රත් දෝතළු – 21
ඈ කතාබහට ප්‍රිය කරන අයෙකු කියා මට සිතුණේ නොනවත්වා කතාකරන්නට වූ බැවිනි. විහඟ නිසා ඇයත් සිටින්නේ සිත් තැවුළෙන් බව මට ඇගේ කතාවෙන් වැටහිණි.
“වැඩේ කියන්නේ ළමයෝ… මේ ළමයා අද තමා මෙච්චර දවසක් ගෙදර ඉඳලා එළියට ගියේ… මං කෝල් එකක් දීලා කියන්නම් වොලට් එක හම්බුණා කියලා… ඔය ළමයට කරදරයක් නැත්නම් අපේ ගෙදරට ඕක ගෙනත් දෙන්න බැරි වෙයිද…? මොකද මාත් තනියම ඉන්නේ… එවන්න කෙනෙක් ඇත්තෙත් නැහැ…”
මම කොහොමත් සිතා සිටියේ එය නිවසට ගෙන ගොස් භාර දෙන්නට බව මම ඇයට කීවෙමි.
“ම්ම්… මට දැන් නම් එන්න විදියක් නැහැ…”
“ආහ්… ඒකට කමක් නැහැ ළමයෝ.. පුළුවන් වෙලාවක ගෙනත් දෙන්න… ඔය ළමයා ඉන්නේ කොහෙද…?”
මම ඇයට මා සිටින තැන පැවසුවෙමි.
“අනේ… එතන ඉඳන් මහ දුරක් නැහැනේ… ට්‍රයි ෂෝ එකක එන්න… මං ඒකට ගෙවන්නම්… ඔයාට කරදරයක් නැහැ නේද…?”
“නැහැ… මට කරදරයක් නෙවේ… මේක ළඟ තියාගෙන ඉන්න එක තමා මට කරදරේ… මම හෙට උදේම එන්නම්…”
“හා… හා… හොඳයි… ඔයා ඇඩ්‍රස් එක දන්නවද…?”
යළිත් මා සවන් වැකුණේ ඇගේ සිනා හඬය.
“මේ අයි ඩී එකේ තියෙන ඇඩ්‍රස් එක හරිනේ… සමුද්‍රාසන්න…”
“ආහ්… ඔව්… ඔව්… ඒ ඇඩ්‍රස් එක හරි…”
ඈ නැවත වතාවක් ලිපිනය සඳහන් කරමින් පැවසුවේ හෙට උදෑසන පැමිණෙන ලෙසය.
“ගොඩාක් ස්තූතියි දරුවෝ…”
ඈ අවසාන වශයෙනුත් පවසන විට මම කතා බහ නිමකරමින් නිර්මාණි සොයා මුළුතැන්ගෙයට පැමිණියෙමි. ඈ සිටියේ රාත්‍රී ආහාර සූදානම් කිරීමට සැරසෙමිනි.
“මොකද වුණේ…?”
මා දුටු ඈ විමසුවාය.
“හෙට උදේ යමුද එහෙනම් නිරූ… මේක දීලා එන්න…?”
මම අසනවිට ඈ පුදුමයෙන් මදෙස බැලුවාය.
“දීලා එමුද අහන්නේ… දැන් මාත් එන්න ඕනද… මං එන්නේ නැහැ… දෙන්නා එක්ක ඩීල් දාන් මට කතා කරනවා…”
ඇගේ සිතේ සැබෑවටම කෝපයක් තැවරී ඇතැයි සිතූ මසිත ගැස්සිණි.
“අනේ… නිරූ… මං හිතුවා ඔයත් එයි කියලා…”
“මොන විකාරද… ඔයා මොකටද ඕක අරන් යන්නේ… එයාට එන්න කිව්වා නම් හරිනේ… අපි කිව්වද වොලට් නැති කරගන්න කියලා…”
නිර්මාණි කතා කරන ගමන්ම ළූනු ගෙඩියකක් කපන්නට වූවාය. ඈ සිතා ඇත්තේ මා මෙතෙක් වෙලා කතාකරන්නට ඇත්තේ විහඟ සමඟ කියා විය යුතුය.
“ඔයාගේ නළුවා නෙවේ කතාකළේ… එයාගේ අම්මද කොහෙද… ඉස්සෙල්ලා නැටුවේ මං හිතුවා ඇස් දෙකත් එළියට පනියි කියලා ඒ බලන් හිටපු විදියට….”
