Mandaramen Eha – Thulana Mag https://thulanatv.lk සයිබරයේ සඟරාමය අත්දැකීම Fri, 03 Nov 2023 10:33:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7 https://thulanatv.lk/wp-content/uploads/2023/03/cropped-Site-Icon-Thulana-TV-32x32.png Mandaramen Eha – Thulana Mag https://thulanatv.lk 32 32 Mandaramen Eha – 44 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-44/ Fri, 03 Nov 2023 10:33:20 +0000 https://thulanatv.lk/?p=2714 Mandaramen Eha – ශාරික සිය නිවසෙහි ආලින්දයට වී,ගිරාතලාන වැව දෙසින් විටින් විට ඇසෙන මිනිස් කටහඬවල් වලට කන් දෙමින් සිටියේය. ඔහුගේ මතකය අද උදෑසන ගල්නෑව කඩයේ සිදුවූ සිදුවීම වෙත නිරායාසයෙන් ඇදී ගියේය. සුදු මහත්තයා සහ කාලිංග යතුරුපැදි වලම හිඳ, එකිනෙකා හා යමක් කතා කරමින් සිටියෝය. කෘෂි අලෙවිහලෙහි කැෂියර් කූඩුවට වී මාධවී එදෙස බලා උන්නාය. ශාරික සිටියේ ඇයට පිටුපසින් සැඟවී මෙනි. මොහොතකින් තාරුකාවද රැගත් කාලිංගගේ යතුරුපැදිය පිටව ගිය අතර, සුදු මහත්තයා කෘෂි අළෙවිහල දෙසට සිය යතුරුපැදිය හැරවූයෙන්, මාධවී වහා පිටුපසට හැරුණාය. එකෙණෙහිම ඇය ශාරිකගේ ඇඟේ හැපී නතර වූයෙන්,මොහොතක් ඔහු දෙසම බලා හිඳ,

“බොස් එනවා අනේ…ඔයාගේ මේසෙට යන්ඩ…”

කියා ශාරිකගේ උරහිස් දෙකෙන් අල්ලා ඔහුව, කැෂියර් කූඩුවෙන් පිටතට තල්ලු කර දැමුවාය. ශාරික විසිවී ගොස් සිය මේසය අසළ නතර වද්දීම, සුදු මහත්තයා ගබඩා පරිශ්‍රයට ඇතුල් වූවේය.

“ඕහ්…තමුසෙ මොකෝ මෙහෙ හැංඟිලා…අන්න තමුසෙගෙ වෙන්ඩ මස්සිනයි,වෙන්ඩ බාරියාවයි ඇවිල්ලා ගියා….”

“ඇත්තම කීවොත් ඔය මගේ ඇවැස්ස මස්සිනයි,නෑනයි බොස්…” ශාරික කීයේ මවාගත් සිනහවක් මුවඟ රඳවා ගනිමිනි.

“ඇවැස්ස නෑකම් ගැන කියද්දියි මතක් වුණේ..තමුසෙගෙ කෙල්ලට ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නව නේද අයිසෙ..”

“ඔව්, බොස් කොහොමද ඒක දන්නෙ..” ශාරික ඇසූයේ කුහුලෙනි.

“මං එදා මලගෙදරදී තමා දැනගත්තෙ..බැඳලා ඇරිලලු නේහ්..”

“නෑ.. සමන්ති අක්කගෙ මහත්තයා හිටියෙ ආමි එකේ..”

“යුද්ධෙදි මැරුණද…”

“අතුරුදහන් වෙලා…”

“මගේ මල්ලිත් ආමි එකේ හිටියේ..ළඟදි අයින් වෙලා ගෙදර ආවා…දැන් එයා තමා ගල්ගමුවෙ කඩේ බලන්නෙ..”

“ලක්මාල් මහත්තයනෙ..”

“තමුසෙ අපේ මල්ලිව අඳුරනවද..”

“ඔව්, කතාබහ කරලා තියනවා…ඔය අපේ සමන්ති අක්කගෙ මහත්තයාගෙ යාළුවෙක්නෙ..ඉස්සර නිතර අපේ ගම් පැත්තෙ ආවා, ගියා…හැබැයි මං දැනගෙන හිටියෙ නෑ බොස්ගෙ මල්ලි කෙනෙක් කියලා….”

සුදු මහත්තයා යමක් අවබෝධ වූවාක් මෙන් කෙටි කල්පනාවකට වැටුණේය.

“බොස්..අපේ සමන්ති අක්කත් දරුවෙක් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ… බැරිද මොනාහරි..”

“රස්සාවක්නෙ..කැමතිනම් එන්න කියනවා මෙහේ…මං ඔය මාධවීගේ රස්සාව දෙන්නම් තමුසෙගෙ අක්කට..”

ශාරිකගේ මුවඟට වෙන කවරදාකවත් නොනැඟුණු සටකපට සිනහවක් නැඟ ආයේය.

“අනිත් එක මං දන්නවා තමුසෙගෙ නෑනත් මාධවී මෙහේ ඉන්නවට එච්චර කැමති නෑ…ඒකනෙ ඔය මස්සිනා තමුසෙගෙ පස්සෙම හොර ගල් අහුලන්නෙ..”

සුදු මහත්තයා එසේ කියා උස් හඬින් සිනහ වන්නට වූයේය. මොහොතකින් ශාරිකගේ සමීපයට පැමිණ සෙමෙන් මෙසේ කීයේය.

“අපි එක ගලක් ගහලා කිරිල්ලියො දෙන්නටම තනි කූඩුවක් හදමු..” ශාරික වහා සුදු මහත්තයාගේ මුහුණ දෙස බැලීය.

“මං කිව්වේ අයිසෙ තමුසෙගෙ ලොකු නෑනට ජොබ් එක දීලා…බඳින්න ඉන්න නෑනගෙ සැකේ දුරු කරමු කියනෙක..”

සුදු මහත්තයා නැවත මහ හඬින් සිනාසෙන්නට වූවේය.

“ලොකූ..” ශාරික කල්පනාවෙන් මිඳුණේ සරලාගේ හඬිනි.

“කියන්ඩ චූටී..”

“ඔයාට පුළුවන්ද හෙට වැඩට යන්ඩ කලිං මාව ඉස්කෝලෙ නැන්දලාගේ ගෙදරින් දාලා යන්ඩ..”

ශාරිකගේ මුහුණ මත ජයග්‍රහණයක සේයා ඇදී සැනෙන් මැකී ගියේය.

තාරුකා සිය නිවසේ බංකුව මතට වී කළුවරට දෑස් අයා සිටියාය. ගිරාතලාන වැව් බැම්ම මතින් එහා, මෙහා යන හුළු අතු එළිය ඇයට පෙණුනේ අඳුරින් පිරී ගිය මාවතක දෙපසට මාරුවන වාහන වල ලාම්පු එළි මෙනි. කඩින්,කඩ ලැබුණු වැහි හේතුවෙන් ගිරාතලාන වැව තරමක් පිරී තිබෙන්නේය. එය මසුන් මරන්නන්නට සුබාරංචි ගෙන ඇති අයුරු කියවෙන්නේ මේ මිනිස් කටහඬවල් සහ හුළු අතු එළි වලිනි.

“නංගී…කන්නෙ නැද්ද..”

සමන්තී සිය නැඟණිය වූ තාරුකා අසළට පැමිණියේ එසේ අසමිනි.

“අයියා කෑවද..”

“ඔව්, කොල්ලත් එක්ක නට,නටා එයත් එහෙමම කෑවා…”

“කෝ දැන් දෙන්නා…”

“කොල්ලට එහෙමම නින්ද ගියා..එයත් ඔය ඉන්නේ වහලෙ හිල් ගැන,ගැනා…”

“අද මාර වැඩක්නෙ වුණේ අක්කා…”

තාරුකා කීයේ සිය සොහොයුරියට අතින් සන් කර බංකු ලෑල්ලේ වාඩිවන්නැයි කියමිනි. සමන්තී බංකුවේ පසෙක වාඩිවූයේ හිසෙන් ඒ කුමක් දැයි සිය නැඟණියගෙන් අසමිනි.

“අද උදේ වැඩට යද්දි අයියා මාවත් අරං ලොකූ පස්සෙ ගියානේ..”

“මේ අපේ මස්සිනා ශාරික පස්සෙ..”

“නැතුව අනේ..”

“ඒ අහවල් එකකටද..ගල්ගමුවට යන්න ඕනේ මිනිහා ගල්නෑව පැත්තෙ කරක් ගහං ගියේ, පරංගියා කෝට්ටේ ගියා වගේ…”

“කීවෙනම් එයාගේ බොසා හම්බෙන්න යනෝ කියලා…මටනම් හිතුණෙම ශාරිකයියගෙ මොකක් හරි හොරයක් අල්ලන්න ගියා වගේ..”

“ශාරික මල්ලී හවස වැඩ ඇරිලා යද්දි මෙහෙ ඇවිත් ගියේ..” තාරුකා ක්ෂණයකින් හැරුණේ සිය සොහොයුරිය වෙතටය.

“බංඩාර මුත්තේඒඒ..එයා දැකලද අපි පස්සෙන් එනවා…විසුමක් වෙන්නෑ දැන් මට..”

“එහෙම මොකුත් නම් කීවේ නෑ…ඒත් එයා වැඩ කරන තැන මට රස්සාවක් තියනවා…කැමතිනම් හදලා දෙන්නම් කීවා…”

තාරුකාගේ මුව මඳක් ඇරී එලෙසම තිබුණාය. ඊට මඳක් නුඳුරෙන් මේ සියල්ලට කන් දීගෙන සිටි කාලිංග මොහොතකින් විත් ඔවුන් දෙදෙනා අතර සිට ගත්තේය. සමන්තී මෙන්ම තාරුකාද හිඳ හුන් බංකුවෙන් නැඟී සිටියෝය.

“උඔලා දෙන්නා කාලද ඉන්නේ..” කාලිංග ඇසූයේ කිසිත් නොදන්නා විලාසයෙනි.

“තාම නෑ අයියේ..”

ඒ හඬ නැඟුණේ තාරුකාගේ සහ සමන්තිගේ මුවින් එකවිටය.

“ගිහිං කාලා නිදාගනිල්ලා…කොච්චර ඇහැරිලා කතාකරත් වෙච්චි දේවල් වෙනස් කරන්ඩ බෑ බං..”

තාරුකා සහ සමන්තී වදනකුදු නොදොඩා ගෙය දෙසට යන්නට හැරුණෝය.

“ලොකු නංගී..”

කාලිංග එසේ ඇමතුයේ සමන්තීටය. එම හඬෙහි දයාබර බව දරාගන්නට නොහැකිව සමන්තී පමණක් නොව තාරුකාද ගල් ගැසී හිටිවනම නතර වූවෝය.

“හෙට උදේට උඔගෙ ගේ කෑල්ලෙ වැඩ පටං ගන්ඩ බාසුන්නැහේලා එනවා…උදෙන්ම මොනාහරි තම්බගෙන කාලා ගිහිං කොල්ලත් එක්ක එහේ හිටහං මං එනකං..”

ගිරාතලාන මහ නුගය අසළ බස් නැවතුමෙහි කැරකි,කැරකී සිටින්නා ජිල්බුය. ඔහු පාර දෙපසත්, ගිරාතලාන ගමෙන් බස් නැවතුමට පිවිසෙන අතුරු පාර දෙසත් විපරමින් ඒ,මේ අත දුවමින් උන්නේය. සරලා රැගත් ශාරිකගේ යතුරුපැදිය, මහ නුඟයට නුඳුරෙන් ප්‍රධාන පාරට පිවිසියේ මේ මොහොතේය.

“පුංචි නිළමේ..”

කියාගෙන ජිල්බු පාරට පැන්නේය. ශාරික බොහෝ ආයාසයෙන් යතුරුපැදිය නතරකොට ජිල්බු දෙස බැලූයේ අමනාපයෙනි.

“අපේ සරලා චූටී හොරෙන්ම පිටගං යනවයැ…”

ජිල්බූ, සෘජුවම සරලා වෙත පැමිණ ඇසුයේය. ශාරික යමක් කියන්නට මුව විවර කළද, සරලා සිය සොහොයුරාගේ පිටට සෙමෙන් දැමූ තට්ටුවෙන් ඔහු නිහඩ වූයේ දත් කූරු සපමිනි.

“කවුදෑ දැන් උඔට මං පිටගං යනවය කීවේ..”

“කා..කා..කා….කාක්…කාක්.. කවුරු කියන්ඩද මං මේ අනුමානෙට කියව්වෙ…”

ජිල්බූ වචන හරඹ කරමින් සිටියදී, තාරුකා රැගත් කාලිංගගේ යතුරුපැදිය මහ නුඟය දෙසට එමින් තිබුණේය.

“බංඩාර මුත්තේඒඒ…පුංචි නිළමෙයා කන්ඩයි යන්නේඒඒඒ..”

කියමින් ජිල්බු කාලිංගගේ යතුරුපැදිය එන පෙරමඟට ගියේය. කාලිංග සිය යතුරුපැදිය, ශාරිකගේ යතුරුපැදියට සමාන්තරව නතර කළේය. ශාරික තාරුකා දෙසත්, කාලිංග සරලා දෙසත් බලා හිඳින්නට වූවෝය.

“කොහෙද උඔ යන්නේ…” කාලිංග ඇසූයේ සරලාගෙනි.

“මං යන්නෙ නංගිව කැලේගමට ඇරලන්ඩ..” ශාරික උත්තර දුන්නේය.

“මාත් යන්නෙ මගේ නංගිව සිරිවර්ධන මුදළාලිගේ පොඩි පුතාගේ ව්‍යාපාරේට ඇරලන්ඩ..”

“ඉතිං අපි අපේ පාරේ යමු..පාර හරස් කොරන්ඩ බත් බැලයො මොකටද…”

කාලිංග යතුරුපැදිය නවතා ඉන් බැස, ජිල්බූ අසළට පැමිණියේය. ඔහුගේ කමිස කොළරයෙන් අල්ලා බෙල්ල මුලටම හිර කළේය.

“කිව්වා නේද තොට අද බාස්ලා එනවා ලොකු නංගිලා දිහාට වෙලා හිටු කියලා…”

“ඒහ්..මේහ්..කාලිං..” ජිල්බූ තටමන්නට වූයේය. කාලිංග ජිල්බුගේ කම්මුල් දෙපසට පහර දෙකක් ගසා ඔහු අත හැරියේය.

“කියන දේ කරපිය පරයා…”

ජිල්බූ පසුපස නොබලා අතුරු පාර දිගේ දුවන්නට වූයේය. සරලා යතුරු පැදියෙන් බැස කාලිංග ඉදිරියට පැමිණ සිටගත්තාය.

“පිරිමි චණ්ඩිකම් කරනවනම් බලන්ඩ ආසයි..හැබැයි ගෑණු වගේ චිත්ත වැඩ කරද්දී හරි කැතයි හලෝ …”

“මොකක්ද තෝ කීවේ..”

කාලිංග අත ඔසවාගෙන සරලා සමීපයට පැමිණියේය. ඒත් සමඟම තාරුකා සහ ශාරික ඔවුන් දෙදෙනා අසළට දිව ආහ.

]]>
Mandaramen Eha – 43 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-43/ Thu, 02 Nov 2023 10:20:09 +0000 https://thulanatv.lk/?p=2709 Mandaramen Eha – තාරුකා සිය නිවසේ මිදුලෙහි එහා, මෙහා සක්මන් කරමින් සිටියේ, තමාව සේවා ස්ථානය වෙත ඇරලවීම සඳහා කාලිංග පැමිණෙන තුරුය. ඔහු තමාට බසයෙන් ගල්ගමුව නඟරය තෙක් යෑමට පවා තහංචි දමමින් මෙසේ හැසිරීම දැන්,දැන් වදයක් වෙමින් පවතී. තවත් අතෙකින් සිය සොහොයුරා විටෙක හැසිරෙන්නේ වගකීම් විරහිතව බව ඇයට හැඟී ගොස් තිබේ. තමාගේ සේවා ස්ථානය හිමි ලක්මාල් පවා මෙතරම් සරලව හැසිරෙනු ඇය දැක ඇත්තේ කළාතුරකිනි. එසේ සිතමින්ම තාරුකා සිය මිදුලෙහි වූ ඇසළ ගස පාමුල බංකුවෙහි හිඳ ගත්තාය. ඇගේ මතකය සැනෙන් ඇදී ගියේ පෙරදා සිය සේවා ස්ථානයේදී සිරිවර්ධන මුදළාලී මුණගැහුණු අවස්ථාව වෙතටය.

සිරිවර්ධන මුදළාලී එක් අතක් තමාගේ ගෙල වෙත දිගු කරගෙන ක්‍රමයෙන් තමාට සමීප වද්දී, තාරුකා බියෙන් හැකිළෙමින් තව,තවත් බිත්තියට තද වූවාය. ලක්මාල් “පප්පේ…පප්පේ…” කියා කෑගසනු ඇයට ඇසුණේ අඩ සිහියෙන් මෙනි.
“දූගෙ බෙල්ල හොඳටම පාළු වෙලානේ…කෝ දුවේ කොටහළු මඟුල දවසෙ අම්මා අරං දුන්නු චේන් පොට…”

තාරුකාගේ ගෙල මෘදුව ස්පර්ෂ කරමින් සිරිවර්ධන මුදළාලී කියද්දී, ක්ලාන්ත වීමට ආසන්නව සිටි තාරුකා, හිරකරගෙන හුන් හුස්මක් බරට බිම අත හැරියාය.

“පප්පේ…මේ ළමයා හොඳටම බයවෙලා ඉන්නේ..එන්ඩ අපි යං..”

ලක්මාල් සිය පියාගේ උරහිස් මතින් අත තබා ඔහුව ඉවතට ගැනීමට උත්සාහ කළද, සිරිවර්ධන මුදළාලී උරහිස් හකුළුවමින් ඊට විරෝධය පළ කළේය.

“මගෙ දූ මොකටෙයි පප්පට බයවෙන්නේ…චේන් පොට නැතිවුණාද මයෙ අම්මේ…අම්මට බයේ කීවේ නෑ නේද..මං දූට අලුත් චේන් පොටක් අරං දෙන්නම්..බයවෙන්නෙපා….මං අම්මට කියන්නෑ…”

සිරිවර්ධන මුදළාලී අවසාන වචන කිහිපය කීයේ තාරුකාගේ හිස අතගාමීන් රහසෙන් මෙනි. තාරුකා තමන්ටත් නොදැනීම ඇගේ පාලනයෙන් තොර වූවාය. වහාම සිරිවර්ධන මුදළාලී වැළඳගත් ඇය ඉකිගසමින් හඬන්නට වූවාය.

“නංගී…”

ඒ හඬ සමන්තීගේය. තමා හිඳ ඇත්තේ ගැඹුරු කල්පනාවක බව තාරුකාට වැටහුණේ සිය සොහොයුරිය දුටු විටය. සමන්තී, තාරුකා අසළට පැමිණ හිඳගත්තාය. අනතුරුව ඇගේ හිස අතගාමින් කතා කළාය.

“ඇඬුවා කියලා වෙච්චි කිසි දෙයක් වෙනස් කරන්න බෑනේ නංගී…”

තමා සිට ඇත්තේ හඬමින් බව තාරුකාට තේරුම් ගියේ සිය සොහොයුරිය එසේ කියනා විටදීය. ඇය අත්ලෙන් දෑස් පිස දැමුවාය.

“අම්මා මතක් වෙද්දි මටත් හිතෙන්නෙම කොහෙට හරි වෙලා අඬ,අඬා ඉන්න නංගී..ඒත් අපි අම්ම වෙනුවෙන් ඊට වඩා දෙයක් කරන්ඩෝනෙ..අපි කිව්වේ ඔයයි,මායි,අයියයි එකතුවෙලා…”

“අක්කේ…ඇයි අපි අප්පච්චිගෙ මරණෙ ගැන හොයන්න දාපු නඩුව අයින් කරගත්තෙ..”

