අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා.
අද (18) ප.ව. 2.00 වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 184.80 m වන අතර සමස්ත ජල ප්‍රතිශතය 98.92% ක පැවතුන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ.
ඉදිරි කාලගුණ පුරෝකථන සැලකීමේදී, ජල පෝෂක ප්‍රදේශ මඟින් මොරගහකන්ද ජලාශය වෙත වැඩි ජල ප්‍රමාණයක් පැමිණීමේ සම්භාවිතාවක් පවතින බවත්, වැසි තත්ත්වය වර්ධනය වී බෝවතැන්න ජලාශය ද වාන් දැමීමක් සිදුවුවහොත් එම වැඩි ජලය ද මොරගහකන්ද ජලාශය වෙත පැමිණෙන අතර, එහි ජලය පැමිණෙන සීඝ්‍රතාවය අනුව මොරගහකන්ද ජලාශයේද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් සඳහන් වෙනවා.
මොරගහකන්ද ජලාශය වාන් දැමීමේදී මහවැලි ගඟේ අතු ගංගාවක් වන අඹන් ගඟට ජලය මුදා හැරෙන බැවින් අඹන් ගඟේ සහ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම සිදුවන බවයි දැක්වෙන්නේ.
එම නිසා, අඹන් ගඟ සහ මහවැලි ගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට දන්වා සිටින අතර, ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන බවද මහවැලි අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටිනවා.



