රත් දෝතළු – 23
ඔහුගේ පෙනුම බියකරුය. දෑස් වලින් ගිණි පිටවන්නාක් මෙන් මදෙස බලා සිටියේය.
“මොන එහෙකටද එහෙනම් ඔහේ ආවේ…?”
ඔහු කෑගසන විට මම තිගැස්සී ගියෙමි.
“මෙච්චර වෙලා මගේ කාලේ නාස්තිකරලා… ඔය ටික කලින් කියන්න එපැයි… මොන ඔළුගෙඩියකටද තමුන් ආවේ… කෙනෙකුගේ කාලය නාස්ති කරන එක අපරාධයක්… සොරකමක්…”
ඔහු පැවසුවේ කෝපයෙනි. පෙර ඇති වූ බිය පහව මා සිතේ කෝපයක් හට ගත්තේ අන් කිසිත් නිසා නොව ඔහුගේ අවසන් වචනය නිසාය.
“මම ආවේ ඔළුගෙඩියකට නෙවේ… ඔහේගේ නැති වුණ වොලට් එක දීලා යන්න… ඔයානේ මෙච්චර වෙලා කතා කරලා මගේ කාලේ නාස්ති කළේ…”
මමද පැවසුවේ කෝපයෙනි.
“වට්…! මගේ වොලට් එක…? ආර් යූ නට්ස්… කවද්ද මගේ වොලට් එක නැති වුණේ… තමුන්ට ඔල්මාදෙද… මොනවද මේ කියවන්නේ….?”
එම අහංකාර කතාව මා සිතේ කෝපය තවත් අවුළුවාලීය.
“මට ඇති ඔල්මාදයක් නැහැ… ඔල්මාදේ ඔහේට… සිහියක් පතක් නැතුව නැති කරගන්නවා මදිවට, ඒක අරන් ගෙදරට ආව මනුස්සයාට කතාකරන්නේ ඔහොමද…?”
“තමුන්ට විකාරද…? තමුන් ඇවිත් තියෙන්නේ වැරදි තැනට… මගේ වොලට් එක නැති වුණේ නැහැ… තේරුණාද…?”
ඔහු එසේ පවසන විට නම් මට සිහින් දාඩිය දැමීය. බියක් මෙන්ම ලැජ්ජාමුසු හැඟීමක්ද මා සිතේ ඇති විය.
“එ…එ… එතකොට මේ… වික්‍රමසූරියලා ගෙදර නෙවේද… විනී විලා කියලා තාප්පෙත් ගහලා තිබුණානේ…”
තැතිගත් හඬින් මම ඇසීමි.
“විනී විලා මේක තමා… ඒත් මගෙ වොලට් එකක් නැති වුණේ නැහැ…”
“එහෙනම්… ඔයා විහඟ සත්සර නෙවේද…?”
“ඕ… හෝ… දැන්නේ බළලා මල්ලෙන් එළියට පැන්නේ… දැන් එතකොට මෙච්චර වෙලා මගේ ටයිම් පාස් කළේ මේ විහඟ නිසාද… දැන්නේ මට තේරුණේ… මෑන් ඉන්නෙත් මෙහෙ තමා… ඒ මගේ සහෝදරයා… ඔය ටික කියන්න තිබුණානේ මෙච්චර වෙලා තෙපර බාන්නේ නැතුව….”
උපහාසයත් තවමත් පහව නොගිය කෝපයෙනුත් යුතුව ඔහු කීවද මා සිතට යම් සහනයක් දැනුණේ මා පැමිණ ඇත්තේ වැරදි තැනට නොදන බව දැනගත් නිසාය. මුවින් යාන්තමට සැනසුම් සුසුමක් ගිළිහී ගියද ඔහුගේ කතා විලාසය මගේ කෝපය නිවී යෑමට ඉඩ හළේම නැත. මම අසුන මතින් නැඟී සිටියේ කෝපය ඉහවහා යන විටය.
“මේ… මිස්ටර්… මම මෙච්චර වෙලා කළේ ඔයා කියපු දේවල් අහන් හිටිය එක… මම ඔහේගේ කාලෙ නාස්ති කළේ නැහැ… අඩුම තරමේ මම මෙතන්ට ඇවිත් කතා කරනකොට ඔළුව උස්සලා බලන්න තරම්වත් කාරුණික වුණාද? අත දිග් කරලා වාඩිවෙන්න කියනකොටත් මම ඉඳගත්තේ සිරිත් විරිත් වලට ගරු කරන්න ඕන නිසා… මං කොහේ ඉඳලාද ආවේ ගෙවල් කොහෙද කියලා ඇහුවේ මනුස්සකමට කියලා මං හිතුවේ… ඇරත් මං හිතුවේ තමුන් විහඟ කියලා… මට වචනයක් වත් කතා කරන්න ඉඩ නොදී කියවන් ගිහින් දැන් මට කියනවද තමුන්ගේ කාලේ හොරකම් කළේ මං කියලා… මමද එහෙම කළේ…?”