සමන්තී විස්මයෙන් තාරුකා දෙස බැලුවාය. ඈ සිතූයේ තාරුකා හඬන්නේ මීට ටික දිනකට කලින් මියගිය තම මව සිහිවීමෙන් කියාය.

“අයින් කරගත්තෙ නෑ නංගී…කොහෙ තියන සල්ලියක්ද ඉවරයක් නැති නඩු වලට වලට වියදම් කරන්ඩ..ඉතිං අපි නඩුවාට නොගියාම ඉබේම නඩුව අහක යන්ඩැති…”

“අපි ආයෙම නඩුවක් දාමු..”

තාරුකා එසේ කියද්දී, සමන්තී කුකුසෙන් යුතුව සිය නැඟණියගේ මුහුණ බැලුවාය. ඒ මොහොතේම ශාරිකගේ යතුරුපැදිය ඔවුන්ගේ නිවස පසුකර ගියේය.

“ආන්න අපේ මස්සිනා මේ අහවත් නොබලා යන්න ගියා..”

තාරුකා කඩුල්ල දෙස බැලූයේ නොසැළකිල්ලෙනි. ශාරිකගේ යතුරුපැදිය පැමිණි දෙසින්ම කාලිංගගේ යතුරුපැදියද පැමිණ කඩුල්ල අසළ නතර කළේය.

“නඟේ විජහට වරෙං..පරක්කු වුණා….”

කාලිංග කඩුල්ල දෙස සිට කෑගසද්දී, සිය අත් බෑගය කරේ එල්ලා ගත් තාරුකා කඩුල්ල වෙත දිව ගියාය.

සරලා මිදුලට පැමිණියේ සිය සොහොයුරාගේ යතුරු පැදිය නිවසින් පිටවන හඬට කන්දීගෙනය. ඒත් සමඟම පිටුපසින් කාලිංගගේ යතුරුපැදියද ගමන් කරනු සරලා දුටුවාය. ඔහු නිකමටවත් තම නිවස දෙස හැරී බලනු සරලාට පෙණුනේ නැත. ඊයේ රාත්‍රියේ සිය මව සහ සොහොයුරාගේ කතාබහ කන වැකීම නිසාම ඇයට කාලිංගගෙන් අසා පැහැදිලි කරගත යුතු බොහෝ දේ තිබිණි. එසේ සිතමින්ම ඇය ගේට්ටුව හැර පාරට ඇවිද ගියාය. සරලාගේ නිවස අසළ කැරකෙමින් සිටි ජිල්බු ඇයව දුටු සැනෙන් පාරේ අනෙක් පසට ඇවිදගෙන ගියේ කිසිවක් සිදු නොවූ ගානටය. සරලා ඔහු දුටුවාය.

“ඒ..යී…ජිල්බූ..”

සරලාගේ හඬ ඇසෙත්ම අචාර පෙළපාලියක නිශ්චල ජායාරූපක් සේ ජිල්බූ එකතැන නතර වූයේය.

“අප්පට සිරි…දැක්ක නේහ්…කොරලා හමාරයි…”

ජිල්බු හිටිවනම තමන්ට මුමුණා ගත්තේත්, සරලා ඔහු සමීපයට පැමිණ සිටගත්තේත් එකම මොහොතකය.

“ආව් අප්පා…මෙයාගේ ලස්සන…කොණ්ඩෙ පැත්තට පීරලා….මැදින් රොදක් තියලා…මේ..නහය…කජු පූලමක් වගේ…ඒඒඑහ්..”

එසේ කියමින් සරලා ජිල්බුගේ නාසය තදින් මිරිකා දැමුවාය. නොසිතූ අකරතැබ්බය සිතාගත නොහැකිවූ ජිල්බූ විළියෙන් ඒ මේ අත ඇඹරෙන්නට වූයේය.

“අනේහ්…ලැජ්ජා වෙද්දි තවත් ලස්සනයි…වස්තු කොටේ…”

සරලා කීයේ ජිල්බුගේ නිකට ඇඟිලි තුඩු වලින් ස්පර්ෂ කොට තොඳොල් හඬකිනි.

“ඒ වුණාට ඔයා තරං නෑ…”

ජිල්බු සරලාගේ අතට ලැජ්ජාවෙන් පහරක් ගැසීය. සරලා ඉවතට හැරී අතින් මුව වසා සිනාසී, නැවත ජිල්බු වෙත හැරී බැරෑරුම් වූවාය.

“මේහ්…ඒක නෙවේ ඔයා කොහෙද අනේ මේ යන්නේ..”

“ආයෙ වෙන කොහේ යන්ඩෙයි..ඔයා බලන්ඩ තමා ආවේ…”

“ඉතිං අනේ ගෙදර පේන දුර තියං පාරේ ඉඳං බලන්ඩ ඕනයැ….ඔය ටික ඇවිත් ගෙට ගොඩ වුණානං අපි දෙන්නට තේ එකක් බිබී මූණෙන් මූණ බලං ඉන්ඩ තිබුණනෙ..”

“මාත් ඕකම කීවා අර කාලියට..කෝ ඇහුවයැ නෑනේ…මෙතෙන්ට වෙලා බලං හිටු..ගෙවල් පැත්තෙ ගියොත් තොගෙ කකුල් කෙටි දෙක කඩනවා කියල කීවනෙ..”

“කාලියා කීවේ..මේ..අර අපේ කාලිංගයිය නේද අනේ..”

“නැතුව ඉතිං වෙන මොන නොසන්ඩාල….”

සිය සුපුරුදු වාග් විලාශයට එමින් සිටි ජිල්බූ, එක්වරම යමක් මතක් වූවාක් මෙන් කතාව අතරමඟ නවතා,

“කිරි අප්පට බල්ලො පැනපි..කියවුණා නේද බොලේ…”

කියා අතින් කට වසාගත්තේය. සරලා ආයාසයෙන් සිනහව විකාගෙන, බොරු අමනාපයක් මූණට ආරූඪ කරගත්තාය.

“ඒ කියන්නෙ උඔ මෙතන හොර ගල් අහුල,අහුලා හිටියේ මං ගැන ඔත්තු බලන්ඩ නේද කළු,තඩි කොටෝ…”

“බංඩාර මුත්තේඒඒ..සරලා චූටී..දැන් ඕක කාලිංගයියගෙ කණේ තියලා, මගේ පස්ස බිම අන්නවනවා හෙම නෙවේ ඕං මයෙ දෙයියෝ….”

“කියනෙකත් කියනවා…උඔ කාලිංගයියට කාලියා කීවා.. නොසන්ඩාලයා කීවා කියලා…”

“අනේ අපේ හොඳ සරලා චූටිනෙ..බොරුවක් කියනවනම් ගිය සැරේ පස්ස බිම ඇනපු තැල්ම තාම තියනවා හිටින්ඩකො මං පෙන්නන්ඩ..”

ජිල්බු පිටුපස හරවා සරම ඔසවන්නට සැරසුණේය.

“ඒයී..ඒයී..ඒයී..උඔට පිස්සිද මෝඩයෝ…” සරලා අතින් පහරක් ගසා ජිල්බුව නැවැත්වූවාය.

“නැහ්නං ඉතිං සරලා චූටී මාව විශ්වාස කරන එකක් යැ…”

“හරි… මං මේ කිසි දෙයක් කාලිංගයියට කියන්නෑ….හැබැයි උඔ මං අහන හැමදේටම ඇත්ත කියන්ඩෝනෙ..එක බොරුවක් හරි කීවොත් එහෙම, මං උඔ කියපු දේවල් වලට අතිනුත් ටිකක් දාලා කාලිංගයියට කියනවා…දන්නවනෙ ඊට පස්සෙ උඔගෙ පස්ස විතරක් නෙමේ හොම්බත් බිම උලයි..”

මේ කතාබහ යන අතරවාරයේ හීන්බණ්ඩාර මැණිකේ ගේට්ටුවෙන් එළියට පැමිණියාය. පාරේ තැනක බැරෑරුම් කතාබහක නියැළෙන ජිල්බූ සහ සරලා ඇය දුටුවාය.

“චූටීඊඊ…”

හීන්බණ්ඩාර මැණිකේ ගේට්ටුව අසළ සිටම තරමක් උස් හඬින් කතා කළාය. ඒ හඬට සරලා හැරී බලන අයුරුත්, පසුව ඇය ජිල්බුට යමක් පවසා පිටත් කර හැර, තමා දෙසට ඇවිද එනුත් හීන්බණ්ඩාර මැණිකේ බලා සිටියාය.

ශාරික වහ,වහා පිටුපසින් සිය සේවා ස්ථානයට ඇතුළු වනු කැෂියර් කූඩුවේ සිටි මාධවී දුටුවාය. ඇයද වහා ශාරිකගේ මේසය අසළට ගොස් සිටගත්තාය. ශාරික සිය මේසය අසළට ආවේ බොහෝ සෙයින් කළබල වී බව මාධවී නිරීක්ෂණය කළාය.

“මේ මොකෝ අනේ..කවුරුහරි ගහන්ඩ පන්නං එනවද…”

සිය මේසය අසළ සිටගෙන සිටිනා මාධවී දුටු සැනෙන් ශාරික තවත් කළබලයට පත් වූයේය.

“මේහ්….මාධවී..ඔයා කැෂියර් කූඩුවට හෙම යන්ඩෙපා…ඔහොම පොඩ්ඩක් මෙතන ඉන්ඩ..”

“මොකද අනේ මේ…උදේ පාන්දර ඔයාට මෝහිණීවත් හම්බවුණාද..”

“මෝහනයක් වගේ දෙයක් තමා මිනිහා කරන්ඩ යන්නේ…අහුවෙන්ඩ නං එපා හරිද…”

“මොන විකාරයක්ද අනේ මේ…ඔයා අද නැඟිට්ටේ ඇඳේ වැරදි පැත්තෙන්ද..”

මාධවී කැෂියර් කූඩුව දෙසට යන්නට හැරුණාය.

“එපා..මාධවී..එපා..එපා..”

කැෂියර් කූඩුව දෙසට යන්නට පා එසවූ, මාධවීව ශාරික අල්ලා ගත්තේ ඉඟ පෙදෙසිනි. විදුලිය ශරීර ගත වූවාක් මෙන් මාධවී එතැනම නතර වූවාය. ඇය හිස පහලට හරවා බැලූයේ ශාරිකගේ අත දෙසය. එය තිබුණේ මාධවීගේ සාරියෙන් නිරාවරණය වූ නාභිය මතය. අඩවන් දෑසින් එදෙස බැලූ මාධවී, වටයක් කැරකී ශාරිකට මුහුණලා සිට ගත්තාය.

“මෙහෙම කියනවනම් ඉතිං කැෂියර් කූඩුවට විතරක් නෙවේ, ඕනේනම් අද වැඩ ඇරිලා ගෙදරත් නොගිහිං ඉන්නං අනේ…”

තමා ඇත්තේ මාධවීගේ ග්‍රහණයේ බව, ශාරිකට වැටහුණේ ඉන් පසුවය. ඔහු වහා මාධවීගේ ඉඟ අත හැරියේය. ඒත් සමඟම යතුරුපැදියක නලා ශබ්දයක් පිටතින් ඇසෙන්නට වූයේය.

“බොස් ඇවිත්..”

මාධවී කැෂියර් කූඩුව වෙත දිව ගියාය. ශාරිකද ඈ අනුගමනය කළේය. ගල්නෑව කෘෂි අළෙවිහල ඉදිරිපිට යතුරුපැදියේ සිටියේ කාලිංග සහ තාරුකාය. ඔහු සිය යතුරුපැදියේ නලාව දිගින් දිගටම හඬවමින් සිටියේය. ශාරික මාධවීගේ පිටුපස සිට ඇයට එළියට නොයන්නැයි සන් කරමින් සිටියේය. සුදු මහත්තයාගේ යතුරුපැදිය විත් කාලිංග සහ තාරුකා අසළ නතර කෙරුණේ ඒ මොහොතේදීය.

]]>
Mandaramen Eha – 42 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-42/ Wed, 01 Nov 2023 10:39:10 +0000 https://thulanatv.lk/?p=2704 Mandaramen Eha –  තාරුකා සිය සේවා ස්ථානය වෙත පැමිණීම සඳහා මදක් ප්‍රමාද වී තිබිණි. ඒ සිය සොහොයුරා වූ කාලිංග තමාව ඇරලවීම සඳහා තරමක් ප්‍රමාද වී පැමිණි හෙයිනි. සිය මවගේ මරණයෙන් පසු තාරුකා සිරිවර්ධන ෆැන්සි හවුස් හි සේවය සඳහා පැමිණෙන පළමු දවස අදය. එදිනද මෙසේ ප්‍රමාද වීම, නොසැලකිලිමත් කමක් සේ ඇයට හැඟෙමින් පැවතිණි. ඇය කාර්‍යාල කාමරයට ඇතුළු වූයේ ඒ බරද හිස මත තෙරපෙද්දීය. ඒ වෙද්දීත් ලක්මාල් සිය අසුනෙහි සිටිනු දැකීමෙන් තාරුකා තවත් කළබලයට පත් වූවාය.

“මං හිතුවෙ නෑ අයියා වේලාසනින් ඒවී කියලා…”

උදෑසනක හමුවන ඕනෑම අයෙකුට ඔහේ කියා දමන “සුබ උදෑසනක්” යන්න වත් නොකියා තාරුකා එසේ ලක්මාල්ට කීයේ සිතෙහි පවතින නොසන්සුන් බව මකා ගැනීම උදෙසාය.

“මාත් හිතුවෙ නෑ නංගි අද වැඩට එයි කියලා…එහෙම දැනගෙන හිටියනම් මං පප්පා එක්ක ටිකක් ඉඳලා එනවා…”

ලක්මාල්ගේ හඬ වෙනදා තරම් නිදහස් නොවන වග තාරුකා වහා හැඳින්නාය.

“ලොකු සර්ට තාම සනීප නැද්ද අයියේ..”

“ඔව් නංගී..එදා සිද්ධියෙන් පස්සෙ පප්පට පොඩ්ඩක් සිහි කල්පනාව මදි..”

“බංඩාර මුත්තේඒඒ…” තාරුකා අසළ තිබූ තමන්ගේ අසුන මතට වැටුණාය.

“දැන් පප්ප ළඟ කවුරුහරි ඉන්නම ඕනේ..එයා කරන,කියන දේවල් එයාටවත් තේරුමක් නෑ…”

“දොස්තරලා මොනාද කියන්නෙ අයියේ…”

“බෙහෙත් දීල තියනවා…ඒවත් පප්පට හරියට දීගන්න බෑ.. එයා ගෙදරදි ටිකක් මුරණ්ඩු විදිහට තමා හැසිරෙන්නේ..ගෙදර උදව්වට ඉන්න නැන්දත් දැන් එන්න බෑ කියනවා ඒ නිසා…”

“උදව්වට නැදෑ කෙනෙක්වත් ගෙන්න ගත්තනම් නේද හොඳ අයියේ…”

“මං දන්න කාලෙක පප්පා අපිට එහෙම කිසිම නෑදෑයෙක් ගැන කියලා නෑ නංගී…”

තාරුකාගේ හිතට ක්ෂණික ගැස්මක් නැඟ ආවාය. සමීපතමයන්, නෑදෑයන් දුරස්වීමේ සහ හැරයෑමේ වේදනාව ඇය හොඳින් දනී. එහෙත් කිසිකලෙක නෑදෑයෙකු ගැන අසා නැතැයි කියන ලක්මාල්ගේ හැඟීම් තේරුම් ගන්නට තරම් ඇගේ හිත මේ මොහොතේ ශක්තිමත් නැත. මන්ද යත් මේ මොහොතේ තමා සිටින්නේද මාපියන් දෙපළම අහිමිවූ දරුවෙකුගේ චිත්ත සංතාපයෙනි.

“මං ඔයාගේ ඔලුවට ඕනේ නැති බරක් දැම්මා නේද නංගී..”

“අනේ නෑ අයියේ..මට ඔයාගේ වේදනාව හොඳට තේරෙනවා…”

“මං එදා මලගෙදර ඇවිත් ඔයාලට ප්‍රශ්නයක් ඇතිකරානම් මට සමාවෙන්න නංගී…මට ඒ ගමන නෑවිත්ම බැරිවුණා..”

“මට දැන් ඒවා පුරුදුයි අයියේ…ගම්වල මිනිස්සු කතන්දර හදන්න කට අයාගත්තු ගමං ඉන්නේ…ඒවට කම්පා වුණොත් අපිට ජීවිතයක් නැතුව යනවා…”

ලක්මාල් වහා සිය අසුනෙන් නැඟිට ගත් හෙයින්, තාරුකා හිස නඟා බැලුවාය. සිරිවර්ධන මුදළාලි කාර්‍යාල කාමරයේ දොර අසළ ඔවුන් දෙස බලා සිටියේය.

“පප්පේ…කොහෙද මේ තනියෙං ඇවිදින්නේ..”

ලක්මාල්ව ගණනකට නොගත්, සිරිවර්ධන මුදළාලි, තාරුකා අසළටම ඇවිද ගොස් ඇගේ මුහුණ දෙස සෘජුවම බලා සිටියේය. තාරුකා සිය අසුනෙන් නැඟිට බිත්තියට හේත්තුවූවාය. සිරිවර්ධන මුදළාලි තමාගේ එක් අතක් ක්‍රමයෙන් තාරුකාගේ ගෙල වෙත රැගෙන ගියේය.

රිදී නැන්දා වූයේ කැලේගම වලව්වේ ගේට්ටුව අසළ පිහිටි සොහොන් කොත් දෙක සමීපයෙහිය. ඇය ඒ සොහොන් කොත් අවට තණකොල උගුල්ලා සුද්ධ පවිත්‍ර කර ඇති ලකුණු පෙනෙන්නට තිබිණි. මොහොතක කලින් දැල්වූයේයැයි කිවහැකි මැටි පහන් දෙකක් කොත් මත දැල්වෙමින් තිබේ. අප්පුහාමි මහ නිළමේගේ සහ නීලම්මා කුමාරිහාමිගේ ජායාරූප සහිත කොත ඉදිරිපස කෙසෙල් කොලයක තැබූ නැවුම් අරලියා මල්, ගැට පිච්ච සහ දහස්පෙතියාය. සිය ආබාධ සහිත කකුල එක් පසෙකට වන්නට තබාගෙන, රිදී නැන්දා සොහොන් කොත් දෙක අතර දණ නැමුවාය. අනතුරුව. අප්‍රමාණ සෙනෙහසකින් යුතුව කොත් මත ඇති මහ නිළමෙගේ සහ කුමාරිහාමිගේ පිංතූර දෙක අත ගෑවාය.

“බුදුන් දැක නිවන් දකින්ඩෝනෙ අපෙ වලව්වේ හාදුරුවනේ..ඕං අපේ ඉස්කෝලෙ මැණිකෙත් අර නූල් සූත්තරකාරිගෙ ගම් පැත්තෙ නඩලමේ ගොහිං ආවා…පුංචි නිළමෙ ඔය සූත්තරකාරිට අහුවුණත් හරි, මගෙ දෙයියො ඇස් පියාගත්තා… කම්පා වෙවීම ඉඳලා ටික දොහකින් කුමාරිහාමිත් යන්ඩ ගියා…ඒ ඉතරක්නම් මදෑ…අනේ අපේ පුංචි නිළමෙත් ඕකූන් මරාගත්තා නෙව වලව්වේ හාදුරුන්නේ..”