මඳහසක් පාමින් මම කියනවිට ඈ මට රැව්වාය.
“මේ යමු හොඳේ…”
“මං හෙට වැඩ කෙල්ලේ… උඹ ගිහින් වරෙන්…”
එවර ඈ කතා කළේ නිවුණු හඬකිනි. පෙර ස්වරූපය හුදෙක් මවා ගත්තක් බව මම දැන සිටියෙමි.
“අනේ… එතකොට ඔයා කියන්නේ මම තනියම යන්න කියලද…?”
“ඇඩ්‍රස් එක තියනවානේ… මං අඳුනන ත්‍රී වීල් එකක් තියනවා… මං එයාට කියන්නම් එක්ක යන්න… වීල් එකට එයාලගෙන් සල්ලි ඉල්ලගන්න… වොලට් එක නැති කරන් මදිවට ගිහින් දෙන්නත් ඕන…”
ඈ වේගයෙන් ළූණු ගෙඩිය කපන්නට වූවාය.
“මොනවද හදන්නේ…?”
ඇයට සහාය වීමට සිතා මම ඇසීමි.
“චිකන් ඩෙවල් දාලා ෆ්‍රයිඩ් රයිස් එකක්…”
එවන් දේවල් මා රස බලා නැත. අපිට හුරු කරවල කෑල්ලක් තෙල් දමා පරිප්පුවක් හෝ සම්බෝලයක් සමඟ බත්ය. එයද අපිට රජ බොජුනකි. මම කිසිත් නොකියා සිටියේ නිර්මාණි එය සාදන්නම් කියා පැවසූ බැවිනි. ඇයට රසට උයන්නට හැකිය. මෙවන් රසවත් කෑම සාදන සැටි ඇගෙන් උගත යුතු යැයි මම සිතුවේ ඈ උයන දෙස බලා සිටින අතරේය.
————————————————————————————————————————————
“මේක තමා මිස් ඔය ඇඩ්‍රස් එක…ඔය තාප්පේ ගහලා තියෙන්නේ නම…”
නිර්මාණි පැවසූ ත්‍රී රෝද රියේ රියැදුරු මා කැඳවාගෙන විත් පැවසුවේ විසල් නිවසක් ඉදිරියේ රිය නවතමිනි.
“විනී විලා.”
ලිපිනය නිවැරදිය. මසිත බියකින් සැළුණේ එම සුවිසල් නිවස දැකීම නිසාම පමණක් නොවේ. නිර්මාණි දුන් අවවාද අනුශාසනාද සිහි වීමෙනි.
“පරිස්සමට යන්න… වැඩිවෙලා නම් ඉන්න එපා… ඕක දුන්නා… වීල් එකේ හයර් එක ඉල්ලගත්තා… අනෙක් පැත්තට ආවා… කවුද දන්නේ ඔය මිනිස්සු කොයි වගේද කියලා… මේ කොළඹ මිනිස්සුන්ව තඹේකට විශ්වාස කරන්න බැහැ…”
ඒ මොහොතේ ඈ කියන්නක් සිනහමුවෙන් අසා සිටියද ඒ සියල්ල ඈ පවසන්නට ඇත්තෙ සිය ජීවිත අත්දැකීමෙන් බවට සැකයක් නැත. කොළඹ තියා ගමේ මිනිසෙකු පවා විශ්වාස කරන්නට නොහැකිය. කේෂවද එවැන්නෙකි. නිර්මාණි එසේ අවවාද කළේ මා කෙරෙහි ඇති සෙනෙහසිනි. මසිතේ සියුම් තිගැස්මකුත් බියකුත් වුවද මම රථයේ රියදුරුට මා එනතුරු නවතින්නැයි පවසා රියෙන් බැසගතිමි. එම නිවසේ සුවිසල් යකඩ ගේට්ටුද මේ මොහොතේ තිබුණේ සම්පූර්ණයෙන්ම විවර කර දමාය. නිළ ඇඳුමින් සැරසුණු ආරක්ෂක සේවකයෙකු කුටියේ සිටිනු මම දුටුවේ පසුවය. ගැහෙන සිතින් මම ඔහු අසලට ගියෙමි.
“මිස්ටර් වික්‍රමසූරිය… ඉන්නවද…?”