බුර බුරා නැඟුණ කෝපයෙන් මම කියා දැමිමි. මා දෑසට කඳුළක් නැඟී ආවද මම එය මැඩගන්නට වේගයෙන් ඇසිපිය සැළීමි. මෙවන් මිනිසෙකු ඉදිරියේ කඳුළු සලා ඒවා හෑල්ලුවට ලක්කරන්නට මට වුවමනා නැත.
“මේක ගන්න… මං ඔය විහඟව දන්නෙත් නැහැ… මේක එයාට දෙන්න… එයා ඔයාගේ මල්ලිනේ… ඕකේ තිබුණ ඒවා එහෙම්මම ඇති… අපි දුප්පත් බව ඇත්ත… ඒත් කාගෙවත් දේවල් හොරකම් කරලා ජීවත් වෙන පුරුද්දක් අපිට නැහැ… එහෙම වුණා නම් අද මෙතන්ට ඇවිත් නිරපරාදෙ චෝදනා අහන්න වෙන්නෙත් නැහැ… මං තමුන්ගේ කාලේ හොරකම් කළෙත් නැහැ…”
එවර නම් මා කොතෙක් නොහඬා සිටීමට තැත් කළද කඳුළු නවතාගන්නට හැකියාවක් මට නොවීය. ඔහු තවමත් පසුම්බිය අතට නොගෙන බලා සිටින විට මම එය මේසය මත දමා පිටතට දිව විත් තරප්පු පෙළ බැස ගත්තේ අත රැඳි ලේන්සුවෙන් කඳුළු පිසමිනි. ආත්මානුකම්පාවත් දුකත් මා සිත පීඩාවට පත්කළේය. මුහුණ පිස ගත් මා වටපිට බැලුවේ මෙසේ හඬමින් පිටතට යා නොහැකි නිසාය. ත්‍රී රෝද රියේ රියදුරුද වැරදි අවබෝධයක් ඇතිකරගනු ඇත. එවිටයි මට වැටහී ගියේ මා වැරදි තරප්පු පෙළකින් බැස ඇති බව. මේ මා පෙර පිවිසිණු ගෙවුයන නොවීය. නිවසේ විසල් ගේට්ටුවද නැත. මට වැරදී තිබිණි. ඒ සමඟම මා දුටුවේ උස්ව නැඟුණු සේපාලිකා ගසක් යට රෝද පුටුවක සිටින කාන්තාවකි. ඈ බිමට වැටුණු යමක් අසුළන්නට තැත් කරන විට ඇගේ සමබරතාවය ගිළිහී ගොස් ඈ පසෙකට පෙරළෙන්නට යන විට මම වහා දුවගොස් ඇයව වත්තන් කර නොගන්නට ඈ බිම ඇදවැටී ඇගේ හිස පසෙක වූ සිමෙන්ති බැම්මේ වදින්නට ඉඩ තිබිණි.
“අනේ ළමයෝ… හොඳ වෙලාවට…”
ඇයද බියපත් හඬකින් කී අතර “සුදුමම්මා…” යි කෑ ගසමින් මෙතෙක් මා සමඟ කතාබස් කරමින් සිටි තරුණයාද පහළට දිව ආවේය.
“තෑන්ක්ස් ගෝඩ්… සුදු මම්මා… ඔයා අනූනවයෙන් බේරුණේ…”
ඔහු වහා ඈ අසළ දණගසාගෙන ඇගේ දෑතින් අල්ලාගත්තේ සහනයට පත් විලසිනි.
“අනේ… බලන්නකෝ ඉතින්… තව ඩිංගෙන් මං ඇදන් වැටිලා මෙතන ඔළුවත් වැදිලා ලේ පෙරාගෙන එකම විජ්ජුම්බරයක් වෙනවා මේ ළමයා නොහිටින්න…”
ඈ කිසිදු ගාණක් නැතිව මෙන් කීවේ උපහාසය රැඳි හඬකිනි. මා මුවටද සිහින් සිනහවක් නැඟුණේ නිරායාසයෙනි. මේ මා පෙරදින කතාබහ කළ අය බව මේ වන විටත් මට වැටහී තිබිණි. සුදු මම්මා කියන්නේ එසේනම් විහඟගේ මව නොවේද? ඈ මිත්තණිය ලෙස සිතීමටත් නොහැකි වූයේ ඈ එතරම් වයස්ගත අයෙකුද නොවූ නිසාය.