රිදී නැන්දා සොහොන් කොත් දෙකට පවසනා විස්තරය කෙමෙන් අඳෝනාවක් සහ දෙස් දෙවිල්ලක් බවට පරිවර්තනය වන්නට වූවාය.

“ගෙහුං එනකොට අර පුංචි බටු ඇටෙත් එහේ දමලා ඇවිත්..ඕං අර කළුවර කාමරේට වෙලා තනිකං මන්තරේ ජප කොර,කොර ඉන්නවා…”

රිදී නැන්දාගේ හඬ වේගවත්ව ඇසෙන්නට වූවාය. ගෙයින් එළියට බට ඉස්කෝලෙ මැණිකේ සෙමෙන්,සෙමෙන් සොහොන් කොත් දෙසට ඇවිද ආවාය.

“ඉන්න තැනකින් දිවැස් හෙලලා ඕකුන්ගෙ සනුහරේට වින කටින්ඩ මයෙ දෙයියෝ…නැහ්නං ඕකුන්ගෙ ශාපෙ මේ යස අගේට ඉන්න අපේ රන් කඳටත් වදිනවා දෙයි හාදුරුවනේ…”

“රිදී නැන්දේ…”

ඉස්කෝලෙ මැණිකෙගේ හඬට රිදී නැන්දා දණි,පණි ගා සොහොන් කොත් අසළින් නැඟී සිටියාය. රිදී නැන්දාට යමක් කියන්නට මුව විවර කළද, අවසන ඉස්කෝලෙ මැණිකේ එය නතරකොට දැමුවාය. එසේ කළේ රිදී නැන්දා සිය දෑස් චීත්ත පොටින් තෙත මාත්තු කරනු දැකීමෙනි. ඉස්කෝලෙ මැණිකේ රිදී නැන්දාගේ කරට අත දමාගෙන ගේට්ටුව අසළට රැඟෙන ආවාය.

“මං දවසක මේ සොහොන් දෙක ළඟින්ම රිදී නැන්දටත් ඉඩක් දෙනවා…එතකොට ඔය කේළම් ටික වලව්වෙ හාමුදුරුවො ළඟට වෙලාම කියතෑකී..”

“හනෙ අම්මේහ්…අපෙ මැණිකෙ..පව් පිරෙන කතා කියන්ඩෙපා…උන්නාන්සෙලා එක්ක පෑහෙන්න පුළුවන්ද මේ කිලිටි රදා ගෑණිට..”

“රිදී නැන්දට අපි කවදාවත් එහෙම වෙනස්කමක් කරලා තියේද..මං අහන්නෙ අප්පච්චිලා ඉන්න කාලෙවත්..”

“මේ මොනා අහනවද අපෙ මැණිකෙ..මහ නිළමෙයි, කුමාරිහාමියි මට උඔ නොදකිං කියලා නෑ….”

“මායි,මල්ලියි දෙන්නත් එහෙමනෙ නේද..”

“ආයේ ඒකේ හෝදන්ඩ දෙයක් ඇතෑ අපෙ මැණිකේ..”

“ඉතිං ඇයි රිදී නැන්දා පුංචි නිළමෙ පෙළවහට ගිය පවුල ගැන විතරක් වෛරෙන් ඉන්නේ..”

රිදී නැන්දා ඉස්කෝලෙ මැණිකේ දෙස බලා, අහක බලාගත්තා මිස කිසිත් කීවේ නැත.

“ඔය හීන්මැණිකෙගේ පවුලත් අපි වගේම ඒ ගමේ නම්බුකාර පවුලක්..අපේ මල්ලිට ඒ ගමේ අය කටපුරා කියන්නෙ බංඩාර මහත්තයා කියලා…ඒ විතරක් නෙවේ අර මෙහේ ආපු පිරිමි ළමයා…ශාරික පුතාටත් ඒ ගමේ අය කියන්නෙ පුංචි නිළමෙ කියලා…”

එවරනම් රිදී නැන්දාගේ අවධානය, ඉස්කෝලෙ මැණිකේගේ කතාවට යොමු වූවාය.

“සමහරවිට රිදී නැන්දා හිතනව ඇති අම්මයි,අප්පච්චියි මැරුණෙ මල්ලී හිතුවක්කාරෙට දීගෙක ගිය නිසා කියලා…ඒක වැරදියි..” රිදී නැන්දා මුව අයාගත්වනම, ඉස්කෝලෙ මැණිකේ දෙස බලා උන්නාය.

“අප්පච්ව් මට ඔය මාතර මුදළාලිගේ පුතා යෝජනා කරපු කාලේම, මල්ලිට මේ ගෙදර ඇවිත් ඉන්ඩ කියලා කීවා…ඒත් මල්ලි කැමති වුණේ නෑ හීන්මැණිකෙ එක්ක මෙහේ එන්ඩ…ඉතිං මං අර මාතර මුදළාලිගේ පුතා බැඳලා ගියානම්, අම්මයි,අප්පච්චියි මේ ගෙදර තනිවෙන නිසා තමා මං ඒ මඟුලට අකමැති වුණේ..”

“අනේ..අපේ වලව්වෙ හාමුදුරුවන්ගෙ පණ කෙන්ද ගියෙත් පුංචි නිළමෙගෙ නම කිය,කියා ඉද්දි..” රිදී නැන්දා එසේ කියමින් කම්පා වූවාය.

“ඒ පාප කර්මෙනම් මල්ලි මැරෙන මොහොතෙ හරි විඳවලා ගෙවාගන්න ඇති රිදී නැන්දේ..”

“අර බබා නාවෙ මොකෝ අපෙ මැණිකේ..”

රිදී නැන්දා අසන්නේ සරලා ගැන බව ඉස්කෝලෙ මැණිකේ දනී. තමා මෙතෙක් වේලා රිදී නැන්දාගේ හිත වෙනස් කරන්නට යෙදූ ප්‍රයත්නය සාර්ථක වෙමින් පවතින බව ඈ හැඳින්නාය.

“අපි එයාව එක්ක ඇවිත් මෙහේ තියාගමු. හොඳට උගන්නලා, නම්බුකාර පවුලකින් පෙළවහක් එහෙම කරල දෙමු. එතකොට මායි,රිදී නැන්දයි මේ වලව්වෙ නැතිදාකත් වලව්ව තනි වෙන්නෑනේ..”

රිදී නැන්දාගේ මුහුණ ආලෝකමත් වනු, ඉස්කෝලෙ මැණිකේ නිරීක්ෂණය කළාය. ඒ මොහොතේම කාලිංගගේ යතුරුපැදිය විත් කැලේගම වලව්වේ ගේට්ටුව අසළ නතර කළේය. රිදී නැන්දා සහ ඉස්කෝලෙ මැණිකේ එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තෝය.

ශාරික සිය නිවසේ ආලින්දයට වී කළුවරට දෑස් යොමා සිටියේය. වැඩ නිමවී පැමිණි මොහොතේ සිට රෑ බෝවන තුරු ඔහුගේ හිත තිබුණේ පෙරදා කාලිංග මුණගැසී කළ කතාබහ ගැනය. ශාරික පුදුමයට සහ බියට පත්කළ කාරණය වූයේ, ඔහු තමා සහ මාධවී සම්බන්ධ කොට එල්ල කරන ලද චෝදනාවයි. තමා කොතෙක් පැහැදිලි කළද, කාලිංග එය පිළිගන්නට මැළි වූ බව ශාරික වටහා ගත්තේය. එම සිද්ධියත් සමඟ තමා අවට සිද්ධ වන සමහර සිද්ධීන් කාලිංගගේ හැසිරීම හා ගළපාගන්නට ශාරික සමත් වූයේය. විශේෂයෙන්ම මාධවී තමාට කසාද බැඳ දරුවෙකු ඇති බව කියන්නේ කෙසේද යන්න ඔහුට අවබෝධ වූයේය. අනෙක් කාරණය වූයේ තමන් හා තාරුකා අතර නොගැළපීමක් මතුකරන අතරතුර ඔහු සරලාට ඇති හිමිකම ඒත්තු ගැන්වීමට දරන උත්සාහයය. මේ සියල්ල කාලිංගගේ කිසියම් සැළසුමකට අනුව සිද්ධ වන බවට සාධාරණ සැකයක් ශාරික තුළ ඇතිවන්නට පටන් ගෙන තිබිණි.

“ලොකූ…” සිය මවගේ හඬින් ශාරික සිය කල්පනා දැහැන බිඳ දැමීය.

“කෑම ටික හීතල වෙන්ඩ කලියෙන් කාලා හිටින්ඩ..”

“එච්චර බඩගින්නක් නෑ අම්මේ..ටිහිකින් කන්නං..”

“මට ලොකූට කාරණයක් කියන්ඩ තියේ..”

“කියන්ඩ අම්මේ..”

“හදිසියේම ඉස්කෝලෙ අක්කා පයින්ඩයක් එවලා තිබ්බා…”

“චූටී ආයේ එවන්ඩ කියලද..”

“නෑ.. කාලිංග පුතා ඒ අහ ආවය කියන්ඩ..”

“ඒ යකා මොන මඟුලකටද එහේ ගියේ…” ශාරිකට ඉබේම එසේ කියවිණි. ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් හීන්බණ්ඩාර මැණිකේ තරමක් තැති ගත්තාය.

“ෂ්ෂ්… චූටී නිදි…”

ශාරිකට තමා සිටින්නේ මව ඉදිරියේ බව වැටහී ගියේ හීන්බණ්ඩාර මැණිකේ එසේ කියද්දීය. ඔහු සන්සුන් වන්නට වෙර දැරුවේය.

“ඇයි… දන්නෑ… කාලිංගයියා හදිසියේ එහේ ගියේ නේද…”

“සරලා ආයේ එහේ ගෙන්නගන්ඩ එපාය කිව්වලු..”

ශාරිකගේ හිතට ක්ෂණිකව කේන්තියක් නැඟ ආවද, ඒ මොහොතේම ඔහු එය මැඩ ගත්තේ මව කළබල නොකළ යුතුය යන සිතිවිල්ලේ හුන් නිසාය.

“දන්නැද්ද ඉතිං කාලිංගයියා කුකුල් කේන්ති කාරයනෙ..ඔහේ ගිහිං මොනාහරි දොඩවලා එන්නැති..ඉස්කෝලෙ නැන්ද මොනාද කීවේ..”

“කවුද මනුස්සයෙක් අත ලියුම් කඩදහියක් එවලා තිබ්බේ..සෑහෙන්න කේන්තියෙන් ලියපු බවක් තමා පේන්ඩ තිවුණෙ..ඉන්නකො මං ඒක ඇන්න..”

“ඕන්නෑ අම්මේ…” ගෙට යෑමට සැරසුණු හීන්බණ්ඩාර මැණිකේ ශාරිකගේ හඬින් නතර වූවාය.

“මං පස්සෙ කියවන්නම්. අම්මා කියන්ඩකෝ මොනාද නැන්ද කියලා තිබ්බේ කියලා…”

“ආයේ ඒ පැත්තෙ ආවොත් එයැයිව පොලීසියට බාර දෙනවය, හැකි ඉක්මනින් ඇවිත් අක්කව හම්බවෙන්ඩය කියලා තිබ්බා….”

කාලිංග විෂයෙහි තමාගේ ඇතැම් අනුමාන නිවැරදි බව වටහාගන්නට ශාරිකට මේ සිදුවීම තවත් රුකුලක් වූයේය. තමා තවදුරටත් නිවී,සැනහී ගිය චරිතයක් වීමෙන් සිද්ධ වනුයේ, කාලිංග විසින් තමාගේ චරිතයම විනාශ කර දැමීමකැයි ඔහුට හැඟුණේය. මේ සියල්ලට වහාම ඔහුගේ ක්‍රමයෙන්ම පිළිතුරු දිය යුතුයැයි ශාරිකට සිතුණේය.

“තාම නිදි නැද්ද ළමයෝ.. ”

ශාරික හැරී බැලුවේය. සිය මව එසේ අසා තිබුණේ සරලාගෙනි. ඇය ආලින්දයේ උලුවස්සට හේත්තු වී ඔවුන් දෙස බලා සිටියාය.

]]>
Mandaramen Eha – 41 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-41/ Tue, 31 Oct 2023 10:53:48 +0000 https://thulanatv.lk/?p=2697 Mandaramen Eha – මහ කමත වෙල්‍ යායේ කොහොඹ ගස පාමුල ඇන තබාගෙන සිය වගා ළිඳ දෙස බලා සිටින්නේ කාලිංගය. මවගේ හත් දවසේ දානය දී දින තුනකටත් වඩා ගෙවී ගොස් ඇතත්, වගා ළිඳේ කටයුතු යළි ආරම්භ කිරීමට තරම් උද්යෝගයක් තවමත් ඔහුගේ සිතට පැමිණියේ නැත. විටෙක දරාගත නොහැකි පාළුවක්, තනිකමක්, හිස්කමක් විත් ඔහුගේ හිත වසා ගනී. තවත් විටෙක මුස්පේන්තු ගතියක්, ඕලෑරීකමක්, කුසීත බවක් ඔහුගේ ශරීරය පුරා දිව යන්නා සේ ඔහුට දැනේ. මේ සියල්ල අම්මාගේ මරණයත් සමඟ ඇති වු දේ බව ඔහු දනී. තමා අවට ලෝකය සහ එහි ප්‍රානීන් සමඟ ගැටුණේ,උරණ වූයේ තමාගේ බලාපොරොත්තු උදෙසාම නොවන වග ඔහුට හැඟෙමින් තිබුණේය. සිය මවගේ මරණයත් සමඟ තමා වෙලාගත් මේ නම නොදන්නා ආගන්තුක හැඟීම් සමුදාය ලිහා ගළපාගන්නට ඔහු මනසින් ද්වන්ධ සටනක යෙදී සිටියේය.

“කාලිංගයියේ..”

ඒ හඬ සරලාගේ බව හඳුනාගන්නට කාලිංගට හැරී බලන්නට වුවමනා වූයේ නැත. එබැවින් ඔහු දිගටම වගා ළිඳ දෙසම බලාගෙන සිටියේය. සරලා ඔහුට පසෙකින් සමාන්තරව වාඩිවී, හිස ඇලකොට කාලිංගගේ මුහුණ දෙස බැලුවාය.

“දැන් මදෑ ඉතිං ඔය..වැටිච්චි,වැටිච්ව් තැන ඉඳගෙන කල්පනා කරා…”

“වැටිච්චි,වැටිච්චි තැන දපලා කල්පනා කරපු දේකුත් නෑ කියලා මතක් වුණාම තමා බං ඇවිලෙන්නේ..”

සරලාගේ මුවට සිනහවක් නැඟ අවාය. කාලිංග එය දුටුවේය.

“මොකෝ උඔගෙ සිරික්කිය..”

“මෙච්චර කාලෙකට ඔයා වැදගත් කතාවක් කීවමද කොහෙද අනේ….”

“ආහ්.. ඇත්තද..ඔය පාරෙ,තොටේ හම්බවෙලා උකුළු, මුකුළු දාන උන් කියන්නෙම වැදගත් කතා වෙන්ඩැති ඒනං..”

සරලා කාලිංග දෙස බැලූයේ ආදරයෙනි. මේ ඔහු සැනසිය,අස්වැසිය යුතුම මොහොත බව ඈ දන්නීය. ඔහු ඊට අපූරූ ආරම්භයක් දුන් වග වහා හැඳින ගන්නට තරම් ඈ සූක්ෂම වූවාය.

“මං හිතුවෙ ඔයා පතෝල වගේ කියලා.. බලං යද්දි එහෙමමත් නෑ නේහ්..”

“මොකක්…”

“නෑ මං කීවේ ඉතිං පතෝල ගුණත් නෑ අගුණත් නෑ…ඒත් ඉතිං කන එක නවත්තන්නෙත් නෑනේ…”

“උඔ දැන් මාව කාලා බැලුවද ගුණද,අගුණද කියලා..”

සරලා නිකටට දබරැඟිල්ලෙන් තට්ටු කරමින් කාලිංගගේ මුහුණ දෙස බලා උන්නාය.

“මොකෑ බොල..”

“නෑ මං මේ බැලුවෙ පොඩ්ඩක් කාලා බලනවද කියලා…”

“තොට නුහුගුණේද බොල..”

“කවුද නුහුගුණේ කීවේ මේ ළිඳ කපන බාස් මාමද..”

“මේකිගෙ අප්පට…” කාලිංග හුන් තැනින් නැඟී සිටියේය. සරලා කමත මැදට දිවගොස් සිටගත්තාය.

“නුහුගුණේ තියෙන්නෙ ඔහේට…අම්මපා මං දවසක බඳිනවා හිසකුඩිච්චියක්..”

“හිසකුඩිච්චිය බැඳගං තොගෙ…”

කාලිංග කුණුහරුප වැලක් කියමින් සරලාට බනිමින් ඇය ඉදිරියට ආවේය. ඒ සමානවම සරලා පිටුපසට ගියාය.

“ඊයා…තකතීරූ, මෝඩ මස්සිනා…ඕවා තමා දන්නෙ ඉතිං ඔයා….”

“තොගෙ නැටිල්ල එන්ඩ,එන්ඩම වැඩී හරිද සරලෝ…”

“ඉතිං අඩුකරලා ගන්නෙකනෙ ඇත්තෙ..ඒකවත් බැරි මස්සිනාකම් මොකටද…”

කාලිංග බොරුවට බිම අත,පත ගෑවේ, දමා ගසන්නට යමක් සොයන්නට මෙනි. සරලා කමතෙන් එළියට දිව ගියාය.

“ඔහොම හිටපං ගෙදරට ගිහිං ඇරලන්නං…” කාලිංග කෑගසා කීවේ සරලාටය.

“එපෝඕඕ…පුළුවන් දවසක ගෙදරට ඇවිත් එක්කං යන්ඩෝඕඕ….”

“පිස්සු හටන…”

තමාටම මුමුණා ගනිමින්, කාලිංග නියර දිගේ උඩ පනිමින් තමාගෙන් ඈතට ඇදෙන සරලා දෙස සිනහමුසුව බලා සිටියේය.

පොහොය දිනයක් වූ බැවින් සුදු මහත්තයා සිය නිවසෙහි රැඳී සිටියේය. ඔහු සැටියෙහි වාඩිවී අතීතාවර්ජනයකට සැරසුණේය. ඔහුගේ මතකය ඇදී ගියේ පෙරදා ලොකුබණ්ඩාර මැණිකේගේ ආදාහන කටයුතු සිදුවූ රාත්‍රිය වෙතටය.
සුදු මහත්තයා සිටියේ තාරුකාගේ නිවසෙහි තහඩු අට්ටාලය යට පුටුවක වාඩිගෙනය. මොහොතකට පෙර ශාරික පැමිණ ඔහුට කතාකොට ගිය මුත්, සුදු මහත්තයාට එම නිවසින් පිටව ඒමට සිතුණේ නැත. කිහිපවාරයක් ඔබ,මොබ සක්මන් කරමින් ඔහු හැසිරුණේ කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙනි. සමන්තී තහඩු අට්ටාලය හරහා ගමන් කරනු ඔහු දුටුවේ මේ මොහොතේය. ඔහු වහාම අසළ පුටුවක වාඩි වූයේය. සිය දෑස් සමන්තී වෙතින් ඉවතට නොගෙනම ඔහු ඈ හා එහා, මෙහා ගමන් කළේය.

“පෙනේද නළව,නළවා යන හැටි…අම්මගෙ මරණෙ ගැන වගේ වගක් නෑ මේ සක්කර වට්ටමට….”

සුදු මහත්තයා හඬ ආ දෙසට අවධානය යොමු කළේය. ඒ ගැමි ගැහැණුන් දෙදෙනෙකි. ඔවුන් කතා කරන්නේ සමන්තී ගැන බව හැඳිනගත් සුදු මහත්තයා, ඔවුන්ට නොදැනෙන්නට ගොස් ඔවුන් අසළ පුටුවක වාඩි වූයේය.

