මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයක පසු වන්නේදැයි පරික්ෂා කර බලා, මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය අද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුණු අතර, එහිදී ඇප මත මුදා හැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.
මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සිය සේවාදායිකාව වයස අවුරුදු 98 ක තැනැත්තියක් බවත්, ඇය ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් නමැති රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත්, ඇයට ඇයට මෙම නඩුවේ විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් යහපත් මානසික තත්ත්වයක් නොමැති බවත් සඳහන් කර තිබුණා.
ඒ අනුව, ඩේසි ෆොරස්ට් යන අයට විත්ති වාචකය ඉදිරිපත් කිරීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් තිබේද යන කරුණු පිළිබඳව විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරනු ලැබූ අතර, පැමිණිල්ල විසින් දැනුම් දෙන දිනයක කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් විත්තිකාරියට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව ජනවාරි මස 22 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.



