්ෂාවටත් හොඳයි…”

ඈ යළිත් කියන විට මට බැලුණේ ඔහුගේ මුහුණ දෙසය. ඔහු මුව කොණින් නැඟි සිනහවකින් යුතුව බලා පෙර පැමිණි දොර දෙසට පියමැන්නේ රථයේ යතුර රැගෙන ඒමට කියාය.

“ඔහොම වාඩිවෙන්නකෝ… මං ඉක්මනට එන්නම්…”

විනීෆ්‍රීඩා මහත්මියද එසේ කියා ගෙතුළට ගියේ මා එහි තනිකරලමිනි. ඒ අතරේ මම යළිත් සිතුවේ මෙහි රැකියාව ලැබුණා නම් මගේ ප්‍රශ්න සියල්ල විසඳෙනු ඇතැයි කියාය. නමුත් එය විශාල ප්‍රශ්න රැසක ඇරඹුම බව ඒ මොහොතේ මට නිකමට හෝ සිතුව්ල්ලකින් වත් නොසිතිණි. ඇරත් අහස් මා රැකියාවට බඳවාගන්නට අකමැති වුවහොත් ඒද ලැජ්ජාවකි. එසේ වුවත් කම් නැත. මම මගේ අදහස ඈ හා පවසන්නෙමි. ඔහු අකමැති වුවත් මම යළි ඔවුන් හමුනොවන නිසා ගැටළුවක් නැත.

“අරවින්දි…”

විනීෆ්‍රීඩා මහත්මිය යළි එහි පැමිණියේ මා අමතාගෙනය.

“මෙන්න දරුවෝ… මගෙන් ඔයාට පුංචි තැග්ගක්…”

ඈ දිගු ලියුම් කවරයක් මවෙත දිගු කරන විට මම තැතිගතිමි. එහි ඇත්තේ මුදල් බවට සැකයක් නැත. මට ඇගේ මුදල් වුවමනා නැත. මා පැමිණියේ මුදල් බලාපොරොත්තුවෙන් නොවේ. කෙනෙකුගේ අවංකභාවය, විශ්වාසය, ආදරය, මිතුදම මුදලට මිලදී ගත නොහැක.

“මැඩම්… මට තෑගි ඕන නැහැ… මං ආවේ තෑගි බලාගෙන නෙවේ… ස්තූතියි…”

අසුන මතින් නැඟිටිමින් මම කීවේ නොසතුටක් සිතට දැනුණ බැවිනි. එවිට අහස්ද එහි පැමිණියේය.

“අනේ… අනේ දරුවෝ… මේ අහන්න… මං දන්නවා ඔයා හිතන දේ… ඔයා මේ දේ කළේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවේ කියලාත් මං දන්නවා… ඔයාට සල්ලි ඕන නම් ඔයා කරන්නේ වොලට් එක විසි කරලා දාල සල්ලි ටික ගන්න එක… ඔයාගේ අවංක හිත බාල්දු කරන්න හදනවා නෙවේ… මං ඔයාට මේක දෙන්නේ මගේ හිතේ සංතෝෂෙන්, ආදරෙන්…”

ඈ එක දිගටම කියවන් ගියාය.

“මට සල්ලි ඕන නැහැ… මැඩම්… ඒත්…”

මම වහා කීවෙමි.

“ඇයි දරුවෝ ඒත් කිව්වේ…?”

මම අහස් දෙස බැලීමි. ඒ දෑස් වල වූයේ ප්‍රශ්නාර්ථයකි.

“මැඩම් මට පුළුවන් නම් රස්සාවක් හොයලා දෙන්න… ටික කාලෙකට හරි කමක් නැහැ… නැත්නම් මට මැඩම් ළඟ හරි රස්සාව දෙන්න… මට වෙන ජොබ් එකක් හොයාගන්න කල් හරි…”

මම කියවාගෙන ගියෙමි. ඈ අහස් දෙසට බැල්මක් හෙළමින් යළි මට අසුන්ගන්නට කීවාය. මම ඇයට කීකරුව යළි එහි හිඳගතිමි.

