NovelsRath Dothaluරත් දෝතළු - 38

රත් දෝතළු – 38

-

spot_img

රත් දෝතළු – 38

අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ නොසිතන ලෙසිනි. නමට සමානව ගතිගුණත් පිහිටා තිබීම අරුමයකි. ඔහු මා කැඳවා විනීෆ්‍රීඩා මහත්මියගේ බෙහෙත් වේල දෙන සැටි විස්තර කළේය.

“හෙට උදේ ඉඳන් ඔයා එහෙනම් බෙහෙත් ටික හරියට බලලා දෙන්න… මොනවා හරි තිබ්බොත් මට කෝල් කරන්න… හදිසියක් නම් විතරක් ගන්න… තේරුණාද…?”

මම හිස සැළීමි.

“ඔය ඉතින්… ඔලුව වනනවා ආයේ… කටින් කියන්න බැරිද…?”

ඔහු නොසතුටෙන් ඇසීය.

“සොරි… මං එහෙම කරන්නම්…”

“හ්ම්ම්… අන්න එහෙම…”

ඔහු ඉවතට ගියේ විනීෆ්‍රීඩා මහත්මිය සිඹ අප දෙදෙනාටම සුබ රාත්‍රියක් පතමිනි. මම නිර්මාණිට ඇමතුමක් ගත්තේ විනීෆ්‍රීඩා මහත්මියගේ අවසරයෙනි. වැඩි වේලා කතා බහ නොකර මම කෙටියෙන් ඈ හා විස්තර පවසා කතා බහට සමු දී විනීෆ්‍රීඩා මහත්මිය සොයා පැමිණෙන විට ඈ සිය නිදන යහන සකසමින් සිටියාය.

“මැඩම් ඉන්න… මං අස්කරලා දෙන්නම්…”

මම වහා දිව යමින් කීවෙමි.

“අනේ…අනේ ළමයෝ… මට මේ පොඩි පොඩි වැඩකරගන්න පුළුවන්…”

“හරි හරි… මම ඒක දන්නවා…”

මම යහනට ඇඳ ඇතිරිල්ල දමා කොට්ට පිළිවෙලට සකසා මදුරු දැලද දැමුවෙමි.

“යාළුවට කතා කළාද…?”

“ඔව් මැඩම්…”

“මෙච්චර ඉක්මනට…?”

“මං ආවා කියන්නයි… හැමදේම හොඳින් කියන්නයි විතරයි ඕන වුණේ… අනික එයා බලන් ඉන්නවානේ මං කෝල් එකක් දෙයි කියලා… වැඩි වෙලා කතා කරන එක හොඳ නැහැනේ…”

“ඔයාත් අහස් වගේමයි… එයාටම ගැළපෙනවා…”

ඒ කතාවට මා සිතේ ඇති වූයේ තිගැස්මකි. එය ඈ දුටුවාද කියා සැකයකුත් මා සිතේ ඇති විය.

“ඇ…ඇයි මැඩම්…?”

“නැහැ…ඉතින්… දෙන්නාගෙම අදහස් එක වගේ… ඒකයි…”

මඳහසක් පාමින් ඈ කියනවිට මමද මඳහසක් පෑවෙමි. ඔහුගේ අදහසුත් මගේ වගේමද.? විනීෆ්‍රීඩා මහත්මිය නාන කාමරයට වැදුණේ ඇඟ පත සෝදාගැනීමට කියාය. ඒ අතරේ මම ඇගේ කාමරයේ කෙළවරක වූ පොත් කබඩය වෙත ගොස් ඒවා නරඹමින් සිටියෙමි. එහි පොත් රාශියක් විය. අපේ පාසල් පුස්තකාලයේවත් මෙතරම් පොත් රාශියක් තිබූ බවක් මගේ මතකයේ නැත.

“අරවින්දි ආසද පොත් කියවන්න…?”

සුළු මොහොතකට පසුව ඇසුණු ඇගේ හඬින් මම හැරී බැලීමි. ඈ රාත්‍රී ගවුමකින් සැරසී කොර ගසමින් කාමරය මැදින් ඇවිද එනවිට මම වහා ඈ වෙත දිවගොස් ඇගේ අතින් අල්ලාගතිමි.

“මට පුළුවන් ළමයෝ… මම තාම අබ්බගාත වෙලා නැහැ…”

“අනේ…මැඩම්… එහෙම කියන්න එපා…”

“හරි…හරි… මම එහෙම නොකියා ඉන්නම්කෝ… ඔයාත් පොත් කියවන්න ආසද…?”

යහන මත අඩමානයට හිඳගනිමින් ඈ විමසුවාය.