“බලන්ඩෙපායැ කැරකොප්පුවට යනකොට මේකීගෙ කොල්ල නටපු ජවුසම..බයිස්කෝප් පරාදයි…” එක් ගැමි ගැහැණියක සෙමෙන් අනෙක් ගැහැණියට කීවාය.

“මට හිතෙන්නෙම ඔය සමන්තියගෙ කොල්ලා වසන්තයගෙ නෙවේ…අර නිතර දෙවේලේ ගෙට රිංගන ගල්ගමුවෙ ආමිකාරයගෙ.. නැත්තං ඌව දැක්ක ගමං කොල්ලා අප්පච්චියේ කියාගෙන ඌ ගාවට දුවාවියැ….”

අනෙක් ගැහැණිය කීයේ රහසින් මෙන් කොඳුරමිනි. සුදු මහත්තයා ඔවුන්ට වඩාත් සමීප වෙනත් පුටුවකට සෙමෙන් මාරු වූයේය.

“දැන් ඔය ලොකු බංඩාරිගෙ කොල්ලයි,තාරුකයි වැඩකරන්නෙත් ඒ ආමිකාරයගෙ තාත්තගෙ කඩේකලුනෙ..සමන්තියා ඌව ගොනාට අන්ඳගෙන ගානට වැඩ ගන්න හැඩයි…”

එම ගැහැණිය මහ හඬින් සිනහවූයේ තමා සිටින්නේ මල ගෙදරක බව අමතක වීමෙනි.

දොරක් ඇරෙන හඬ ඇසී සුදු මහත්තයා කල්පනා ලොවින් මිඳුණේය. හාන්සි වී සිටි සැටියෙන් හිස ඔසවා බැලූ ඔහු දුටුවේ සිය පියා වූ සිරිවර්ධන මුදළාලී තමා පසුකර යන ආකාරයය.

“පප්පේ…” ඔහු සිය පියා ඇමතුයේ කුහුලෙනි. එම හඬට සිරිවර්ධන මුදළාලි හැරී සුදු මහත්තයා දෙස බැලුයේය.

“ආආහ්…මං හිතුවා සුදු පුතා මෙලහකටත් ගල්නෑවෙ කඩේය කියලා…මං මේ ගල්ගමුවට ගිහිං පොඩි පුතා බලලා අහක්කෙලා එහෙමම සුදු පුතාගෙ අහ යන්ටය කියලා ගියේ..”

සිරිවර්ධන මුදළාලී කීයේ සිය අත් ඔරලෝසුව දෙස වරින්,වර බලමිනි. සුදු මහත්තයා සිය පියා අසළට පැමිණියේ හඬන්නට ආසන්න කිරි දරුවෙකු මෙන් අසරණවය.

“පප්පේ…අද පෝය..” සුදු මහත්තයාගේ හඬ ආයේ උගුරෙනි.

“කිව්වත් වාගේ ඇත්ත නේන්නං සුදු පුතේ…ඒක නිච්චියක්ම නැතුව ගියානේ මට…”

සිරිවර්ධන මුදළාලී කීයේ සමාව අයදින බැල්මකින් සුදු මහත්තයා දෙස බලමිනි. සුදු මහත්තයා පැමිණ සිය පියාගේ දෙවොරින් අල්වා ගත්තේ ශෝකය පිරීගිය මුහුණෙනි.

“පප්පා ගිහිං තව පොඩ්ඩක් නිදාගන්ඩකෝ…අපි හවසට පොඩ්ඩක් ඇවිදින්න යං…”

“හරි..හරි සුදු පුතේ..පොඩි පුතත් ආවම යං…මං හිතන්නෙ අක්කත් කැමති වෙයි…අක්ක අකමැතිනම් ඉතිං ඒ ගමන යන්න වෙන්නෑනේ…අක්කා කීවොත් කීවා….අක්කා කීවොත් කීවා…”

අවසන් වචන කිහිපය පුනරුච්චාරණය කරමින්, සිරිවර්ධන මුදළාලි ආපසු සිය කාමරයට වැදුණේය. මොහොතක් එදෙස බලා සිටි සුදු මහත්තයා,

“මැක්කම්මා……”

කියා වේගයෙන් කෑ ගැසුවේය. මොහොතකින් වයෝවෘද්ධ කාන්තාවක් පැමිණ සුදු මහත්තයා අසළ සිටගත්තාය.

“පොඩ්ඩක් පප්පට ඇහැගහගෙන ඉන්න කියලා තියෙනවා නේද මැක්කම්මේ…කොහෙද හිටියේ..”

“මුදළාලී එක්ක ලේසී නෑ සුදු මහත්තයා….කබඩ් එකේ රෙදි ඔක්කොම බිමට ඇදලා දාලා.. කිලිටියි කිය,කියා හෝදන්න කීවා…මං මේ ඒවා හෝද,හෝදා හිටියේ..”

සුදු මහත්තයා හිස දෑතින් බදාගනිමින්, සැටියට පහත් වූයේය.

තාරුකා උන්නේ ගිරාතලාන වැව් බැම්ම කෙළවර පිහිටි තිඹිරි ගසෙහි වැවට පාත්වූ අත්ත මත හිඳගෙන,කකුල් නිදහසේ වැවට එල්ලාගෙනය. ශාරික සෙමෙන් තිඹිරි අත්ත දිගේ තාරුකා සමීපයටම පැමිණියද, තාරුකා සිටියේ ඔහු ආ වගක් දැනෙන තරමේ සුළුපටු කල්පනාවක නොවේ.

“තාරූ…” ශාරිකගේ අත තාරුකාගේ උරහිසෙහි වදිද්දී, ඈ වේගයෙන් ගැස්සී ගියාය.

“ඇයි…මේ…” ශාරික ඇසූයේ විමතියෙනි.

“වෙච්චි දේවල් හිතට බර වැඩී මගෙ අයියේ..දරාගන්නම බෑ.. තිස්සෙම ඉන්නෙ ගැස්සි,ගැස්සී..” ශාරික සෙමෙන් තාරුකා අසළ වාඩිවූයේය.

“හිතන්නෙපා තාරූ…අල්ලං ඉමු…හැමෝටම දරාගන්න අමාරු කාල එනවා…”

“ඒ අමාරු කාලේ අනිත් අයට වඩා ටිකක් වැඩියෙන් අපිට දීලා වගේ නේද මගෙ අයියේ…”

තාරුකාගේ ඒ වචන කිහිපය බොහෝ බරට විත් ශාරිකගේ පපුවට ඇණුනේය. කොහේ හෝ සිට අහම්බෙන් පැමිණි,ඔහුත් නොදන්නා බලවේගයකින් මෙන්, ශාරික වහා තාරුකාව ඇද ඔහුගේ උරහිසෙහි ඔබා ගත්තේය.

“ඒ වැඩි ටික මට දෙන්න අපි බෙදාගමු..”

තාරුකාගේ උරහිස් ගැස්සි,ගැස්සී ඉස්සෙනු ශාරිකගේ උරහිසට දැණුනේය. ඔහු ඇගේ හිස පිරිමදිමින්ම සිටියේ ඒ ගැස්ම පාලනය කිරීම සඳහාය. තිඹිරි ගසට මඳක් එහායින් මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිටියේ කාලිංගය. ඔහු බැම්මෙන් ගලක් ගෙන තාරුකා සහ ශාරික හිඳගෙන හුන් තිඹිරි අත්ත අසළ වතුරට වීසී කළේය.

“කාලිංගයියා…”

ශාරික වහා හිඳ සිටි තිඹිරි අත්තෙන් නැඟී සිටියේය. කාලිංග තිඹිරි අත්ත සහ වෑකන්ද සම්බන්ධ වන තැන සිටගෙන සිටියේය.

“අනේ අයියේ…ශාරිකයියා…”

තිඹිරි අත්ත දිගේ වෑකන්දට දිව ආ තාරුකා, කාලිංගට යමක් කියන්නට උත්සාහ කළාය. එහෙත් අතින් සන් කොට කාලිංග ඇයව නතර කළේය.

“මං කියන දේ අහලා උඔ පොඩ්ඩක් ගෙවල් දිහාට පලයංකෝ මගෙ නංගී…මස්සිනාටයි,මටයි තියනවා බොහොම වැදගත් කතාවක්..”

සිය සොහොයුරාගේ හඬ බොහෝ සෙයින් නිවී ඇති වග තාරුකා හැඳින්නාය. ඇය සෙමෙන් ශාරික සහ කාලිංග අතහැර බැම්මේ පහළ බෑවුම වෙතට ගමන් කළාය. ඇය වෑකන්දෙන් බහින්නට පෙර වරක් ඔවුන් දෙදෙනා දෙස හැරී බැලුවාය. ඒ මොහොතේ ශාරික සහ කාලිංග සිටියේ එකිනෙකාට මුහුණලා සිටගෙන ඔවුනොවුන් දෙස බලාගෙනය.

]]>
Mandaramen Eha – 40 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-40/ Thu, 12 Oct 2023 11:25:44 +0000 https://thulanatv.lk/?p=2681 Mandaramen Eha – ලොකුබණ්ඩාර මැණිකේගේ නිවසෙහි කඩුල්ල ගොක්කොල ආරුක්කුවකින් සරසා තිබේ. කඩුල්ලේ සිට නිවස අසළට යන තෙක් මඟ දෙපස කොහුලණු ඇද ඒ දිගේ ගොක්කොල රැහැන් එල්ලා ඇත්තේය. ගෙය ඉදිරිපස මිදුලෙහි තහඩු අට්ටාලයක් ගසා ඇති අතර එහි ඇතුලත තහඩු පුටු දෙපේළියකි. වත්තේ තැන් කිහිපයක ප්ලාස්ටික් පුටුද දක්නට ලැබෙයි. සුදුවතින් සැරසුණු ගැමියන් විටින් විට එහි පැමිණෙයි. ශෝකාකූල මුහුණින් ගෙයි දොරකඩ සිට ආචාර කොට ඔවුන්ව පිළිගෙන ගෙට ඇතුල් කරන්නී සමන්තීය. එතරම් විශාල නොවූ කටුමැටි පියස්සෙහි කුඩා සාලය මැද ලොකුබණ්ඩාර මැණිකේගේ නිසල දේහය තැන්පත් කොට තිබේ. පොල්තෙල් පහනක් ඇගේ ඉහ අද්දර නොනිවී දැල්වේ. දෙණෙහි බඳ දෙපස ඇත්දළ යුවලකි. බිම එලූ පැදුරක වැටී අඩ සිහියෙන් මෙන් සිටින්නී තාරුකාය. ඇගේ දෑසින් නොකඬවා කඳුළු කඩා හැළේ. ඒ අසළ ඇගේ හිස අතගාමින් සිටින්නී ශාරිකගේ මව හීන්බණ්ඩාර මැණිකේය. ශාරික සාලය හරහා එමින් සිටියේය.

“ලොකූ..”

හීන්බණ්ඩාර මැණිකේ සිය පුතුට කතා කළාය. ශාරික විත් සිය මව අසළට පහත් වූයේය.

“කාලිංගයියා ගැනයි,සමන්ති අක්කයි ගැනයි පොඩ්ඩක් බලන්ඩ මයෙ පුතේ…”

ශාරික හිස වනා ගෙයි පිටුපස පෙදෙසට ඇවිද ගියේය. කාලිංග වත්තේ ඈත කජු ගසක කඳක් මත වාඩිවී ඔහේ බලාගෙන සිටිනු ශාරික දුටුවේය. ඔහු එදෙසට යන්නට සැරසෙත්ම සරලා පැමිණ ශාරික ඉදිරියේ සිට ගත්තාය
.
“ඉස්කෝලෙ නැන්දා ආවා…පොඩ්ඩක් ගිහිං කතා කරනවද අයියේ…”

ශාරික ආ ගමන නවතා නිවසේ ඉදිරිපස දෙසට ඇවිද ගියේය. සරලා සෙමෙන් කාලිංග සිටින තැනට ඇවිද ගියාය. ඔහුට තමා අවට පරිසරය පිළිබඳව නිනව් නොවන බව ඈ වටහා ගත්තාය. සරලා මෘදුව ඔහුගේ උරිස්සක් මත අත තැබුවාය. කාලිංග හැරී බැලුවේ නැත. සරලා ඔහුට පෙනෙන්නට ඉදිරියෙන් සිට ගත්තේ එහෙයිනි. කාලිංගගේ මුහුණේ සියලු හැඟීම් මැරී තිබෙනු සරලා දුටුවාය. ඒ දෑස් අපේක්ෂා භංගත්වය විසින් මළානික කොට තිබිණි.

“අනේඒඒ…ඇයි අයියේ මේ…” සරලාට ඉබේම එසේ කියවුණාය.

“වැඩක් නෑ බං..හැමදේම විනාශ වෙලා ගියා….”

කාලිංගගේ උරහිස් ගැස්සෙණු සරලා දුටුවාය. ඔහු කට තදින් පියාගත්තේ ඉකිය පිටට ඒම වළකාගනු පිණිසය. සරලා ඉදිරියට ගොස් ඔහුගේ හිස ගෙන තම උරහිස මත තබා ගත්තාය.

“ඔහොම ගහක්,ගලක් වගේ නොයිඳ..කෑගහලා අඬන්ඬ අයියේ..”

සරලා, කාලිංගගේ හිස පිරිමදිමින් එසේ කීවාය. ශාරික සහ ඉස්කෝලෙ නැන්දා ගෙයි ඉදිරිපස පුටු දෙකක වාඩිවී කතා බහකය.

“කීයටද මිනිය කැලේ ගහන්නෙ..”

“හතරට කලිං ගන්ඩෝනේ ඉස්කෝලෙ නැන්දේ..නැත්තං කැරකොප්පුවට අලි බහිනවා….”

“ඇත්තටම මොකක්ද මේ යසට හිටපු මනුස්සයට වුණේ ළමයෝ….”

“මටත් හිතාගන්ඩ බැරිවුණා ඒක අහද්දි ඉස්කෝලෙ නැන්දේ..”

“ඒක අහද්දි කීවේ…”

“ගල්ගමුව ටවුමෙදි කලන්තයක් හැදිලා වැටිලා…එවෙලෙ එතන තිබ්බ කාණු ගැට්ටක ඔලුව වැදිලලු…ඉස්පිරිතාලෙට ඇන්න යනකොටත් හිටියෙ මැරිලා කියලා තමා ආරංචිය..”

ඉස්කෝලෙ මැණිකේ හිස දෙපසට ගසා හුස්මක් ඉහළට ඇද්දාය. සමන්තී තේ බන්දේසියක්ද අතැතිව විත් එය ඉස්කෝලෙ මැණිකේට පිළිගැන්වූවාය.

“මේ නැන්දම්මගෙ ලොකු දුව සමන්තී..”

ශාරික ඉස්කෝලෙ මැණිකේට සමන්තීව හඳුන්වා දුන්නේ එලෙසිනි.

“වතාවක් දෙකක් හම්බෙලා තිබ්බට වැඩිය නිච්චියක් තිබ්බෙ නෑ…”

ඉස්කෝලෙ මැණිකේ කීයේ සමන්තී දෙසට ශෝකය ප්‍රකාශ කරන බැල්මක් හෙලමිනි.

“අක්කා ඉස්කෝලෙ නැන්දත් එක්ක පොඩ්ඩක් කතා කර,කර ඉන්ඩ…මං අර පැත්ත පොඩ්ඩක් බලන්නං..”

ශාරික සමන්තීව ඉස්කෝලෙ මැණිකේ සමඟ රඳවා එතැනින් පිටව ගියේය.

සුදු මහත්තයා සිය නිවසෙහි තරප්පු පෙල බැස එන මොහොතේම ලක්මාල්ද ගෙට ඇතුළු වූයේය.

“පප්පා බලන්ඩ ගියාද..” සුදු මහත්තයා ඇසූයේ ලක්මාල්ගෙනි. ඔහු හිස වැනුයේය.

සුදු මහත්තයා ඇසූයේ ලක්මාල්ගෙනි. ඔහු හිස වැනුයේය.

“එතකොට කඩේ..”

“වහලා ආවේ..”

“ඇයි…”

“මට ගිරාතලානේ යන්ඩෝනෙ..”

සුදු මහත්තයා කුකුසෙන් යුතුව ලක්මාල් දෙස බැලීය.

“එදා අර ගල්ගමුවෙ ඇක්සිඩන්ට් එකකින් මැරිලා තියෙන්නෙ අපේ කඩේ වැඩ කරන ගෑණු ළමයගෙ අම්මා…”

“ඕහ්..එහෙනම් ඒකයි මගෙ කඩේ කොල්ලත් මළගෙයක් කියලා නිවාඩු අරං තියෙන්නේ..”

“ඇයි එයත් ඒ ගමේද..”

“ගමේ විතරක් නෙමේ අයිසෙ, ඔය තමුසෙ ළඟ වැඩකරන කෙල්ල බැඳලා ඉන්නේ මගෙ කඩේ වැඩ කරන කොල්ලව..”

“ඔය කියනකං මං දැනගෙන හිටියෙ නෑනේ…”

සුදු මහත්තයා මොහොතක් කල්පනාකාරී වූයේය.

“එහෙමනම් තමුසෙ මෙහෙම කරනවා…ගිහිං ඔය අවසන් කටයුතු වලට කීයක් හරි දීලා, මූණ පෙන්නලා එනවා…මං දවල්ට පප්පව බලලා ගල්නෑවෙ කඩේ පැත්තෙ ගිහිං, එන ගමං රෑට ඒ පැත්තෙ ගොඩවෙලා එන්න යන්නං..දෙන්නම අපි ගාව වැඩ කරන මිනිස්සුනෙ අයිසෙ..”

ලක්මාල් හිසවනාගෙන තරප්පු පෙල නැඟීමට පටන් ගත්තේය. ගෙයින් එළියට යෑමට ගිය සුදු මහත්තයා නැවත හැරී දොර ළඟ සිට ලක්මාල් ඇමතුවේය.

“තමුසෙ කොහොමද දැන් ඔය ගමන යන්නේ..”

“අදීෂව කතා කරගෙන උගේ කාර් එකේ යනවා…”

“තමුසෙ ඕනෙනම් පප්පගෙ කාර් එක අරං යනවා…ඔය එක,එකා එක්ක යනවට වඩා ඒක තමුසෙටත් හොඳයිනේ..”

“මං මොකක් හරි කරගන්නම්. අයියට ඕනේනම් කාරෙක අරගෙන යන්ඩ..”

ලක්මාල් තරප්පු පෙල නැඟ ඉහළ මාලයට ගියේය. කල්පනාවක ගිලෙමින්ම මිදුලට පැමිණි සුදු මහත්තයා සිය පියා නිතරම වාඩිවන උද්‍යාන බංකුව අසළට ගොස් එහි සැපපහසු ලෙස වාඩි වූයේය. අනතුරුව සිය ජංගම දුරකතනය ගෙන අංකනය කරන්නට වූයේය. ඉන් පසුව මඳ වේලාවක් එහා පසට ඇහුන්කම් දීගෙන උන්නේය.

“ආහ්..චුට්ටේ..ඔව් බං ඔව්…පොඩ්ඩක් ධර්මෙ අයියගෙ සේල් එක පැත්තට ගිහිං මිනිහ ළඟදි හොඳ වණ්ඩියක් බස්සලාද කියලා බලහංකෝ….උඔට ඒ පැහිච්චකං වැඩක් නෑනේ..පයිත්තියංද උඔට සල්ලි දීලා කාර් ගන්ඩ..අරහෙ පප්පා ලෙඩ ඇඳේ..දවස් දෙක තුනකට ඉල්ලගන්ඩ බං..ඔව්,ඔව්..මට කෝල් එකක් ගහපංකෝ ගිහිං…”

දුරකතන විසන්ධි කළ සුදු මහත්තයා උරුවම් බාමින් ගොස් සිය යතුරු පැදියට නැඟ පිටව ගියේය.