“අහස් පුතේ… ඔයා මොකද කියන්නේ… ඔයාටත් ඇසිස්ටන්ට් කෙනෙක් ඕන කියා කියා නේද හිටියේ ගෙදර ඉඳන් වැඩ කරවාගන්න…? මං හිතන්නේ අරවින්දි ඒකට ගැළපෙනම කෙනා… ඒ ගමන් එයා මං එක්ක හිටපුවාදෙන්… මොකද ඔයා කියන්නේ…?”

ඈ මගේ අදහසට සතුටින් එකඟ වුවද අහස් එයට කුමක් කියනු ඇතිදැයි මා සිටියේ දෙහිඩියාවෙනි.

“සුදු මම්මා කැමති නම් ඉතින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ…”

ඔහු එයට එකඟවනු ඇතැයි කියා කිසිදු විශ්වාසයක් මා සිතේ නොවූ නිසා මම පුදුම වූයෙමි.

“අනේ දරුවෝ… මම හරිම කැමතියි… මම මේක අරවින්දිගෙන් අහන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ…”

ඈ පැවසුවේ ප්‍රීතිමත් හඬකින් මා වෙත ළංව මගේ දෑතක් අල්ලාගනිමිනි.

“අනේ මැඩම් ගොඩාක් ස්තූතියි…”

බිඳුණු හඬකින් මම කීවෙමි.

“අපි හොයා හොයා හිටියා වගේම කෙනෙක් අපිට දෙවියන් වහන්සේ ළඟටම ගෙනත් දුන්නා පුතේ… දැන් ඉතින් ඔයාගේ වැඩ ටික මේ ළමයටත් කියලා දීලා ඔයා ඔයාගේ ටුවර් එක ගිහින් එන්න…”

“ටුවර්…?”

මා මුවින් එක්වරම පිටවූයේ නොඇසිය යුතු පැනයකි.

“ආහ්… ඔව්… මෙයාට මේ බිස්නස් වැඩ වගේකට යන්න තිබුණාට දවසින් දවස ඒක කල් දමා දමා හිටියේ මාව තනියම දාලා යන්න බැරි නිසා… මෙයාලගේ අම්මලාත් මේ දවස් වල ලංකාවේ නැහැ…”

ඈ සතුටින්දෝ එක දිගටම කියවන් ගියාය.

“හරි… අපි එහෙනම් යමු…”

ඔහු විධානය කළේය. මම අසුනින් නැඟී සිටියෙමි. එවිට ඈ මගේ අත්බෑගය රැගෙන ලියුම් කවරය එහි එබුවාය.

“ඔයා කැමති දෙයක් ඕකට කරන්න… ඕක ගන්නේ නැත්නම් මෙහේ එන්න එපා… නැහැ.. නැහැ… මං විහිළුවක් කෙරුවේ… ඔයා එන්නේ කවද්ද කියලා මට බලලා කෝල් එකක් දෙන්නකෝ… මං පුතාව එවන්නම් එක්ක යන්න… පරිස්සමට ගිහින් එන්න…”

ඈ මා දෑතින් අල්ලාගනිමින් කීවාය. අහස් විනීෆ්‍රීඩා මහත්මිය වෙත නැඹුරු වූයේ ඇයට හාදුවක් පිරිනමන්නටය. මම වහා පසෙකට වූයෙමි. ඔහු ගැල්වූ විළවුන් වල සුවඳ දැනී මා සිත හිරිවැටී ගියේ බොහෝ හුරු පුරුදු සුවඳක් දැනුණ කලක මෙනි. එම සුවඳ මට මීට පෙර කිසිදා දැනී නොතිබුණ බව නම් ඉඳුරාම කිව හැකිය. එය සැබෑම පිරිමි සුවඳකි. ඔහු පෙරමුණ ගන්නාවිට මම ඇයට සමු දී ඔහු පසුපස ඇදී ආවෙමි. පෝටිකෝව යට නවතා තිබූ සුඛෝපභෝගී රථය දුටු විට මා සිතේ ඇති වූයේ බියකි. බස් රථයක හැරුණු කොට මා වෙනත් රථයක ගමන් කොට නොතිබීම එයට හේතුව විය. පිටුපස දොර හැරගෙන පිටුපස අසුනට නැගීමට සූදානම් වූ ද එය ඇතුළතින් අගුළු ලා තිබිණ.