“ඒක තමා මාත් දැක්කා… මෙයා වැරදීමකින් හරි මේ පැත්තේ ස්ටෙයාර් එක බැස්සේ හොඳ වෙලාවට…”
ඔහු පවසන විට මම ඉක්මන් බැල්මක් ඔහු වෙත හෙළුවේ තවමත් ඒ හඬේ උපහාසයක් රැඳී තිබුණු බව හැඟී ගිය නිසාය. එය මා සිතේ ඇතිකළේ අලුත් නොසතුටකි.
“මේ දරුවා කවුද… කියලා ඔයා මට කිව්වේ නැහැනේ අහස් පුතේ…”
එවිට ඔහුද මා දෙස බැලුවේ එයට පිළිතුරක් ඔහුද නොදැන සිටි නිසා වන්නට ඇත. ඔහු නැඟී සිටි අතර මා ඔහුව තවත් හරියටම දුටුවේ මේ මොහොතේදීය උසින් අඩි හයක් පමණ වූ ඔහු පුළුල් උරහිසින් යුත් අයෙකු විය. ආඩම්බර නපුරු පෙනුමක් තිබුණද ඔහු ඉතා කඩවසම් බව නම් මට පිළිගැනීමට සිදු විය. තවමත් මා සිතේ පෙර තිබූ නොමනාපයත් නොසතුටත් කෝපයත් පහව ගොස් නොතිබු නිසා ඔහු දෙස නොබැලූ මම හිස ගස්සා ඉවත බලාගතිමි. දෑස් වලින් ගිළිහී ගිය කඳුළු නිසාදෝ මුහුණට දැනුණේ සීතලකි. මේ සිදු වූ සිදුවීම් පෙළ මට තවමත් ප්‍රහේළිකාවක් වූ අතර මම සිටියේ වික්ෂිප්තවය.
“කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ…. මනුස්සකමක් ගෑවිලාවත් නැහැ…”
මම මටම මුමුණාගතිමි. පිටව යන්නට මඟක් සෙවුවද මට මෙහි දොරටුවක් ඇති බවක් හෝ නොපෙණිනි. තරප්පු පෙළ නැඟම අනෙක් පසට පිවිසිය යුතුද.?
“ඒකට උත්තර දෙන්න ඕනත් එයාම තමා සුදු මම්මා… මං හිතුවා මෙයා මේ ඇඩ්වර්ටීස්මන්ට් එක දැකලා ඉන්ටර්වීව් ආව කෙනෙක් කියලා…”
ඒ හඬේ වූයේ බලාපොරොත්තු කඩවූ බවකැයි කියා මට නිකමට සිතිණි. ඈ මා දෙස බලා සිටියේ මවිතයෙනුත් කුතුහළයෙනුත් පිරි දෑසිනි.
“එතකොට කවුද මේ…?”
“එයා ඇවිත් තියෙන්නේ මේ විහඟගේ නැතිවුණ මොනවද දෙන්නලු… මං ඒ මොකුත් දැනන් හිටියේ නැහැනේ…”
එවර ඒ හඬේ වූයේ පසුතැවිළි බවක්ද කියා සැකයක් මා සිතේ ඇතිවිය.
“ආනේ…. ඔයාද අරවින්දි… මං මේ ඔයා එයි කියලා තමා එළියට වෙලා බලන් හිටියේ… මට ඔයාට ඒක කියන්න බැරි වුණා පුතේ… ඔයා එනකොට රෑ වෙලා වෙන්නැතිනේ…”
එසේනම් ඔහු එය නොදැන සිටීමට හේතුව එයයි.
“එතකොට සුදුමම්මා කොහොමද මෙයාව දන්නේ…?”
ඈ පැවසුවේ මා ඇමතුමක් දුන් බවය.
“ආහ්… ඒක මිසක්…”
“මැඩම්… මං වොලට් එක දුන්නා… මං දැන් යන්නම්… කරුණාකරලා මට කියනවද මම කොහොමද පාරට යන්නේ කියලා…?”
නොසන්සුන් හඬකින් මම ඇසීමි.
“අනේ… අනේ දරුවෝ… එහෙම කොහොමද… අපි තේ ටිකක් බීලා යමු… එන්න එන්න… අපි යමු ඇතුළට…”
ඈ මා අතින් අල්ලා ගනිමින් කීවාය.
“බැහැ මැඩම්… ගොඩාක් ස්තූතියි… තේ නොබීවට මං බොහෝම රස කතා ටිකක් නම් අහගත්තා… ඒකම මදෑ… මං ත්‍රී වීල් එකක ආවේ…. ඒක පාරේ ඇති… මං යන්න ඕන…”
නොමනාපය මුසු ඇනුම්පදයක් එල්ලකරමින් මම කීවෙමි. ඈ එවිට අහස් දෙස බැලුවේ කිසිත් වටහාගන්නට නොහැකිවාක් මෙනි. ඔහු මදෙස බලන විට රැවුමක් පා කළ මා ඉවත බලාගතිමි.
-හෙටත් හමුවෙමු-