ලොකුබණ්ඩාර මැණිකේගේ අවසන් කටයුතු සිදුවෙමින් පැවතුණේය. පවුලේ සියලූම දෙනා දෙණ සමීපයෙහි පැදුරු එලා වාඩිගෙන උන්හ. උස්ගල පුරාණ රජමහා විහාරයේ නායක හිමියන් සහ සේනපුර පොඩි හාමුදුරුවන් මෙන්ම සංඝයා වහන්සේලා කිහිප නමක් වැඩ සිටියහ. මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩීමෙන් අනතුරුව නායක හිමියන් සිය කතාව ආරම්භ කළ සේක.

“අද මේ තමන්ගේ සංසාර ගමනේ එක භවයක් කෙළවර කරලා ඉන්න අපේ ලොකුබංඩාරී උපාසිකා මාතාව බංඩාර පරම්පරාවේ වැඩිමල්ම පුරුක වුණු ලොකු බංඩාර මහත්තයාගේ ආදරණීය භාර්‍යාව..කලට හෝ අකලට වේවා කිසියම් මොහොතක අපි හැමදෙනාගේ මරණය තීරණය වෙන්නේ අපේ ඉරණම ලියවිලා තියන විදිහට..ලොකු බංඩාර උන්නාන්සෙ වගේම ලොකු බංඩාරී උපාසිකා මාතාවත් අපිට ආයේ,අයේම පසක් කරන්නේ ජීවිතයේ අනිත්‍ය බව සහ මරණයේ නිත්‍ය බව..පින්වතුණි..කෙනෙක්ගේ මරණය නෙවෙයි වඩා වටින්නේ..ජීවත්ව සිටි කාලය..ඒ කාලය තුළ ඒ පුද්ගලයා තමන්ගේ සහ අනෙකාගේ ජීවිතයේ යහපත වෙනුවෙන් කළ,කී දේවල්..ඒකයි අපි කතාවට කියන්නේ මරණයේ වේදනාව වැඩියෙන් දැනෙන්නේ ජීවත්ව සිටින අයට කියලා…ජීවත්ව සිටින කාලය තුළ තමන්ගෙන් අනෙකාට විය යුතු යුතුකම්,වගකීම් හැකි පමණ හෝ ඉටුකරගන්න පුළුවන් වුණානම්, මරණ මංචකයේදී තමන්ටත්, මරණින් මතු තමන්ගේ යැපෙන්නන්ටත් සතුටට කාරණා මිස, පසුතැවීමට කාරණා ඉතිරි වෙන්නේ නෑ…දැන් බලන්න මේ බංඩාරී උපාසිකා මාතාව..බංඩාර පරම්පරාවට පිටින් සම්බන්ධ වුණාය කියලා මේ ගමේ අය බංඩාර පරම්පරාවට දෙන්න ඕනේ නිසි ගෞරවය මේ මියගිය ඇත්තියට නොදී හිටියද..? නෑ… දුන්නා…ආන්න ඒ නිසා, මට ඒ උපාසිකා මාතාවගේ දියණියන් දෙදෙනාට සහ පුත්‍රයාට කියන්ඩ තියෙන්නේ..දෙමාපියන් අතින් මේ බංඩාර පරම්පරාව ඉදිරියට ගෙනියන්ඩ කිසියම්ම හෝ මෙහෙවරක් වුණානම්, ඊටත් වඩා වැඩියෙන්, මින් ඉදිරියට ඒ වෙනුවෙන් කැපවෙන්ඩෝනෙ කියලා. ..මේ ගමේ කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා එක හිතින්,එක හඬින් පිහිට ඉල්ලන ඒ බංඩාර පරම්පරාවේ මුතුන්,මිත්තන්ගේ ආරක්ෂකයා වූ බංඩාර මුත්තාගේ නාමයෙන්..පරම්පරාවක් ලෙස එකමුතුව, නෑ සිය මිතුරන් ලෙස සහයෝගීව ඉදිරියට වැඩකටයුතු සිද්ධ කරන්ඩ හිතට ගන්නය කියලා…මේ මලගිය ප්‍රාණකාරයා වෙනුවෙන් පිං අනුමෝදන් කරමු…”

අවසන් වතාවට ලොකුබණ්ඩාර මැණිකේගේ දේහය බලාගැනීම සඳහා ඉඩකඩ සැළසිණි. තාරුකාගේ සහ සමන්තීගේ ඉකිබිඳීම් අතරතුර දේහය සොහොන් බිමට රැඟෙන යෑමට සූදානම් කෙරිණි. ශාරික සහ කාලිංග දෙණෙහි ඉදිරිපසින් එය කර තබා ගත්තෝය. තාරුකා, සමන්තී සහ කවිරූ , හීන්බණ්ඩාර මැණිකේ සහ ඉස්කෝලෙ මැණිකේද දෙණ පසුපස ඇදෙන්නට වූහ. ගිරාතලාන වැව් බැම්ම මතින් අවමඟුල් පෙරහැර ගමන් කරන්නට වූහ. වැව් තාවුල්ලට උඩින් සැස්සේරුව කන්ද විනිවිඳ රත් පැහැයෙන් මලහිරු සැඟව යමින් තිබිණි. ගල්කිරියාගම කඳු පන්තියට එහායින් මන්දාරම එබිකම් කරන්නට ගත්හ. හීන් පොද වැස්ස ක්‍රමයෙන් ධාරාණිපාත වරුෂාවක් වී අවමඟුල් පෙරහර වසා පැතිරෙන්නට වූහ. සිය මවගේ දෙණට පිටුපසින් වැටී හුන් සමන්තී වරුෂාවෙන් සිය පුතු සඟවාගන්නට ඔහු ඇඟට මුවා කරගත්තාය. අකුණක් පිපිරී ගියේ ගිරාතලාන වැව් දිය මත ආලෝක ධාරා අඳිමිනි.

“අප්පච්චී…”

අවමඟුල් පෙරහරම ආපසු හැරෙන්නට තරං කුඩ කවිරුගේ ඒ හඬ වේගවත් වූවේය. සමන්තීට පිටුපසින් තෙතබරියං වූ ඇඳුමෙන් යුතුව සිටගෙන සිටියේ ලක්මාල් ය. කවිරූ සමන්තී අතහැර ලක්මාල් වෙතට පැන්නේ කිසිවෙකුට සිතා ගැනීමට තරම්වත් ඉඩකඩක් නොදෙමිනි. ලක්මාල් කවිරූව එක් අතෙකින් ඔසවා ගන්නවාත් සමඟම ක්ලාන්ත වූ සමන්තී ඔහුගේ අනෙක් උරය මතට ඇද වැටුණාය.

]]>
Mandaramen Eha – 39 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-39/ Fri, 06 Oct 2023 07:08:28 +0000 https://thulanatv.lk/?p=2675 Mandaramen Eha – තාරුකා සිය කාර්‍යාල කාමරයට පැමිණෙන විටත් ලක්මාල් පැමිණ සිටියේ නැත. ඇ‍යට පුදුම සිතෙන්නේ මෙවන් වගකීම් සහගත ව්‍යාපාර කාර්‍යයක් වෙනුවෙන් ඔහුගේ ඇති උදාසීන ගතිය කෙරෙහිය. හමුදා සේවය පිළිබඳව තම සොහොයුරියගේ සැමියා වූ වසන්ත එකළ පවසන බැරෑරුම් සංවාදයන්ට ඇයද සිය වැඩිමහල් සොහොයුරිය සමඟ එක්ව තිබේ. එවන් කටුක සහ වගකීම් සහගත රැකියාවක ලක්මාල් කෙසේ නිරත වූයේද යන පැනය තාරුකා තමන්ගෙන්ම අසා ගන්නා අවස්ථා තිබෙන්නීය. විටෙක ඇය ශාරික හා ලක්මාල් සංසන්දනය කර බලන්නට පවා පෙළඹෙයි. දෙදෙනාම ක්‍රියාශීලී බව අතින් ඇත්තේ සමාන තැනෙක බව ඇය සිතන්නීය. තීරණ ගැනීමේදී දක්වන ඇල්මැරුණු ස්වභාවය මෙන්ම ළඳ බොලඳ හැඟීම් වුවද තරාදියක දමා කිරා මැන බලන්නේනම්, එක සමාන වීමේ සම්භාවිතාව වැඩිය. හදිසියේම කාර්‍යාල කාමරයට ඇතුළු වූයේ සුදු මහත්තයාය. ඔහුගේ හදිසි පැමිණීමෙන් තිගැස්සී ගිය තාරුකා වහා පුටුවෙන් නැඟී සිටියාය.

“සොරි වෙන්ඩෝනෙ නංගී…අපේ මලයට ප්‍රයිවට් සෙකර්ටි කෙනෙක් ඉන්න බව මට අමතක වුණානේ..”

සුදු මහත්තයා කීයේ තාරුකාගේ හිසේ සිට පාදාන්තය දක්වා මනමාළ බැල්මක් හෙලමිනි.

“ලක්මාල් අයි..මේ…ඒ..මහත්තයා.. තාම ආවේ නෑ සර්..”

“ඔය සෑර්,බෑර් කෑලී ඕනැන්නෑ නංගීඊඊ…අපේ එකාට වගේ මටත් අයිය කියලම කියන්ඩ..මට ඉතිං හැමෝම කියන්නෙ සුදු මහත්තයා කියලනෙ.. ඔයාට ඕනේනම් මහත්තයා කෑල්ල හලලා සුදූ කියන්නත් පුළුවන්..”

සුදු මහත්තයා වේගයෙන් සිනාසුනද, තාරුකාගේ වත අඳුරු වනුද නිරීක්ෂණය කළාය.

“සීරියස් ගන්ඩෙපා අනේ..මං විහිළුවක් කරේ..ඉන්න ටික කාලේ ලේ පිරිසිදුව තියාගන්නත් එපායැ නැද්ද මං අහන්නෙ…”

කියාගෙනම ගොස් ඔහු ලක්මාල්ගේ පුටුවෙහි වාඩි වූයේය. තාරුකා තවමත් ඇත්තේ සිටගත්වනමය.

“වාඩිවෙන්න ළමයෝ…මොකෝ ඔච්චර ලැජ්ජාව..හරියට මං ඔයාගේ ගම ගෙදර බලන්ඩාවා වගේ..”

තාරුකා සෙමෙන් සිය පුටුවට බර වූවාය.

“මොකක්ද නංගිගෙ නම කීවේ..”

“තා..රු..කා…”

“හ්ම්ම්ම්…තාරුකාවක්ම තමා දිස්නෙට ඉන්නවා…”

“මහත්තයට කෝල් එකක් දීලා බැලුවනං හරි සර්..”

“වැඩක් නෑ නංගී..ඔහෙ ආපුදෙන්..ඔයයි,මායී මීට කලිං හම්බෙලා තියනවා ඔයාට මතක නැද්ද..”

“නෑ…නේ..”

“ගිරාතලාන වැව් බැම්මෙදි අර..දවසක් ශාරිකත් එක්ක හිටියෙ ඔයානේ..”

මෙතෙක් නොසැළකිල්ලෙන් සුදු මහත්තයාට උත්තර දෙමින් හුන් තාරුකා, එය ඇසෙත්ම වුවමනාවෙන් ඔහුගේ මුහුණ දෙස බැලුවාය.

“එතකොට මේ ශාරිකයියගෙ..”

“බොස්..එයාලා කියන්නෙ එහෙමනෙ..එයාලා කීවේ ශාරිකයි..මාධවියි..”

“අනේ..මං ඒක දැනගෙන හිටියෙ නෑ සර්..”

“ඒකට මොනා වෙනවද අනේඒ..අපිට බැරියැ ඉතිං නිවාඩු පාඩුවෙ දැන කියාගන්ඩ..”

සුදු මහත්තයා කීයේ යටැසින් තාරුකා දෙස බලාගෙනය. ඒ බැල්ම මඟහරිනු වස් ඇය මේසය මත තිබූ ෆයිල් අතරට දෑස් එබුවාය.

“ඔයාටත් මහත්තයා එක්ක එකම තැන වැඩ කරන්ඩෝනෙනම් මට කියන්ඩ නංගි…මං ඔයාව මගේ තැනට ගන්නං..”

“මහත්තයා කීවේ..”

“ශාරිකට ළමයෝ….එයානෙ ඔයා බැඳලා ඉන්නේ නේද..”

“අපි තාම බැඳලා නෑ සර්…”

“බැඳලා නෑ….අර දරුවා කාගෙද…”

“මොන දරුවද සර්…”

තාරුකා කුහුලෙන් එසේ අසද්දීම, සින්නා කාමරයට කඩා වැදුණේ හති දමාගෙනය.

“මුදළාලී මාතියාගෙ කාරෙක තමා ආවා ලොකු මාතියා…”

කියූ සැනෙන්ම ආපසු හැරුණු සින්නා පහළට දිව ගියේය. සුදු මහත්තයාද එසැණින් නැඟිට ළහි ළහියේ කාමරයෙන් ඉවතට ඇදී යන දෙස තාරුකා අන්දමන්දව බලා උන්නාය. සිරිවර්ධන මුදළාලී තරමක් නොසන්සුන් බවකින්, සිරිවර්ධන ෆැන්සි හවුස් ඉදිරිපිට කාරය තුළට වී සිටියේ කිසිවෙකු අපේක්ෂාවෙන් මෙනි. ඒ අතරම යමෙකු සිය කාරයේ වීදුරුවට තට්ටු කරනු ඇසුණෙන් එදෙස හැරී බැලීය. පන් බෑගයක් දෙකට නවාගෙන කිහිල්ලේ ගසාගත් ලොකු බණ්ඩාරමැණිකේ කාරයේ වීදුරුවට තට්ටු කරමින් සිටියාය. “මොන කරදරයක්ද” යන හැඟීමෙන් යුතුව සිරිවර්ධන මුදළාලී වීදුරුව පහත් කළේ නොසැළකිල්ලෙනි. ලොකු බණ්ඩාරමැණිකේ සිරිවර්ධන මුදළාලිගේ මුහුණ හොඳින් බැලුවාය. මොහොතකින් ඈ ගල් ගැසී ගියාය. මුළු ඇඟම අප්‍රාණිකව ගිය ලොකු බංඩාරමැණිකේ වෙඩි උණ්ඩයක් ශරීරගත වූවාක් මෙන් බිම ඇද වැටුණාය.

සරලා කැලේගම වලව්වේ සිට බුදුරුවකන්ද හන්දිය දෙසට ගුරු පාරේ ඇවිද එමින් සිටියාය. තාරුකා දැන් රැකියාවෙහි නිරත වන්නේ ගල්ගමුවේ බව, සරලා දැනගත්තේ කාලිංගගේ මාර්ගයෙනි. මාස දෙකකට ආසන්න කාලයක් කැලේගම වලව්වේම කොටු වී සිට ඇයට දැන් තරමක් වෙහෙසය. එබැවින් සරලා කැලේගම නැන්දාගෙන් තාරුකා මුණගැසී ඒමට අවසර ඉල්ලා සිටියේ ඊට කිසිසේත්ම එකඟ වෙතැයි බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඇයව පුදුමයට පත් කරමින් සිය නැන්දණිය කීයේ “එහෙනං පරෙස්සමට ගිහිං එන්න පුතේ” කියා පමණි. තමා යන මාර්ගයේ පසෙක දැක පුරුදු කාරයක් නවතා තිබෙනු දැක සරලා සිය ගමනේ වේගය මඳක් බාල කළාය. එය ලක්මාල්ගේ මිතුරා වූ අදීෂගේ බව හඳුනාගන්නට සරලාට එතරම් අපහසු වූයේ නැත. ඉස්කෝලෙ නැන්දාගේ අවවාද එකින්,එක ඇගේ සිහියට නැඟ එන්නට වූවාය. ඇගේ විශ්වාසය බිඳෙන කිසිවකට ඉඩ නොදෙන්නෙමියි තරයේ සිතට ගත් සරලා, කාරය පසුකොට ගියේ නිකමටවත් එදෙස නොබලාය.

“නංගී…”

ඒ ඇමතුම සරලාට හුරුය. පිටුපස හැරී නොබැලුවද ඈ සිය ගමනේ වේගය මඳක් අඩු කළාය. කිසිවෙකු තමා පසුපසින් ඇවිද එන හඬ ඇයට හොඳින් ඇසුණාය.

“මෙහෙම මඟ රැකඟෙන ඉදලා වදයක් වෙනවට මුකුත් හිතන්නෙපා නංගී…”

කියාගෙන සරලා ඉදිරියෙන් සිටගත්තේ ලක්මාල් ය.

“මං හිතුවෙ අයියේ..”

“ඔයගේ වාත යාළුව කියලා නේද..”

කියමින් අදීෂද ඔවුන් අතරට එක් වූයේය.

“ඔයා මේ කොහෙහරි යන ගමන්ද..”

“නැතුව උඔ හිතුවද එයා මේ ගම හරහා දුවන්ඩ පුරුදු වෙනවා කියලා…”

“අදීෂයා මං උඔට කීවා….”

“ගොනා සහ තණකොල සේ හිටපං කියලා..මේ ඩිංගට ඒක අමතක වුණානේ බොක්ක..හරි..හරී.. සොරීඊ…”

අදීෂ අතින් කට වසාගත්තේ එසේ කියමිනි.

“අයියේ…මේක මං දන්න කියන ගමක් නෙමේ..අනික මෙහෙම පාරේ..”

“මං ඕක කීවා උඔට කලිංම…ගිහිල්ලා දෙන්නත් එක්ක කාරෙකට නැග්ගනං…”

අදීෂ අතරමඟදී කතාව නතර කරගත්තේ, ලක්මාල් තමන් දෙස රවාගෙන සිටිනු දැකීමෙනි.

“අනේ මචං..පිංසිද්ධ වෙයි උඔට..පොඩ්ඩක් කට පියාගෙන හිටපංකෝ….”

සිය දෑතම ඔසවා, හිසද පහත් කොට අභිනයෙන් සමාව අයැද සිටි අදීෂ සිය කාරය වෙතට සෙමෙන් ඇවිද යද්දී, ධූලී වලාවක් නංවමින් පැමිණි කාලිංගගේ නවීන යතුරුපැදිය, ඔවුන් අසළ වේගයෙන් තිරිංග තද කර නැවැත්වීය. එය දුටු සරලාගේ සර්වාංගයම ගැහෙන්නට වූවාය. අදීෂ කාරය වෙතට ගිය දුර නැවත හැරී ආයේ කුකුසෙනි.

“කාලිංගයියා….”

“උඔ මේ ජැන්ඩි පහට ඇඳගෙන කොහෙද නඩලමේ යන්නේ..”

“ආ..මේ කාලිදාසයි…” ලක්මාල් යමක් කියන්නට සැරසුණේය.

“මං මේ මහත්තයට පයින්ඩයක් ඇන්න ආවේ…”

“කවුද බං මේ…මොකක්ද වෙන්ඩෝනෙ කියලා අහපං..”

අදීෂ ලක්මාල් වෙතට ආයේ තරමක් ආවේගයෙන් කාලිංග පෙන්වා අසමිනි.

“වෙන්ඩෝනෙ තමුන්ගෙ යාළුවත් ඇන්න ඉක්මනින් ඉස්පිරිතාලෙට යන එක..මොකද ,මෙයැයිගෙ පප්පා පපුවෙ අමාරුවක් හැදිලා බරපතල වෙලා ඉස්පිරිතාලෙ ගිහිං දැම්මය කියලා මට ටැලිෆෝං කෝල් එකක් ආවා…”

ලක්මාල් වහා අදීෂවද ඇදගෙන ගොස් කාරයට නැඟ ගත්තේය.