“ඩ්‍රයිවර් එක්ක ගමනක් යනවා කියලා හිතාගෙනද පිටිපස්සෙන් නඟින්න හදන්නේ මැඩම්… ඉස්සරහින් නඟින්න…”

ඔහුගේ උපහාසය මුසු වදන් හමුවේ මා සිතේ ඉහිර ගියේ ලැජ්ජාමුසු හැඟීමකි. ඔහු විවර කරදුන් දොරින් මම රථයට නැඟුණේ ලැජ්ජාවෙනුත් තරමක තිගැස්මකිනුත් යුතුවය.

“ඔය සීට් බෙල්ට් දාගන්න… මට දඩකන්න බැහැ පොලීසියෙන්…”

“සීට් බේ…ල්…ට්…?”

මම එය දැනසිටියේ නැත. අපහසුතාවයෙන් මම වටපිට බලනවිට ඔහු ඉක්මන් බැල්මක් මවෙත හෙළීය.

“ඔව් ඉතින්… ගම අහවල් දිහානේ… ඒ වුණාට කතාව නම් උඩරට කුමාරිහාමි වගේ…”

එම වදන් මා සිතේ අලුත් කෝපයක් ඇතිකරලීමට සමත් විය.

“උඩරට කුමාරිහාමි කෙනෙක් නම් යන්නේ මෙහෙම වාහනේක නෙවේනේ… මට ඔය වගේ කතා අහන්න ඕන නැහැ… මං බලෙන් වාහනේට නැග්ගෙත් නැහැ… කාටවත් මාව ගිහින් ඇරළවන්න කිව්වෙත් නැහැ… මං ආවා වගේම ත්‍රී වීල් එකක යන්නම්…”

මුලින් නැඟි කෝපය පසුව හැඬුම් මුසු හඬකට පරිවර්ථනය විය. දොර විවරකර ගැනීමට සූදානම් වුවද එය අඟුළු වැටී ඇත. මට හැඬෙනු ඇතැයි බියක් මා සිතේ ඇති විය. මේ නපුරු ආඩම්බරකාරයා ඉදිරියේ හඬා වැටී මගේම කඳුළු බාල්දු කරන්නට මට වුවමනා නැත. වරක් මා එම වරද කළෙමි. නැවත වතාවක් නම් එවැනි දෙයක් සිදු නොවේ. මම වේගයෙන් ඇසිපිය සැළුවේ දෑසට එක් රොක් වූ කඳුළු වළකාගන්නටය. ඔහු මදෙසට නැඹුරුව ආරක්ෂක පටිය ඇද ගාංචුවට තද කළේය. එය ක්ලික් හඬක් නංවමින් සවි විය. මසිත මොහොතකට නතර වූ සෙයක් දැනුණේ ඒ වැටුණු පිරිමි හුස්ම නිසාවෙනි. මා ගත හිරි වැටී ගියේ රථයේ වායුසමීකරණ යන්ත්‍රය නිසා නම් නොවේ.

“ඒකවත් දන්නේ නැහැ…”

ඔහු එවන් බැල්මක් දෑස් තුළ රඳවාගෙන මදෙස බැලුවා වැනි හැඟීමක් මා සිතේ ඇති විය.

“දැන් දැක්කද…?”

ඔහු අසන විට කඳුළු පරයා මා මුවේ මඳහසක් විකසිත වුණේ නිතැනිනි. බිමට නැඹුරු වූ හිසින් මම සෙමෙන් හිස සෙළවූයෙමි. ගේට්ටුවෙන් රිය මාවතට දමා ඔහු සෙමෙන් රිය පැදවීය.

“සුදු මම්මා ඔයාට කැමතියි…”

ප්‍රධාන මාවතට රිය හරවමින් ඔහු කියන විට මම වහා හැරී ඔහු දෙස බැලුවේ ඒ කීවේ මා හටද නැතිනම් තමාටම කියාගත්තක්ද කියා සිතා ගන්නට නොහැකිවය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you