මිනිස්සුන්ට පේන විදිහ ගැන මම වද වෙන්නෙ නැහැ – කිං ඛාන්ගේ දියණිය Suhana Khan
King of romance නොහොත්, බොලිවුඩයේ සදාතනික ප්‍රේමවන්තයාගේ දියණිය ඇයයි. සුහානා ඛාන්ව බොහෝ දෙනා හඳුන්වන්නේ ඇයගේ නමින් නොව king ඛාන් නොහොත් ෂාරුක් ගේ දියණිය ලෙසින්. බොලිවුඩයේ ඇයගේම ගමනක් යන්නට සුහානා ඛාන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇයගේ පෙනුම, සමේ තලෙළු පැහැය පිළිබඳව ඉන්දියානුවන් විවේචනාත්මකව කතා කළත්, ඒ කතා පිළිබඳ නොතකමින් ඇය තමාගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කටයුතු කරනවා. සුහානා 2023 වසරේ නිකුත් වූ The Archies චිත්‍රපටයේ Veronica Lodge ලෙසින් රඟපෑවා. මේ වසරේදී ‘King’ චිත්‍රපටයෙන් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනු ඇති. සැබෑ ජීවිතයේදී සුහානා ප්‍රසිද්ධියට එතරම් කැමැත්තක් නැති, ලැජ්ජාශීලී ගැහැණු ළමයෙක් බව පැවසෙනවා.

ඇය මේ දිනවල King චිත්‍රපටයේ රූගත කිරීම් සමගින් කාර්යබහුලයි. මිථුන ලග්නයේ උපන් තමා වෙලාවකට නිවස තුළට වී දවසම ඇඳේ කාලය ගත කරන introvert කෙනෙක් බවත්, තවත් වෙලාවකට දවසම ජිම් එකට වී සිටිය හැකි extrovert කෙනෙක් බවත් ඇය පවසනවා. සුහානා කියන විදිහට ඇය, “බිසී” වෙන්න කැමති ගෘහණියක්.
“අපි හැමෝම අපේ පෙනුම ගැන විතරක් හිතන්නෙ ඇයි? තවත් වැදගත් දේවල් ඕනෙ තරම් තියෙනවා. මම කැමතියි කරුණාවන්ත, ප්‍රීතිමත් සහ විනෝදජනක කෙනෙක් වෙන්න, පෙනුම ගැන වද වෙනවට වඩා මම ළඟ ඉන්න කෙනාට හොඳ හැඟීමක් ඇති කරන කෙනෙක් වෙන්න.”

ඇය සමාජශීලී වීමට අකමැත්තක් දක්වන අයෙකි. තමා ඕනෑවටත් වඩා සංවේදී බව සහ ඒ ගුණයට තමන් කැමති බවත් ඇය පවසයි. ලෝකය තමාට පෙනෙන, දකින අන්දමට පිළිගැනීමට සුහානා කැමතිය.
“මම හැම දවසකම වඩාත් හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. මම හිතන්නෙ මම ගොඩක් කරුණාවන්ත කෙනෙක්. ඒ ගැන මම ආඩම්බර වෙනවා. කරුණාවන්තකම තමයි වටිනම දෙය. මම මොන මූඩ් එකක හිටියත් ට්‍රයි කරන්නෙ අනිත් අයට හොඳට සළකන්න. ඒක මම අවුරුදු ගාණකට කලින් පුරුදුවුන දෙයක්. නරකම දවස්වල වුණත් මම එහෙම කළා.”
කුඩා වියේ පටන් සිනමාව ඇගේ ජීවිතයේම කොටසක් බැව් අමුතුවෙන් පැවසිය යුතු නොවේ. කතන්දර, චිත්‍රපට නැරඹීම එදිනෙදා ජීවිතයේ කොටසකි. ඇයට අවැසි වූයේ ඇගේම කතාවක් කියන්නටයි. කුඩා වියේ ඇය පාසල් නාට්‍යවල රඟපෑවාය. එය තරමක් අපහසු දෙයක් වූ බව ඇය පවසයි. නේවාසික පාසලකට ඇතුළත් වූ පසු රංගනය කෙරෙහි තමාගේ උනන්දුව වැඩි වූ බවත්, එය හැදෑරීමට සිතුන බවත් ඇය පවසනවා. වරක් එක නාට්‍යයක බලාපොරොත්තු වූ චරිතය නොලැබුණ අවස්ථාවක තමන් කාමරයට වී හැඬූ බව සුහානාට මතකය.
“එදා මම ගොඩක් කලබළ වුණා. කළකිරීමක් දැණුනා. ඒ වගේම මම හිතන්නේ මට ඇත්තටම ඒ කොටස් රඟපාන්න ඕන කියලා දැනගෙන වේදිකාවේ ඉන්න එකේ සතුට දැනෙන්නේ එතකොට. කුතුහලය, අරමුණ, දෙයකට තියෙන ආශාව, වැඩ කරන්න පොළඹවනවා. වෙහෙස මහන්සිවෙලා වැඩ කළ බව දැන ගන්න ලැබීමම සතුටක්. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට වඩා මාත් එක්ක වැඩ කරන කණ්ඩායමේ එකමුතුකම, සාමූහිකත්වය, සතුට මට වටිනවා. සඟරාවක කවරයක් වුණත්, ඒක මිනිස්සුන්ට පේන විදිහ ගැන මම වද වෙන්නෙ නැහැ. ඊට වඩා මම කැමති ඒ නිර්මාණ ක්‍රියාවලියට. ඒ කලාවට.”

ඇය අතීතය සිහිපත් කරයි. විලාසිතා ගැන ඇසූ විට සුහානා මෙසේ පවසයි.
“මම හිතන්නෑ මම ගොඩක් fashionable කෙනෙක් කියලා. මම ෆැෂන්වලට කැමතියි. හැබැයි මම මෑතක් වෙනකං අලුත් දේවල් ට්‍රයි කරේ නෑ. එකම මේකප් එක, එකම හෙයා ස්ටයිල් එක. මම කිසි දෙයක් ප්ලෑන් කරේ නැහැ. ෆැෂන් ගැන ඕනවට වඩා හිතුවෙ නැහැ. හැබැයි දැන් ඒ දේවල් ටිකක් වෙනස් වෙලා. දැන් මම මට ගැළපෙන දේවල් තෝරගන්නවා. ගොඩක් දේවල් ගැන තාත්තගෙනුයි, අම්මගෙනුයි අහනව. අවසාන අදහස දෙන්නෙ එයාලා තමයි ”