“උඔත් නැඟහං අපිට ඉතිං තාම තියෙන්නෙ රෝද දෙක තමා…පස්සෙ ඉතිං හතරක් කොරගන්ඩ බැරියැ…”

කාලිංග සරලාට පවසද්දීම ලක්මාල් රැගත් අදීෂගේ කාරය එතැනින් පිටව ගියේය.

“මං මේ ගල්ගමු යන්ඩ කියලා ආවේ කාලිංගයියේ..”

“ඒ මොන ලබ්බකටද..”

“තාරුකක්කා බලන්ඩ..”

“ඒකී අද වැඩටාවේ නෑ…”

“ඇයි…”

“උඔ මේකට නඟිනවද නැත්තං මං උස්සලා තියන්ඩද..”

ඇය කාලිංගගේ හැටි හොඳින් දනී. නන්නාඳුනන ගමක, මහමඟ ඔහු සමඟ පැටලෙන්නට නොයා යුතුයැයි ඇය සිතුවාය.

“අයියා එහෙනම් ආ ගමන යන්ඩ..මට මේ ටික පයින් යතෑකී..”

කාලිංග යතුරුපැදියෙන් බසින්නට සැරසුණේ කෝපයෙනි.

“හරි..හරී බහින්නෙහෙම නෑ…යං..වදකාර මෝඩ මස්සිනා…”

සරලා කාලිංගගේ පිටට අත්ලෙන් පහර දෙමින් යතුරුපැදියට ගොඩ වූවාය. සිය සුපුරුදු “හැක්..හැක්..”සිනහව සමඟින් සරලාද කැටුව කාලිංගගේ යතුරුපැදිය කැලේගම වලව්ව දෙසට ඉගිළ ගියේය.

සිරිවර්ධන මුදළාලී පෞද්ගලික රෝහලක ගිලන් යහනක් මත සතපවා සිටියි. ඔහු යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිනා බවක් පෙනෙන්නට නැත. වෛද්‍යවරයෙකු ඔහුව පරීක්ෂා කරමින් සිටිනු දක්නට ලැබේ. සුදු මහත්තයා ඔහුගේ ඇඳ අසළ නොසන්සුන් බවකින් එහා, මෙහා ඇවිදිමින් සිටියි. ලක්මාල් සහ අදීෂ එක්වරම වාට්ටුවට ඇතුල් වූවෝය.

“කොහෙද මනුස්සයෝ ෆෝන් එකත් ඕෆ් කරගෙන..”

සුදු මහත්තයා ලක්මාල්ගේ ඇඟට කඩා පනින්නට සැරසුනද, හෙදියක දෙතොල් මත ඇඟිල්ලක් තබා ඔහුට නිහඩ වන ලෙස කීයේ “ෂ්ෂ්ෂ්….” යනුවෙන් ශබ්දයක්ද නංවමිනි. සිරිවර්ධන මුදළාලී සෙමෙන් ඇස් හැර තම වටපිටාව බලන්නට වූයේ ඒ මොහොතෙහිමය. ලක්මාල්ගේ සහ සුදු මහත්තයාගේ ජායාවන් ඔහුගේ නෙත ගැටෙන්නට ඇත. සිරිවර්ධන මුදළාලි මුවින් අපැහැදිලි හඬක් නැංවූයේය.

“අම්ම්…මා…ම්ම්ම්.. අම්ම්….මා..ආ…”

වෛද්‍යවරයා පහළට නැවී ඔහුට ඇහුම්කන් දීමට උත්සාහ කළද, ඉන් පසුව සිරිවර්ධන මුදළාලී තොල් සෙලවූවා මිස ඔහුගේ මුවින් හඬක් නැඟුණේ නැත.

“නර්ස්..මේ ඉන්ජෙක්ෂන් එක දෙන්න..පේෂන්ට පොඩ්ඩක් විවේකය ඕනෑ…කරුණාකාරලා අනිත් අය පොඩ්ඩක් එළියෙන් ඉන්නවද..”

ඉහපත් වාර්ථාවේ යමක් සටහන් කොට හෙදියට දුන් වෛද්‍යවරයා සුදු මහත්තයා දෙසට හැරිණි.

“ඔයාද ලෙඩාගේ බාරකාරයා…”

“ඔව් ඩොක්ටර්…”

“පොඩ්ඩක් යමු මාත් එක්ක..” සුදු මහත්තයා වෛද්‍යවරයා පසුපස වැටුණේය.

“ඔය දෙන්නත් පොඩ්ඩක් එළියෙන් ඉන්නවද?..උවමනාවක් වුණොත් මං කතා කරන්නම්..”

හෙදිය කීයේ ලක්මාල්ට සහ අදීෂටය. වාට්ටුවෙන් එළියට ආ ඔවුන් දෙදෙනාට වෛද්‍යවරයා සමඟ කතාකරමින් කොරිඩෝවේ ඉදිරියට ඇදෙන සුදු මහත්තයා දක්නට ලැබිණි.

“තාත්තට මොකද වුණේ කියලා දැක්කද ඔයා…”

වෛද්‍යවරයා එසේ ඇසූයේ සිය කාර්‍යාල කාමරයේ පුටුවක් දක්වා සුදු මහත්තයාට වාඩි වන ලෙස සන් කරමිනි.

“මං පහළට එනකොට පප්පා පපුව අතගගා කෙඳිරි ගානවා විතරයි මං දැක්කේ ඩොක්ටර්..”

“එයාට ලොකු ෂොක් එකක් ඇවිල්ලා තියනවා…ඒ කියන්නෙ නිකං මොකක් හරි දේකට එකපාරටම බයවෙලා වගේ…මොනාහරි එහෙම සිද්ධියක් වුණා මතකද ඒ වෙලාවේ..”

“කවුදෝ වයසක ගෑණු කෙනෙක් කට්ටියක් උස්සාගෙන යනවනම් දැක්කා…මං හිතන්නෙ ඇක්සිඩන්ට් එකක්..ඒ පැත්ත පෙන්න,පෙන්නා මොනාද කියන්න හැදුවා….ඒත් මට මොනවත් පැහැදිලිව ඇහුණේ නෑ…පප්පව මං එහෙමම හොස්පිට්ල් ගෙනාවා ඩොක්ටර්..”

“මිසිස් සිරිවර්ධන ගෙදරද..මං..මේ..ඇහුවෙ ඔයාගේ අම්මා ගැන..”

සුදු මහත්තයාගේ මුහුණ එකවරම මළානික වී යනු වෛද්‍යවරයා නිරීක්ෂණයට කළේය.

“පර්සනල් දේවල් ඇහුවට මොකුත් හිතන්නෙපා…මට තාත්තගෙ ඇටෑක් එකේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ නිසයි අහන්නෙ මිස්ටර්..”

“අපේ අම්මා ජීවතුන් අතර නෑ ඩොක්ටර්…”

වෛද්‍යවරයා හුනස්නෙන් නැඟිට සුදු මහත්තයා අසළට පැමිණ, ඔහුගේ උරහිසට තට්ටුවක් දමමින් කතා කළේය.

“වැඩිය හිතන්නෙපා…තාත්තට ඉක්මනින් සනීප වෙයි. අපි ඉන්නවනෙ..ඔයා නියම වෙලාවට එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියනවා…එයාට පොඩි ට්‍රීට්මන්ට් ටිකක් කරන්න ඕනේ..ඒ නිසා දවස් කීපයක් මෙහේ නතර කරන්න වෙයි…”

සුදු මහත්තයා හිස වනමින් නැඟී සිටියේය. වෛද්‍යවරයාගේ කාමරයෙන් එළියට පැමිණෙත්ම, ඒ අසළ ගැවසෙමින් සිටි ලක්මාල් දුටු සුදු මහත්තයා,

“මල්ලීඊඊ..”

කියා කෑගසාගෙන ගොස් ලක්මාල්ව වැළඳගත්තේය. කිසිවක් අදහාගන්නට නොහැකි වූ ලක්මාල් භීතියෙන් යුතුව සිය සොහොයුරා වැළඳගෙනම සිටියේය.

]]>
Mandaramen Eha – 38 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-38/ Wed, 04 Oct 2023 11:13:54 +0000 https://thulanatv.lk/?p=2666 Mandaramen Eha – ගිරාතලාන වැවෙහි පිටවාන ආසන්නයේ පිහිටි කඩය අසළ එළිමහන් බංකුවේ ගැමියන් කිහිප දෙනෙකු හිඳගෙන සිටී. තේ පිරවු අශෝකා වීදුරු දෙකක් අතැතිව වහ,වහා බංකුව අසළට පැමිණි කුලතුංග මුදළාලි, එය බංකුව කොනක තබා උණුසුම් වූ සිය ඇඟිලි තුඩු කර ලේන්සුවෙන් පිරිමදිමින් කතා කළේය.

“ඈ.. බං කොල්ලනේ… කාලයක් කිසිම හාවක්,හූවක් නැතුව හිටපු කාලියා ආයේම මහ කමතෙ වගා ළිඳට අතගහලය කියන්නෙ ඇත්තද බොලව්..”

“ඇත්ත නේන්නං කුලේ මාමා…උඔ අදදෑ දන්නේ…”

නිතර කඩයේ ගැවසෙන තරුණ කොළු ගැටයෙකු වූ මහතුන් ඇසූයේ කුලතුංග මුදළාලිගෙනි.

“මූට එකපාරටම හතරමහ නිධානෙ පහල වුණාද බොලව්..”

“බලන්ඩෙපායැ එතන ගුණේ බාසා ගජරාමෙට වැඩ.ගල් වෙඩි දලා කලු ගල කඩලා.. වතුර පොම්ප ගෙනහල්ලා බට ඇදලා කරලා…ළිඳේ බැම්ම මෝඩ ගලෙන් බැඳලා.. හරියට මහවැලිය ආපු කාලේ වගේ…”

“පංකාදු උපහැරණේ..අඩේ බොල මහතුවෝ…කියාපිය බලන්ඩ..මහවැලිය එනකොට තෝ අම්මයෙ බඩේවත් හිටියද..”

මුදළාලි ඇසූයේ කොක් හඬලා සිනාසෙමින් අසළ සිටියෙකුගේ පිටටද පහරක් ගසමිනි. මහතුන්ගේ වත ලැජ්ජාවෙන් අඳුරුව ගියේය.

“ඕං එනවා විස්තරේ ටක්කෙටම ගන්ඩ පුළුවන් එකා…”

ගැමියෙකු කීයේ වැව් බැම්ම දිගේ කඩය දෙසට පැමිණෙන ජිල්බුව පෙන්වමිනි. කුලතුංග මුදළාලි කඩය ඇතුළට ගියේ ඒ දෙස බලමිනි. ජිල්බු කඩයට පැමිණියේ බංකුව මත හිඳගෙන සිටි කිසිවෙකු මායිම් නොකරය. ගැමියන් එකිනෙකාගේ මුහුණු දෙස බලමින් කසු,කුසු ගාන්නට වූහ.

“කුලේ මාමා..මට කේක් පෙට්ටියක් දියංකෝ…”

එල්ලා තිබූ කෙසෙල් කැන අසලට ගොස්, ජිල්බූ එය එහාට, මෙහාට කරකා බැලුවේය.

“කොයි වෙලේ බැලුවත් මේ රබර් කෙහෙල් කැනක් එල්ලගෙන ඉන්නවා…එල්ලපංකෝ මේකේ ඔය ඇම්බුං, ආනමාලු වගේ ජේත්තු කැනක් කුලේ මාමා…”

“අප්පද බොල..පොතට හුළං විස්කෝතු අරං ගිය බත් බැලයගෙ කටේ සවුදම බලාපියව්කෝ…” කුලේ මුදළාලී කඩයෙන් එළියට බැස්සේය.

“කාටද උඔ බත් බැලයා කීවේ මටද කුලේ මාමා…” ජිල්බුද කට ගසමින් කුලේ මුදළාලි ඉදිරියේ සිටගත්තේය.

“තොට නේන්නං බොල වෙන මොකාටද..තෝ කවදාවත් හම්බ කරලා කාපු එකෙක්ද බොල පිං බත් ගිල්ලා මිසක..”

ජිල්බූ තමන්ගේ සරම් ඉණෙහි ගැටගසා සිටි නෝට්ටු කිහිපයක් ඇද සියල්ලටම පෙනෙන්ට එකින් එක දිගහරින්නට වූයේය. ගැමියන්ගේ මෙන්ම කුලේ මුදළාලිගේ මුහුණද කුහුලෙන් ඇද වෙන්නට වූහ.

“මේං මේවා තමා මං හම්බ කොරපුවා…”

ජිල්බූ නෝට්ටු කිහිපය මුදළාලිගේ මුහුණ අසළින් දෙපසට වනමින් “සට..සට..” හඬක් නැංවූයේය.

“අඩේහ්…අපේ ජිල්බුවාට හරි ගිහිල්ලා නොවැ බොලව්..මොනාද කොල්ලෝ උඔ ගෙනියන්ඩ ආවා කීවේ..”

මුදළාලි ඇසූයේ ව්‍යාජ කරුණාවක් උපදවා ගනිමිනි.

“මං ඉස්සෙල්ලත් ඇහුවෙ..කේක් තියනවද..කේක්..”

“මේ ගමේ කොහෙන්දෑ බොල කේක් කන එවුං..”

“එතකොට ඇම්බුං..ආනමාලු…”

“මේ තියෙන්නෙ බොල යස සීනි කෙහෙල් කැනක්..එතකොට උදේ දාපු වණ්ඩු ආප්පත් තියනවා…”

ගුණේ මුදළාලී කියවමින් සිටියදී අඩියෙන්,අඩිය පිටුපසට ගිය ජිල්බු, වෑකන්දේ මඟක් උඩට නැඟ ගත්තේය.

“වණ්ඩු ආප්පේ තියලා උඔ ඒක උඩ ඉඳගනිං කුලේ මාමා…”

කුලේ මුදළාලි ඉදිරියට එත්ම ජිල්බූ ඉතිරි ටිකද වෑකන්දේ මුදුනට නැංඟේය.

“දවසක උඔගෙ ඔය කුණ්ඩවාලේ හුළඟට ගහගෙන ගිහිං ආං අර පොල්වත්තට පතබැවෙන්ඩෝනේ වට්ටක්කා බඩා…”

“ඔහෙ හිටු නොසන්ඩාලයා මං තොට..”

කුලතුංග මුදළාලී වටපිට බැලූයේ ජිල්බූට දමා ගසන්නට යමක් සොයා ගන්නටය.

“අඩේ මහතුවා…තොපිත් ඔය කුම්මැහියගෙ අගුවෙ බංකු රත්කර,කර ඉන්නැතුව, වරෙව් අපිත් එක්ක එක්කහු වෙලා පනං හතරක් හොයාගන්ඩ..”

ජිල්බූ ගැමියන්ට එසේ හඬ නඟා කියද්දීම, කුලතුංග මුදළාලි ගඩොල් භාගයක් ගෙන ඔහුට දමා ගැසුවේය. ජිල්බූ එය මඟහැර හූවක් තබා, සරම උස්සා සිය පශ්චාත් භාගය මුදළාලීට දක්වා වැව් බැම්මේ ඉදිරියට දිව ගියේය.

සමන්තී සිය බාගෙට ඉදිකළ නිවසේ ඇතුළත ඇවිදිමින් සිටියාය. ඇය එදා සිට මේ ඇවිදීම අතරතුර විඳින අතීත මතකයට ආසා කළාය. වසන්ත ගැන තොරතුරක් නොවූදා සිට, ඈ කළේ ඔහුගේ හමුදා සේවය අතරතුර ඉදිකිරීම ඇරඹූ, පසුව අතරමඟ නැවතුණු තම නිවස තුළ ඇවිදිමින් ඔහුගේ මතකය හා සැරිසැරීමය. යතුරුපැදියක් කඩුල්ල අසළ නතර වූයෙන් ඈ ඒ වෙත අවධානය යොමු කළේ, එය තමන්ට හුරුපුරුදු හඬක් නොවන බැවිනි. කඩුල්ල අසළ නතරවූ නවීන පන්නයේ යතුරුපැදියේ සිටියේ කාලිංගය. ඔහුට තිබුණේ මේට් ෆිෆ්ටි වර්ගයේ පැරණි යතුරුපැදියකි. හදිසියේම ඔහු පැද ආ නවීන පන්නයේ යතුරුපැදිය දැක, සමන්තී කුහුලෙන් යුතුව කාලිංග එන පෙරමඟට ගියාය.

“කාගෙදයියේ මේ බයික්කෙක…” සමන්තී ඇසූයේ පුදුමයෙනි.

“එකක් ගත්තා බං..හොරකං කරේ නෑ…”

සුපුරුදු “හැක්..හැක්..” හිනාව දමමින් කාලිංග සිය නවීන යතුරුපැදිය උද්‍යෝගයෙන් අත,පත ගෑවේය.

“හදිසියේම ඕක ගන්ඩ…”

“දැන් උඔ මෙතන ගොඩ පෙරකදෝරුකම් කරන්ඩ ආවද…”

කාලිංගගේ උස් හඬට සමන්තී කරබා ගත්තාය. කාලිංග ඈ සමීපයට ආවේය.

“අර හුචක්කුව යන,යන තැන නවතිනවනෙ බං…මුදළාලී ඇප වෙලා ගෙවන්ඩ බයික්කෙකක් ඇරං දුන්නා…”

“බංඩාර මුත්තගෙ පිහිටයි අයියේ..”

සිය වැඩිමහල් නැඟණියගේ ඒ පැතුම නැඟ ආයේ හද පත්ලෙන් බව කාලිංග දැන සිටියේය. ඔහු සමන්තීට වඩාත් සමීපව ඇගේ හිස පිරිමදින්නට ගත්තේය.

“අපිට ඔය වෙන කාගෙවත් පිහිටක් ඕනැන්නෑ නංගියේ…අපි තුන් හතරදෙනාගේ පිහිට එක, එකාට තිබ්බම ඇති..යුතුකම්,වගකීම් කියලා ජාතියක් තියේනම් මට එව්වා ඉෂ්ඨ,සිද්ධ කොරන්ඩ ඉන්නෙත් උඔලා දෙන්නයි,අම්මයි අර කොල්ලයි විතරයි…”

“බණ්ඩාර මුත්තා පල්ල..මං අයියගෙ වචනෙට පිටිං යන්නෑ අයියේ…” සමන්තීගේ හඬ මඟදී බිඳී බර වූවාය.

“මට ඕනේ එච්චරයි බං..ඉස්සෙල්ලාම අපි මේ ගේ පොඩ්ඩ හදාගෙන ඉමු…ඊට පස්සෙ මං උඔගෙ පරණ ගේ කෑල්ල ගන්නවා ස්ටෝරු කාඹරේකට..”

“මං මොනාද කරන්ඩෝනෙ අයියේ..”

“අංක එක ගේ හදන වැඩේ…උදව්වට ජිල්බුවා ඉන්නවනෙ..ඊට පස්සෙ අපිට තියනවා අපේම කියලා ව්‍යාපාරයක් පටං ගන්ඩ..”

“අයියා කොහොමද මේ හැමදේටම…”

“සල්ලි හොයාගන්නෙ කියනෙකනෙ උඔගෙ ප්‍රශ්නෙ..මං මේ හැමදේම කරන්නෙ ඔලුව පාවිච්චි කරලා…මංකොල්ල කාලා, මිනීමරලා නෙවේ..දැනට ඒ ටික දැනගත්තාම ඇති..”

ජිල්බූ සමන්තිගේ ගේ ඉදිරියෙන් යන්නට ගොස් කාලිංගව දැක ඉද්ද ගැසුවාක් මෙන් එකවර නතර වූයේය. අනතුරුව අඩියෙන්,අඩිය පිටුපසට යන්නට වූයේය. කාලිංග එය දුටුවේය.