“අනේ ඔව් මැඩම්… අපේ ගමේ පුස්තකාලෙවත් මේ තරම් පොත් ගොඩාක් නැතුව ඇති…”

“හ්ම්ම්… ඔයාත් මං වගේ කෙනෙක් වුණ එක ගැන මට සතුටුයි… අහස් වත් විහඟවත් පොත් පත් කියවන්න වැඩි කැමැත්තක් නැහැ… මං ළඟ මීට කලින් හිටපු අයත් ඒ වගේ… අලුත් ලෝකේ අය… ෆෝන් වලට ඇබ්බැහි වෙලා… ඔයාවත් මං කැමති එක දේකට හරි කැමති වුණු එකට මං සතුටුයි කිව්වේ ඒකයි… අඩුම තරමේ අපිට කතාකරන්න මාතෘකාවක් හරි තියෙයි… නැත්ද…?”

“ඒක ඇත්ත මැඩම්…”

“අපි හෙට හවස බීච් එක පැත්තේ යමු…”

“බීච් එකට…?”

“ඔව්…ඇයි… අරවින්දි ආසා නැත්ද…?”

“අනේ මැඩම්… මං ආසයි… මැඩම් ඇත්තටමද කිව්වේ…?”

“ඔව් ළමයෝ… මාත් ගොඩක් කාලෙකින් ගියේ නැහැ…”

“අනේ…ෂෝක්… රැළ්ලත් පාගන්න පුළුවන්ද…?”

සතුටින් මා අසනවිට ඇගේ දෑස්ද සතුටින් දිලිසෙන හැටි මම දුටිමි. නිර්මාණිගේ නවාතැනේදී අපි මුහුදු වෙරළට නොගියේ එහි ගැවසීමට තරම් ආරක්ෂිත බවක් නොමැති බව ඈ පැවසූ නිසාය. ගාලු මුවදොර පිටියේ වුවද මුහුදු රළ පෑඟීමට නොගියේ නිර්මාණි එයට එතරම් කැමැත්තක් නොපෙන්වූ නිසාවෙනි.

“ඔව්…ඔව්… ළමයෝ… අපි දෙන්නාම රැල්ල පාගමු…”

ඈ ප්‍රීතිමත් හඬකින් කීවාය.
————————————————————————————————————————————
බටහිර අහස මේ මොහොතේ ලා රෝස පැහැයෙන් දඹ රන් පැහැයට හැරෙමින් තිබුණේ මායාවක් ලෙසිනි. හිරුද ගිනි රන් පැහැගෙන මහ සයුරේ ගිලී යන්නට ආසන්නව තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ අත අල්ලාගෙන මම සෙමෙන් සෙමෙන් වෙරළ දිගේ ඇයව කැඳවාගෙන ආවේ රළ පෙළ දෙපා වල ගෑවී නොගෑවී යන මානයේය. සැරයටියට බර දෙමින් ඇය ගමන් කළේ තැනින් තැන නැවතෙමිනි. මීට සුළු මොහොතකට පෙර නම් අපි දෙදෙනාම එකතුව හොඳට රැල්ල පෑගුවෙමු. සුදු වැල්ලේ හැපී බිඳී බොඳව යන සුදු පෙණ සහිත මුහුදු රැළි සමඟ මම දඟකරමින් විනෝද වන සැටි විනීෆ්‍රීඩා මහත්මිය බලා සිටියේ සිනහපිරි වතිනි. මා හැඳ සිටි මල් ඉහිරුණු චීත්ත ගවුම තවමත් හොඳටම තෙතය.

“අරවින්දි දන්නවද…?”

වෙරළේ තැනක නැවතුණු ඈ මා විමසන විට මමද නැවතී ඈ දෙස වුවමනාවෙන් බැලුවේ ඈ කුමක් කීමට සැරසෙනවා දැයි සිතමිනි.

“මොකක්ද මැඩම්…?”

“හුඟාක් කාලෙකට පස්සේ මට අද ලොකු සතුටක් දැනෙනවා අරවින්දි…”

“ඒ ඇයි මැඩම්…?”

ඈ පළමුව කළේ මඳහසක් පෑමය. දෑස්වල වූයේ අමුතු දිලිසීමකි.

“වයසට ගියත් අපි තාම පොඩි උන් වගේ… ඉස්සර මායි ඩෙරිකුයි පුළුවන් වෙලාවට මේ බීච් එකට එනවා.. අපි දෙන්නා රැළි පාග, පාග එහෙටයි, මෙහෙටයි ඇවිදිනවා… ලොකු රැල්ලක් ආවොත් මම ඩෙරික්ගේ කරේ එල්ලෙනවා…”

ඈ දිගු සුසුමක් හෙළූ අතර එවන් දසුනක් මා මනසේ මැවී පෙනිණි. හිරු සැඟව ගිය අතර සෙමෙන් අඳුර ගලා ආයේය. තැනින් තැන් විදුලි පහන් එළි දැල්වෙන්නට විය.