“ආහ්… මිස්… සර්ව හම්බෙන්න නේද…? යන්න යන්න… සර් ඔෆිස් එකේ… ඔහොමම ගිහින් අර තාප්පේ කෙළවරේ පඩි පෙළෙන් උඩට යන්න… සර් දකුණු පැත්තේ කාමරේ ඉන්නේ…”
නිවසේ පිටතින් උඩුමහලට යෑමට තනා තිබූ පඩිපෙළක් පෙන්වා ආරක්ෂක නිළධාරියා පැවසුවේ ගෞරවය මුසු මෘදු හඬකිනි. ඔහු පෙන්වූ දෙස මම ඉක්මන් බැල්මක් හෙළීමි. පසුව මා දෑස් දිව ගියේ එම ගෙවුයනේ වූ විසිතුරු බව වෙතය. මනා නඩත්තුවකින් යුත් ගෙවුයන අපූරුය. තණ බිම මැදින් සිමෙන්ති ගල් අල්ලා සකසා තිබුණේ නිවස දෙසටත් ඔහු පෙන්වූ තරප්පු පෙළ දෙසටත් දිවෙන මාවතේය. උයන මැද දිය පොකුණකින් වතුර උඩට විදිණි. සුළඟට දිය බිඳු ඉඳහිට වා තලයේ විසිර යයි. කිරි ගරුඬින් කළ කාන්තාවකගේ පිළිරුවක් තාප්පය අයිනට වෙන්නට තණබිම මත රඳවා ඇත. නොයෙක් වර්ගයේ මලින් පිරි තුරු වදුළු තාප්පය දිගටමය. එහි අසිරිය නරඹමින් මම සිමෙන්ති ගල් මත පියවර තබමින් ආරක්ෂක නිළධාරියා පෙන්වූ තරප්පු පෙළ වෙත පැමිණියෙමි. මෙවන් සුවිසල් නිවසක් මා මින්පෙර කවදාවත් දැක නැත. ගමේ ලොකුම පොහොසතා වන ජිනපාල මුදලාලිගේ නිවස වුවද තනි මහලේ කුඩා නිවසකි. මේ නිවසත් සමඟ සසඳන කල එය මේ අසළකින් හෝ තැබිය නොහැකිය. සෙමෙන් සෙමෙන් තරප්පු පෙළ නැඟ ගත් මා දුටුවේ දකුණු පසට වන්නට විවර කළ දොරක් සහිත කාමරයකි. ඒ පෙර කී කාමරය යැයි අනුමාන කළ මා ඒ අසලට ගොස් දොරකඩ සිට ගත්තේ වෙවුලන දෙපා මතිනි. කාමරයේ මේසයට හිඳගෙන බිමට නැඹුරු වූ හිසින් යුතුව ලිපි ගොනු කීපයක් නිරීක්ෂණය කරමින් සිටියේ තරුණයෙකි. ඒ විහඟ වන්නට ඇතැයි මම අනුමානයෙන් සිතුවෙමි. ඒ රුව මා මනසේ ඇඳගන්නට දැරූ උත්සාහය නිරර්ථ වූයේ මම ඔහු හරිහැටි නොදුටු නිසාය. මෙහි වෙනත් අයකු සිටින්නට විදියක් නැත. ඔහුට හොරෙන් මම මොහොතක් ඔහු දෙස බලා සිටියේ නිර්මාණි මුව හයා ඔහු දෙස බලා සිටි සැටි සිහි කරමිනි. බිමට නැඹුරු වූ ඉරියව්වෙන් සිටි නිසා ඔහුගේ මුහුණ හරි හැටි නොපෙනුණද එම ඉරියව්වටත් ඔහු සැබවින්ම කඩවසම් යැයි කියා මට සිතිණි. නිර්මාණි ඔහුට වශීවී සිටීමේ වරදක් නැතැයි කියා මම සිතුවේ ඔහුගේ රුව හරි හැටි හෝ නොදැනමය. හැඳුනුම් පතේ සිටි කේඩෑරී තැනැත්තාත් මොහුත් එකම අයකුද කියා සිතන විටත් සිනහා යෑමට එයි. නමුත් මට ඒවායින් ඇති කාරියක් නැත. මම පැමිණියේ පසුම්බිය ලබාදී යෑමට මිස මොහුහේ හැඩ රුව බලමින් කල් මරන්නට නොවේ.
“එක්ස්කියුස් මී…”
දොරට තට්ටු කරමින් මම කතා කළද මුවින් හඬක් පිට නොවූ තරම්ය.
-හෙටත් හමුවෙමු-