“ඒයීඊඊ…මෙහාට වර..”

“බංඩාර..මුත්තේඒඒ..අදනං මං කනවා කෑමක්…”

ජිල්බූ තමන්ටම මුමුණා ගනිමින් කාලිංග වෙතට ඇවිද ආයේය.

“මං තොට උදේ යද්දි කියලා ගියේ මොකද්ද..”

“මහ කමතට වෙලා ඉන්ඩය කියලනෙ කාලිංගයියා…”

“දැන් තෝ ඔය ඒකද කොරන්නෙ බොල..”

“කුලයට දාපු කෝචොක් මට පත්තු වෙන්ඩ වගේ යන්නේඒඒඒ…” ජිල්බූ තමාටම මුමුණා ගත්තේය.

“මොනාද තෝ තනියෙන් මුණු,මුණු ගාන්නේ..”

කාලිංග ජිල්බුගේ කණ මිරිකා අල්ලා ගත්තේය. ඔහු කට ඇද කරමින් කතා කළේය.

“ගුණේ බාසගෙ සැට් එකට තේ වතුර බොන්ඩ අඩුම,කුඩුම ටික ගේන්ඩ කුලෙයගෙ කඩේට ගියේ කාලිංගයියේ..ඌ මටයි,ඔයාටයි නක්කලේ දාං ආවා …ඉතිං මං ඌට රම්පෙට පොරි හැලෙන්ඩ දීලයි මේ එන්නේඒඒ…”

ජිල්බුගේ කියවිල්ලට සමන්තීටද සිනහ නැඟුණාය.

“ඕං ඔය අසරණයා අතාරින්ඩ අයියේ…කෙරෙන්ඩ දෙයක් තියේනම් මං බලලා කරන්නං..අයියා ආ ගමන යන්ඩකෝ….”

කාලිංග ජිල්බුව අතහැර යතුරුපැදියට නැඟ පිටව ගියේය. කට ඇද කරමින් කණ අතගාන ජිල්බූ දෙස සමන්තී අනුකම්පාවෙන් යුතුව බලා සිටියාය.

සරලා කැලේගම වලව්වේ ගේට්ටුව තෙක් සෙමෙන් ඇවිද ගියාය. පවුල් දෙකක් අතර විරසකයකට තමන් ඉත්තෙකු වී ඇත්දැයි ඇයට සිතිණි. කැලේගම නැන්දා කියූ සමහර තැන් තවමත් ඇයට අපැහැදිලිය. එහෙත් සිය මව සහ සහෝදරයා තමන්ට වඩා යමක් දන්නේයැයි ඇයට හැඟිණි. එසේ නොවන්නේනම් කොන්දේසි විරහිතව ඔවුන් තමා මෙහි දමා යන්නට ඉඩක් නැත.

“පුතේ..”

සරලා වහා පිටුපස හැරුණේ, සිය නැන්දණියගේ හඬ හඳුනාගත් බැවිනි. වෙනදා නොවූ නිවුණු හා තැන්පත් බවක් ඉස්කෝලෙ මැණිකේගේ හඬෙහි වූ බව සරලා හැඳින්නාය.

“අම්මලා එක්ක ගෙදර යන්න බැරිවුණාට පුතා ඉන්නෙ දුකෙන්ද…”

“අනේ නෑ නැන්දම්මේ..මං මේ කම්මැළිකමට නිකං මෙතෙන්ට ආවේ..”

“පුතාට මාසෙට දෙකට දැනෙන ඔය කම්මැළිකම මං ජීවිතෙන් භාගයක් ගෙවලා දැම්මෙ මේ ගේ ඇතුළෙ…”

“නැන්දම්මට කසාදයක් කරගන්ඩ බැරිවුණේ අපේ අප්පච්චි නිසා කියලා දුකයිද..”

“නෑ පුතේ..ඒක දුකක් නෙවේ..මොකක්දෝ හිස් හැඟීමක්..සමහරවෙලාවට මට හිතෙනවා මං බැන්ඳනම් මීටත් වඩා තදට ඒ හිස්කම දැනෙයි කියලා….”

“මට ආසයි නැන්දම්මගෙයි,අපේ අප්පච්චිගෙයි ඒ කාලේ ගැන දැනගන්න..”

“මොනාද පුතාට දැනගන්ඩෝනෙ..”

“අප්පච්ව්යි,අපේ අම්මයි කසාද බැන්ඳ හැටි..ඇයි කිරි අත්තයි,කිරි අම්මයි ඒකට අකමැතිවුණේ වගේ ඒවා…”

“පුතා ඕක කවදාවත් අම්මගෙන් අහලා නැද්ද..”

“නෑ නැන්දම්මේ..”

“ඇයි…ඒ..”

“හේතූවක් නෑ එහෙම උවමනාවක් ආවේ නෑ….”

“එහෙනම් දැන් මගෙන් අහන්ඩ වුවමනා හේතූ මොනාද…”

සිය නැන්දණිය ලෙහෙසියෙන් කිසිවකට හසුකර ගත හැකි ගැහැණියක් නොවන වග සරලා මුල සිටම දැන උන්නාය. ඇත්තෙන්ම ඒ තාර්කික,සෘජු ගැහැණියට ඈ ආසා කළාය. මෙතෙක් කාලයක් ඈ මේ වහලය යට ඉන්නට හේතුවද එයය.

“පුතා මගේ එක්ක ඉන්නේ අකමැත්තෙන් නම්, ගෙදර බල කිරීමටනම්, ඔයාට පුළුවන් හෙට වුණත් මෙහෙන් යන්න..”

“අනේ..ඇයි නැන්දම්මා හැම වෙලේම ඕකම කියන්නේ..”

“මං ඔයාට ආදරේ නිසා පුතේ…ඔයත් මාව මේ වහලෙ යට තනිකරලා දාලා යයි කියලා බය හිතෙන නිසා…”

සරලා වහා පැන සිය නැන්දණිය බදා ගත්තාය. ඉස්කෝලෙ මැණිකේ සරලාගේ හිස සෙනෙහසින් පිරිමැද්දාය.

“මං නපුරු ගෑණියෙක් නෙවේ මයෙ පුතේ…මටත් තිබ්බා ඔයාලට වගේ ගොඩාක් හීන..ඒත් එක මොහොතක ඒ හැම හීනෙන්ම ඇහැරිලා අනුන්ගේ හීන වෙනුවෙන් ජීවත්වෙන්න මට සිද්ධ වුණා….”

“මං නැන්දම්මා එක්ක ඉන්නවා..ඔයා දුක්වෙන්නෙපා….”

“මට ජීවිතේ අහිමිවෙච්චි හැම දෙයක්ම ඔයාට දෙන්ඩෝනෙ පුතේ..මං කවදාහරි මැරෙන්ඩෝනේ ඔයා මේ ගෙදර රැජිණක් වෙලා ඉන්නව දැකලා…”

“මට රජකම් වලට, ඔටුණු වලට හීනයක් නෑ නැන්දම්මේ…ඒත් ඔයා මට අම්මෙක්..කැමතිනම් මං ඔයාට දුවෙක් වෙන්නම්…”

“දුවෙක් කියන්නෙ රැජිණක් තමා පැහිච්ව් අම්මණ්ඩියේ..”

ඉස්කෝලෙ මැණිකේ එසේ කියමින් සරලාගේ නහය මිරිකනු, දුරක සිට එදෙස බලා උන් රිදී නැන්දා දුටුවාය. ඇය පහළට නැවී චීත්ත වාටියෙන් දෑස් පිස දැම්මාය. අදීෂගේ කාරය ගේට්ටුව අසලින් ගමන් කළේ ඒ මොහොතේය.

“අපෙ මැණිකේ..ආං..බඩහැළයා…බඩහැළයා….”

රිදී නැන්දා එසේ කෑගසමින් සරලා සහ ඉස්කෝලෙ මැණිකේ සිටි දෙසට දිව ආවාය.

]]>
Mandaramen Eha – 37 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-37/ Tue, 03 Oct 2023 12:06:47 +0000 https://thulanatv.lk/?p=2660 Mandaramen Eha – සිරිවර්ධන මුදළාලී සාලය හරහා කෑම මේසය වෙතට ඇවිද ආයේය. මේසයට උදෑසන ආහාර වේල එක් කරමින් හුන් මැදිවියේ කාන්තාව, සිරිවර්ධන මුදළාලි දැක එකත්පස්ව සිටගත්තාය. මේසය අසළ කිසිවෙකු නොවූයෙන්, සිරිවර්ධන මුදළාලී තරප්පු පෙළ සිසාරා ඉහළ මාලයට දෑස් යැව්වේය.

“ලොකු මහත්තයා ලේස්ති වෙලා අහවරයි මුදළාලි..පොඩි මහත්තයා සුටුස් ගාලා එන්නංය කීවා….”

මැදිවියේ ගැහැණිය ඒ හේතූ කීයේ සුදු මහත්තයා සහ ලක්මාල් කෑම මේසයට පැමිණීමට ප්‍රමාද වීම වෙනුවෙනි.

“මේ සම්මජ්ජාතියට මුං දෙන්න වෙලාවට,කලාවට නම් වැඩක් කරගන්නෑ…”

සිය අත් ඔරලෝසුව දෙස බලමින් සිරිවර්ධන මුදළාලී මේසයට වාඩිවත්දීම සුදු මහත්තයා තරප්පු පෙළ බැස ආයේය.

“ගුඩ් මෝනිං පප්පේ..”

සිරිවර්ධන මුදළාලිට එසේ කියමින් සුදු මහත්තයා මේසයට වාඩි වූයේය.

“කටට ආවට ඔය සුද්දගෙ ඉංගිරිසි කෑල්ල ඇද බෑවට හරියන්නෑ ලොකු ළමයා…දවසක් සුබ වෙන්ඩ නම් ඒක සකසුරුවමට පටං ගන්ඩෝනෙ..”

සුදු මහත්තයා මුවින් වදනකුදු බිනුයේ නැත. මේසය අසල හුන් ගැහැණිය ඔහුට කෑම බෙදන්නට සැරසුණාය.

“ඔහේ කුස්සියට ගිහිං වැඩක් බලාගන්නවා මැක්කම්මා..එයැයිලා බෙදා,හදාගෙන කාවී..”

ගැහැණිය හිස පහත් කොට එතැනින් පිටව ගියාය. සුදු මහත්තයා කෑම බෙදාගන්නට ගොස්, නැවත සිය පියා දෙස බැලුවේය.

“බෙදාගන්නවා ලොකු ළමයා…එයැයිට ආපු වෙලාවක කාගන්ඩ කියලා..අපිට චාරිත්‍තර, වාරිත්තර රකින්ඩ එයාගේ වෙලාව එනකං කල් මරන්ඩ බෑනේ..”

පප්..පේ..”

කෑම බෙදමින්ම සිරිවර්ධන මුදළාලී සිය වැඩිමහල් පුතු දෙසට ඇස් කැරකුවේය.

“මං.. මේ පප්පගෙන්…”

“පිරිමියෙක් වුණාම තෙපරබාන්නැතුව දෙයක් කෙලිං අහන්න ඉගෙනගන්නවා ලොකු ළමයා…”

“අර ගල්ගමුවෙ කඩේට අරං ඉන්න කොල්ලා ගැන..”

“මොනාද තමුන්ට මිනිහා ගැන දැන කියාගන්ඩ තියෙන්නේ..”

“ඒ කොල්ලා ගල්ගමුවෙ කඩේ වැඩට ගත්තද කියලා පප්පේ..”

සිරිවර්ධන මුදළාලී සුදු මහත්තයා දෙස ක්ෂණික බැල්මක් හෙලීය.

“නෑ…මේ මිනිහා අරහෙ,මෙහෙ කැරකි,කැරකි ඉන්න නිසයි මං ඇහුවෙ..”

“මං තමුං ඇද,කුද නැති කෙලිං මිනිහෙක් හොයලා දෙනකං බලං ඉඳලා බැරිම තැන තමා ඒ මිනිහව හොයාගත්තෙ..හැබැයි මිනිහ මට අපේ ව්‍යාපාරේ නංවන්ඩ බොහොම වටිනා කෙලිං යෝජනා ටිකක් නං දුන්නා ඕං…”

“යෝජනා කිව්වේ පප්පේ…”

“තමුං දන්නවනෙ ලොකු ළමයා… මං යෝජනා ගැන කියව,කියවා ඉන්නෙ නැති ව්ත්තිය..ඉස්සරහට ඒවා ක්‍රියාවට නැංවෙද්දි තමුන්ට පෙනෙන්ඩ ගනීවී…”

ලක්මාල් කෑම මේසය දෙසට ඇවිද එනු දැක සිරිවර්ධන මුදළාලි සිය කතාව නවතා දැමීය.

“තමුන් හමුදා රස්සාව අතෑරලා ආපු එක ගැන දැන්නම් මට ලොකු සැකයක් නෑ පොඩි ළමයා…ඒවයෙ ඔහොම හිතූමතේට වැඩ කරන්ඩ බෑ නෙව නේද..”

“ඊයේ නින්ද යනකොට පාන්දර වුණා පප්පේ..ඒකයි ඇහැරෙන්ඩ පරක්කු වුණේ..”

ලක්මාල් එසේ කීයේ සිය පියාට උත්තරයක් දිය යුතු නිසා මිස, වුවමනාවෙන් නොවේ.

“මං මේ දෙන්නටම කියන්නෙ..ව්‍යාපාර කොරද්දි තප්පරේක පරක්කුවත් ඇති කෝටී,ප්‍රකෝටී පාඩු ලබන්ඩ..ඒ නිසා ඔය විනෝද සාජ්ජ වලට සතියකට එක දවසක් වැය කොරාම හොඳටම ඇති..”

තමා ඊයේ නිවසට පැමිණියේ අළුයම බව සිය පියාට තව දුරටත් රහසක් නොවන බව ලක්මාල් හැඳින්නේය.

“පප්පෙ අර කාලිංග කියන මනුස්සයා අපිත් එක්ක ගල්ගමුවෙ කඩේ වැඩද..”

“එයා ගල්ගමුවෙ කඩේට විතරක් නෙවේ, අපේ මුළු ව්‍යාපාරෙටම වැඩ..ඒ නිසා තමුන් අර ගෑණු ළමයගෙන් ලියකියවිලි වැඩ ටික ලකේට කරගන්න බලනවා…මං මිනිහ ගැන බලාගන්නං..අනික ඒ මිනිහගෙ නම කාලිංග නෙමේ කාලිදාස.”

සුදු මහත්තයාට හිනහවක් නැඟී කෑම ඉස්පොල්ලේ ගියේය.

“තමුන්ට හිනා ගියේ මිනිහගෙ නමටද ලොකු ළමයා…කාලිදාස කියන්නෙ මහා කවියෙක් බව හැබෑව..මිනිහ කවියෙක් තරං කෙරුමෙක් නොවෙන්නැති..ඒත් කරන හැම වැඩකම තමුන්ල දෙන්නටම නැති අමුතු කලාවක් නම් තියනවා… ආන්න ඒකයි මිනිහ මගේ ළඟට එන්ඩ හේතුව..”

සිය අත සෝදාගත් සිරිවර්ධන මුදළාලි මේසයෙන් නැඟිට්ටේය.

“තමුන්ලා දෙන්නට මගේ උපදේශෙ තමා, ව්‍යාපාර කෙරුවාව කෙසේ වෙතත්,තමන්ගේ කෑම වේලවත් කලට,වෙලාවට ගත්තොත් ඒක ගුණ තමන්ගේ ශරීරෙට කියනෙක..”

සුදු මහත්තයා සහ ලක්මාල් එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තෝය.

ශාරික ගල්නෑව කෘෂි අළෙවිහලෙහි සිය මේසය මත හිස තබා ගත්තේ, ඊයේ රාත්‍රියේ සිට හරිහමන් නින්දක් නොවූයෙන් හිස කැක්කුම් දෙන්නට ආ නිසාය. ඔහුගේ මතකය පෙරදා සන්ධ්‍යාවේ පන්සලේදී තාරුකා මුණගැසීම තෙක් ඇදී ගියේය. තාරුකා උන්නේ බෝමළුවෙහි වාඩි වී එහි බෝ පත් සෙළවෙන රටාව දෙස ඇස් දල්වාගෙනය. ඒ නිසාම ශාරික ඇයට තරමක් සමීපව වාඩිවනු පවා ඇයට නොදැණිනි.

“තාරූ..”

ඒ හඬ දැහැනක උන් තාරුකාව අවට විමසිලිමත් කිරීමට පෙළඹවූවාය. ශාරික තමාට පසෙකින් සිටිනු දැක තාරුකා එය වටහාගන්නට මෙන් දෑස් පිස දැමුවාය.

“පුදුම වෙන්න දෙයක් නෑ තාරූ…මේ මං ඒක ඇත්තක්..”

ශාරික කීයේය. තාරුකාගේ මුව මදහස විසිර ගියාය.

“ඇත්තමයි මගෙ අයියේ..හිතුවෙම ඇස් රැවටුණා කියලා…”

කලකට පසුව තාරුකාගේ මුවින් තමාගේ හුරුපුරුදු නෑකම ඇසුනෙන්, ශාරිකගේ හිතට ශාන්තියක සේයාවක් නැඟී ආවේය.

“මටත් එහෙම සිද්ධියක් වුණා…තාම ඒක ඇත්තක්ද,බොරුවක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..”

“මට තේරුන්නෑ ශාරූ..”

“නැන්දම්මා බලන්න ඉස්පිරිතාලෙ ගිය දවසෙ ඔයා කාගෙදෝ බයික්කෙකක නැඟලා යනවා මං දැක්කා …”

තාරුකා ගැස්සෙණු දැක, තමා දුටු දසුන සනාථ කර ගත්තද, ශාරික ඒ බව තාරුකාට පෙන්වීමට ඉක්මන් වූයේ නැත.

“මං කාටහරි රැවටෙන්නැති..මේ දවස්වල මගේ ඔලුවත් එච්චර නිදහස් නෑ තාරූ..”

“නෑ…ඔයා දැක්ක දේ ඇත්ත..ඒ මං තමා…”

“කාලිංගයියා එක්කද..”

“නෑ ..ලක්මාල් අයියා එක්ක..”

එවර තිගැස්සුණේ ශාරිකය. තාරුකා එය බලාපොරොත්තු වූවාය. මෙතෙක් කල් ඔහුට නොකී දෑ , කියවා නිදහස් වෙන්නෙමියි සිතා ඇය ශාරික දෙසට හැරුණාය.

“ඔයාට මං ගැන සැක හිතෙන්න පටං අරං නේද මගෙ අයියේ..”

“මේක පන්සල..ඒ නිසා බොරු කියන්ඩෝනෙ නෑනේ තාරූ…මගේ හිතේ ඒ කවුද කියන සැකේ තිබ්බා…”

“මං වැඩ කරන්නෙ ලක්මාල් අයියා ගාව..එයා තමා මගේ බොස්..එදා එයා අම්මා බලන්න ආවා…සමන්ති අක්කා හිටපු නිසා මං එයාට වාට්ටුවට යන්න එපා කීවා…උදේ වරුවෙ වැඩට ගියෙත් නැති නිසා, ඔෆිස්සෙකට යන්න එයා බයික්කෙකට නඟින්න කීවාම මට ඒක නොකර බැරිවුණා…”

“ඇයි මෙච්චර දවසක් ඔයා ලක්මාල් ගාව වැඩ කරනවා කියලා මට නොකියා හිටියේ…”

“කාටවත් කියන්නෑ කියලා අයියට පොරොන්දු වුණු නිසා…”

“එහෙනං ඇයි දැන් කීවේ..”