“අද ඔයා තනියම වැල්ලේ දුව දුව සෙල්ලම් කරනකොට… මට මතක් වුණේ මගේ අතීතය… ඔයා මාව ඒ අතීතයට ආයෙම අරන් ගියා… මම මේ බීච් එකට ආවේ අවුරුදු ගාණකින් කිව්වොත් ඔයා විශ්වාස කරන එකක් නැහැ…”

එය සැබෑවටම මා පුදුමයට් පත් කළේය.

“ඇත්තටම… මෙච්චර ළඟ ඉඳලත්…?”

“ඔව් ළමයෝ… කොච්චර එන්න වුවමනාව තිබුණත් මට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ… අහස් පුතා බිස්නස් වලට හිර වෙලා… විහඟ කොයි වෙලාවකවත් ගෙදර නැහැ… ඊටත් වඩා මං ගාව වැඩට හිටපු අයට මගේ සිතුම් පැතුම් තේරුණේ නැහැ… ගස් ගල් වගේ අය… තමන්ගේ දේකට අධි සංවේදී වුණාට… අනුන්ගේ දේවලදී නම් ලාදුරු වගේ මිනිස්සු… මේ තරමට හරි ඔයා තමා මාව තේරුම් ගත්තේ…”

ඈ මගේ අතක් දැඩිව අල්ලාගත්තාය. මා සිතේ ඈ කෙරෙහි වූ අනුකම්පාවත් ආදරයත් වැඩි වූවා කියා මට දැනිණි. අපි දෙදනා සෙමෙන් සෙමෙන් නිවස දෙසට ඇවිද ආවෙමු.

“අද නම් මගේ කකුල් කැක්කුමත් කොහේ ගියාද දන්නැහැ…”

කුඩා ගේට්ටුව විවරකරගෙන මිදුලට අවතීර්ණ වෙමින් ඈ කීවාය. මමද ඇතුළු වී කුඩා ගේට්ටුව වසා ඉබ්බා දැමුවෙමි. මේ ගේට්ටුව නිතර පාවිච්චියට නොගන්නා නිසා ඉබ්බාද තිබුණේ මළ බැඳීය.

“එක තැනම හිරවෙලා හිටියාම ගතට වඩා හිත ලෙඩ වෙනවා මැඩම්…”

“ඒක ඇත්ත ළමයෝ…”

මිදුලේ විදුලි පහන් දල්වා තිබූ අතර ඉස්තෝප්පුවට වී අහස් පෙරමඟ බලා සිටිනු අපි දුටිමු.

“ආහ්… පුතා දැන්ද ආවේ…?”

“නැහැ… දැන් ගොඩක් වෙලා…”

ඈ මා දෙස බැලුවේ මවිතයෙනි. අපි එතරම් වෙලාවක් වෙරළට වී සිටියාදැයි අසන බැල්මක් ඒ දෑස් වල විනැයි කියා මට සිතිණි.

“අපි බීච් එකට ගියා…රැල්ල පාගන්න…”

මම වතුර නලය ගෙන ඇගේ දෙපා සේදුවෙමි.

“රැල්ල පාගලා නෙවේ… වැල්ලේ නටලා වගේ…”

ඔහු ඒ කියන්නට ඇත්තේ නම් මටය. මම වහා හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඒ දෑස් රැඳවී තිබුණේ තෙත බරියම් වූ මගේ ගවුම වෙතය. සියුම් ලැජ්ජා මුසු හැඟීමක් මා සිතේ ඉහිරිණි. මා වැල්ලේ කළ දඟකම් ඔහු දුටුවා නම් මට උපහාසයට සිනහසෙනු ඇත. විනීෆ්‍රීඩා මහත්මිය අහස් සමඟ ගෙතුළට යන විට මම පිටුපස දොරින් ගෙතුළට යාමට සූදානම් වූයේ මගේ ගවුම පුරාම මුහුදු වැලි ඇලී තිබූ නිසාය.

“මෙහෙන් එන්න ළමයෝ…”

විනිෆ්‍රීඩා මහත්මිය හැරී මා ඇමතුවාය.

“ගවුමේ වැලි මැඩම්… මම පිටිපස්සෙ දොරින් එන්නම්…”

මම කීවේ ආපසු හැරී නොබලාමය.

“පුතේ ගිහින් එහෙනම් දොර පොඩ්ඩක් අරින්න…”

ඈ අහස්ට කියනු මට ඇසිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you