“පොරොන්දු කැඩුණත් විශ්වාසෙ බිඳෙන්න හොඳ නැති නිසා…”

“මේං බලාපල්ලකො මෙයා…”

ඒ හඬ මාධවීගේය. ශාරික වහා මේසයෙන් හිස ඔසවා ගත්තේය.

“කා ගැනද කල්පනා කරේ..නෝනා ගැනද..පුතා ගැනද..”

“මාධවී…ගිහිං වැඩක් බලාගන්නවද මෙතන විකාර කියවන්නැතුව…”

ශාරිකට එය කියවුණේ තරමක් වේගවත්වය. මාධවී නොරිස්සුමෙන් මෙන් ඔහු දෙසම බලාගෙන උන්නාය.

“හැබැයි පුතා ඔයා වගේ නෙමේ…ටිකක් කලුයි..මං හිතන්නෙ නෝනගෙ පාට…”

“මාධවී මේහ්…”

“අනේ..මේ..දොඩවන්ඩනම් තියාගන්ඩෙපා මෙතන..දැන් දවසකට,දෙකකට කලින් ඔයාගේ ඇවැස්ස මස්සිනා…අර මං පස්සෙන් ආවේ මෙහෙටත් දවසක් ආං එයා…ඔයාගේ පුතාවත් බයික් එකේ නග්ගගෙන මෙහේ ආවා මට පෙන්නන්ඩ වෙන්නැති..දැන්නෙ තේරුණේ එයා මගේ පස්සෙ ආවේ මොකටදෑ කියලා…මට පිස්සියැ මෙතන බැඳපු මිනිස්සු කරේ එල්ලගන්ඩ..”

මාධවී එසේ කියවමින් කැෂියර් කූඩුව දෙසට යන්නට ගියාය. ඈ කියූ කිසි දෙයක අග,මුල නොතේරුණු ශාරික ඇඟිලි තුඩුවලින් නළල මිරිකමින් යළි මේසය මත සිය හිස ගසා ගත්තේය.

සමන්තී සිය මහගෙදර පිටුපස පෙදෙසෙහි ලොකු බණ්ඩාරමැණිකේ සහ සිය පුතු කවිරූ සමඟය. ලොකු තඹ හැලියක් ලිප් ගල් තුනක් මත දුම් දමමින් තිබිණි. නෑඹිලියක් ආධාරයෙන් ඉන් ඉවතට ගන්නා උණුවතුර, ඇල්වතුර පිරවූ තවත් බේසමකට මුහු කරමින් සිය මව විසින් මිත්තණිය නහවා පිරිසිදු කරනු, කුඩා කවිරූ ඉතා ඕනෑකමින් බලා සිටියි.

“ලොකු කිරිඅම්මා බබෙක් වෙලා…”

කවිරු කීයේ අත්ල එකට ගසා සිනාසෙමිනි. එයට සමන්තිටද සිනහ නැඟිණි.

“පඩත්තල කතා නොකියා හිටු කොල්ලෝ…” ලොකුබණ්ඩාර මැණිකේ කවිරුට ඔරවා කීවාය.

“ලොකු කිරිඅම්මා ඇයි මේ මුට්ටියෙන් නාන්නේ..හීන් කිරිඅම්මට නාන්න නං ළිඳ ගාව වතුර මලක් තියනවා…”

“ඉතිං තෝ ගෙහුං නාපිය ඒකිගෙ පයිප්පෙං මට කියන්ඩ එන්නෙ මෙතන..”

“අම්මේඒඒ..පොඩි එකා එක්ක එල්ලෙන්නැතුව ඉන්ඩකො අනේ..”

“මුං දැන්මම අපිට ඕනෑ විදිහට හදලා නොගත්තොත්,එල්ලෙන්ඩ වැල නැතිවෙන්නේ බොටයි,මටයි සමන්තියෝ…ආං ඒක හිතට ගත්තොත් හොඳා….”

කාලිංග ඔවුන් අතරට පැමිණියේ ඒ කතාබහ අතරතුරය. ඔහු කුඩා පාර්සලයක් කවිරූ අත තැබුවේය.

“ඕක ඇන්න ගිහිං ඉස්සරහා බංකුවට වෙලා කාපං කොල්ලෝ…”

කියූ සැනෙන් කුඩා කවිරූ එය රැඟෙන ගේ මැදින් ඉදිරියට දිව ගියේය.

“සමන්තියෝ…මං උඔට අර ගේ කෑල්ල පිළිවෙලක් කරලා දෙන්ඩය කියලා බැලුවේ..” සමන්තී සිය සොහොයුරා දෙස බැලූයේ කුහුලෙනි.

“ඒ ගමන මේකිටත් නඩලමේ යන්න පොටක් පාදන්ඩද උඔ හදන්නේ..”

ලොකුබණ්ඩාර මැණිකේ සමන්තීට පෙර කට ඉස්සර කළාය.

“උඔ පොඩ්ඩක් කටයි..පුකයි වහගෙන හිටපංකෝ අම්මේ…බැලුවොත් ඕනෑ දේටයි,එපා දේටයි කියවගත්ත ගමං..”

සමන්තී සිය සොහොයුරා දෙස බැලූයේ,

“අම්මා අවුස්සනේ නැතුව ඉන්නකො අයියේ..” යන බැල්මෙනි.

“ඔව්..වොව් මං ඇස්,කන් පියාගත්තම ලේසිනෙ බොලාට ඩෙඟා නටන්ඩ මෙතන..”

නැඟී සිටි ලොකුබණ්ඩාර මැණිකේ දිය රෙද්ද පිටින්ම එතැනින් පිටව ගියාය.

“එයැයිට ඩෝං ගියේ මං අහවල් දෙයක් කොරාටද බං..”

“මොකුත් කොරන්ඩෝනෙනෑ අයියේ..පොඩි එකත් ඇති එයාට ජල්ලි අල්ලන්ඩ..”

“ඒක පැත්තක දාපංකෝ… මං උඔට අර ගේ කෑල්ල පිළිවෙලක් කරලා පොඩි වැඩක් බාරදෙන්ඩ යන්නෙ උඔ මොකදෑ කියන්නෙ…”

සමන්තී ප්‍රශ්නාර්ථයකින් සිය සොහොයුරා දෙස බලා සිටියාය.

“දැන් මෙතන අරක,මේක අහන්ඩ තියාගන්නැතුව, මං කියන දේ විතරක් අහගනිං…උඔ කරපු ගොංකම්,මෝඩකම් දැන්වත් අකා, මකා යන්ඩ ඕනේ කියලා හිතෙනවනං…මින් ඉදිරියට උඔ වැඩ කරන්ඩෝනෙ මං කියන විදිහට නංගියේ..එහෙම නැතුව පරණ පුරුදු පාරෙම යනවා කියලා හිතං ඉන්නවනම් මට පව් නොදී යන අහක තොලොංචි වෙලා පලයං…”

සමන්තිගේ තොල,කට වියළී ගොස් තිබිණි. සිය සොහොයුරා කිසිම දිනෙක මෙවන් බැරෑරුම් කතාබහකට තමා සමඟ එළැඹ නැති හෙයින්, ඊළඟ තත්පරය ගැන මහා බියකින් ඇගේ ගත ,හිත දෙකම වෙව්ලා ගියාය.

]]>
Mandaramen Eha – 36 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-36/ Mon, 02 Oct 2023 11:11:19 +0000 https://thulanatv.lk/?p=2655 Mandaramen Eha – කැලේගම වලව් මිදුලෙහි ශාරිකගේ තැපැල් නයින්ටි වර්ගයේ යතුරුපැදිය නවතා තිබේ. වැව දෙස සිට කකුල අද්ද,අද්දා පැමිණි රිදී නැන්දා එය දුටු සැනෙන් මොහොතක් නතරවී විපරම් කෙරුවාය. ගෙතුළට සවන් යොමු කරමින් වලව්වේ මුළුතැන්ගෙය දෙසින් ඇති කොරිඩෝවට ඇතුළු වූවාය. ඉස්කෝලෙ මැණිකේ ගෙයි සිට කොරිඩෝවට ඇතුළු වූයේත් ඒ මොහොතේමය.

“ආහ්..මේ ඉන්නෙ..මං රිදී නැන්දව තමා හොය,හොය හිටියෙ..”

ඉස්කෝලෙ මැණිකේ, රිදී නැන්දා අසළටම පැමිණියාය. අනතුරුව සෙමෙන් ඇයට කතා කළාය.

“ආන්න..රිදී නැන්දට වලව්වෙ හාමුදුරුවන්ට කේළමක් කියන්ඩ පොටක් පෑදිලා…බංඩාර නිළමෙගෙ පවුලම මෙහේ…”

රිදී නැන්දාගේ මුහුණ නොසතුටෙන් මැළවෙනු නිරීක්ෂණය කරමින් ඉස්කෝලෙ මැණිකේ මුවඟට සිනහවක් නඟා ගත්තාය. රිදී නැන්දා සිය කකුල අද්දමින් මුළුතැන්ගෙය දෙසට යන්නට සැරසුණේය.

“මේ ගොල්ලො ගියාම තරහ නිවෙන්ඩත් එක්ක කේළමක් කියාගන්ඩ සොහොන පැත්තෙ යන්ඩ බැරියැ රිදී නැන්දෙ..එතකං අපිට කෝපි ඩිංගිත්තක් වක්කරන්ඩෝ….”

මුළුතැන්ගෙය දෙසට යමින් සිටි රිදී නැන්දාට මඳක් හඬ නඟා එසේ කී ඉස්කෝලෙ මැණිකේ සුපුරුදු ලෙස ඉදිරියට අඩි කීපයක් ගොස්, ඒ දුරම නැවත ආපසු විත්, කකුල් බිම පිස දමා ඇවිදගෙන ගොස් සාලයට ඇතුළු වූවාය. ශාරික සහ හීන්බණ්ඩාර මැණිකේ සාලයේ අසුන් ගෙන හුන් අතර, සරලා සිය කාමරයේ උළුවස්සට හේත්තු වී මව සහ සොහොයුරා දෙස බලා සිටියාය.

“අනේ කෙල්ලේ කුස්සිය පැත්තෙ ගෙහුං අර රිදී නැන්දට කියලා කෝපි ඩිංගක් වක්කරං එන්ඩකෝ….”

ඉස්කෝලෙ මැණිකේ කීයේ, සරලාටය. ඒ තමා මෙතනින් ඉවත්ව යා යුතු බවට නොකියා කියූ ආකාරය බව වටහාගත් සරලා එසේ කියූ සැනින් මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.

“කාලිංග..ලක්මාල්..කවුද මේ දෙන්නා…”

සරලා පිටව යනතෙක් මොහොතක් බලාසිටි ඉස්කෝලෙ මැණිකේ සෘජුවම එසේ ඇසුවාය. හීන්බණ්ඩාර මැණිකේ ශාරිකගේ මුහුණ බැලුයේ උත්තරයක් සොයාගන්නට මෙනි.

“ඒ පුතා දන්න අයද…”

එවර ඉස්කෝලෙ මැණිකේගේ ප්‍රශ්නය එල්ල වූයේ ශාරික වෙතටය.

“ඔව් ඉස්කෝලෙ නැන්දේ…කාලිංග කියන්නෙ අපේ අම්මගෙ අයියගෙ පුතා….”

“එතකොට අනිත් ඉලංදාරියා…”

“මං දන්න විදිහට සමන්ති අක්කගෙ මහත්තයගෙ යාළුවෙක්..සමන්ති අක්කා කාලිංග අයියගෙ ලොකු නංගී..” ශාරික පැහැදිලි කළේය.

“ඒ දෙන්නට සරලත් එක්ක තියන සම්බන්ධකම මොකක්ද..”

හීන්බණ්ඩාර මැණිකේ තිගැස්සෙණු ඉස්කෝලෙ මැණිකේ දුටුවාය. ඒ නිසාවෙන්ම, උත්තරය හීන්බණ්ඩාර මැණිකේගෙන්ම ගත යුතුය යන අපේක්ෂාවෙන් ඉස්කෝලෙ මැණිකේගේ දෑස් රැඳී තිබුණේ හීන්බණ්ඩාර මැණිකේ වෙතය.

“අපේ මේ ලොකූගෙයි, ඔය කාලිංග පුතාගෙ බාල නංගිගෙයි අතරෙනම් සම්බන්ධයක් තියේ බොහොම කාලෙක ඉඳලා…ඇවැස්ස නෑයො වෙච්චි එකේ මට විරුද්ධ වෙන්ඩ තරමේ කාරණා තිබ්බෙ නෑ ඉතිං..ඒත් කාලිංග පුතයි, ඔය කියන ළමයයි, අපේ චූටියි අතරෙ මොන වගේ සම්බන්ධකමක් තියේද කියලනම් මට තේරුමක් නෑ ඉස්කෝලෙ අක්කේ…”

“ඔය තේරුමක් නැති සම්බන්ධකම් නිසා තමා අද මේ වලව්ව මෙහෙම තියෙන්නේ..අතීතය ආයෙ,ආයෙ සිද්ධ වෙද්දි මගේ ඇඟ ගැහෙනවා….”

ඉස්කෝලෙ මැණිකෙගේ මුහුණ රෞද්‍ර පෙනුමක් ගෙන තිබුණාය. ශාරික හෝ හීන්බණ්ඩාර මැණිකේ එකඳු වචනයක් හෝ කීමට මැළි වූයේ එහෙයිනි. හීන්බණ්ඩාර මැණිකේගේ දෑස්වලට ලාවට කඳුළු පුරා එමින් තිබිණි.

“මං මේ කියන දේ හොඳට…”

ඉස්කෝලෙ මැණිකේ කතාව අතරමඟ නැවැත්වූයේ, සරලා සහ රිදී නැන්දා සාලයට ඇතුල් වූ හෙයිනි. සරලා සිය මවට,ඉස්කෝලෙ මැණිකේට සහ සොහොයුරාට පිළිවෙලින් කෝපී බන්දේසිය පිළිගන්වන අතර, රිදී නැන්දා සාලයේ පිවිසුමට මඳක් එහායින් එදෙස බලා උන්නාය.

“රිදී නැන්දා ගිහිං වැඩක් බලාගන්ඩ..”

ඉස්කෝලෙ මැණිකේගේ හඬ තරමක් වේගවත්ව ඇසිණි.

“එහෙමයි අපෙ මැණිකේ…”

රිදී නැන්දා සැනෙන් එතැනින් ඉවත්ව ගියාය. සරලාද බන්දේසිය රැගෙන එතැනින් පිටව යෑමට සැරසුණාය.

“ඔය ළමයත් ඕක පැත්තකින් තියලා මෙතනින් වාඩිවුණානම් හොඳා…”

ඉස්කෝලෙ නැන්දාගේ හඬට සරලාට ඉබේම අසල පුටුවක ඉන්ඳවුණාය.

“ඕගොල්ලන්ගෙ අප්පච්චි ඒ කියන්නෙ මගේ මල්ලී…”

ඉස්කෝලෙ මැණිකේ කීයේ ශාරිකට සහ සරලාට වෙන,වෙනම අත දිගු කොටය.

“ඕගොල්ලන්ගෙ අම්මව කරකාරෙට ගත්තෙ අපේ පවුලෙ ඔක්කොම එක පෙළට විරුද්ධ වෙද්දි..මං දන්නවා මේ කිසි දෙයක් අම්ම ඕගොල්ලන්ට කියලා නෑ….”

ඉස්කෝලෙ මැණිකේ ඒ වචන ස්වල්පය කීයේ හීන්බණ්ඩාර මැණිකේ දෙස බලාගෙනය.

“ඒත් දැන් ඔය දෙන්නම ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්ඩෝන වයසෙ…ඒ නිසා අම්ම හංඟපු කිසි දෙයක් තව දුරටත් ඔයාලට රහස් වෙන්ඩෝනෙ නෑ….”

සිය මවගේ දෑස් වල කඳුළු පිරී තිබෙනු සරලා දුටුවාය. ඉස්කෝලෙ මැණිකේ කතාව නොනවත්වාම කරගෙන ගියාය.

“එක නොගැළපෙන කසාදයක් ඇති පරම්පරාවක ඉරණම තීන්දු වෙන්ඩ..අතීතේ වෙච්චි,කෙරිච්චි කිසිම දෙයක් ආයේ වෙන්ඩෝනැන්නෑ කියලා මේ තුන්දෙනාටම හිතෙනවනම්…සරලව දිගටම මගේ ගාව තියලා යන්ඩ.. මං මරුණට පස්සෙ මේ කැලේගම පරම්පරාව ඉවරවෙන්ඩ ඕනේ කියලා හිතෙනවනම් අදම සරලවත් අරං තුන්දෙනාටම මෙහෙං යන්ඩ පුළුවන්..හැබැයි ඔය කාටවත්, මගේ මරණෙටවත්, අර ගේට්ටුවෙන් ඇතුලට එන්ඩ බෑ ආයේ…”

කොරිඩෝවට වී මේ සියලු දේ අසා සිටි රිදී නැන්දා වහ,වහා සොහොන් කොත් දෙසට ඇවිද ගියාය.

කාලිංග මහ කමත වෙල් යායේ කොහොඹ ගස යට ඇණ තබාගෙන උන්නේය. ඔහු කමතේ පොළොව අත ගාමින් තනිවම කතා කළේය.

“අප්පච්චී…මං ඔයාගේ හුස්ම ගියපු පොළොවට ආයේ පණ දෙන්ඩයි යන්නේ…ඔයාගෙ පණ හිර කරගෙන ඉන්න ආං අර වගා ළිඳේ හැම කළු ගලක්ම පුපුරවලා..හෙට උදේ වෙද්දි ඔයා මැරුණු හීනෙ මං ඇහැරවනවා අප්පච්චී…”

කාලිංග බාගෙට වැඩ නැවැත්තූ සිය වගා ළිඳ පෙන්වමින් මොර ගෑවේය. ඔහුගේ ඇස්වල කඳුළු තිබුණේ නැත. එහෙත් මුළු ශරීරයෙන්ම නැඟී ආ වේදනාවකින් ඔහු ගැහෙමින් සිටියේය. විටෙන්,විට පහතට නැවී සරම් පොටකින් බුරුල් වූ නාසය සූරා දැම්මේය. වෙල්‍ යාය මැදින් වැටී ඇති පටු පාර දිගේ ලොරි භාගයක් මහ කමත දෙසට පැමිණෙමින් තිබුණේය. ඔහු සිය මුහුණ සරමෙන් පිස දමමින් ලොරිය පෙරමඟට ගියේය. ලොරිය පිටුපස එල්ලී පැමිණි ජිල්බූ එය මහ කමතට සමීප වද්දීම ඉන් කමතට පැන්නේය.

“ආ…ඔහොම…පිටිපස්සට රිවස් කරලා ගන්ඩෝඕඕ…ෆුල් කපලා තව ටිකක් කපන්ඩෝඕඕ..”

ජිල්බූ කෑගසමින් ලොරිය පිටුපසින් එද්දී, ඉදිරිපස සිටි තලතුනා මිනිසෙකු බැස කාලිංග ඉදිරියට විත් සිට ගත්තේය.

“ගුණේ මාමා….වැඩේට ඕනේ සබ්බ සකලමනාවම ගත්තනෙ නේහ්…”

“ආයෙත් අහලා.. කිරි ගහට ඇන්නැහෙ අඩුම කුඩුම ඔක්කෝම ගානට,මිම්මට ලොරියට පටෝලා ඇත්තෙ කාලිංග පුතා…”

ලොරියෙහි පිටුපස උන් කිහිප දෙනෙකු එතුළ වූ බඩු භාණ්ඩ ඉන් පිටතට ගෙන කමතෙහි දමන්ට වූහ.

“ළිඳ ළඟට දාන්ඩෝනේවා මෙහෙමම දාගනිං මාමා…ආයේ වැඩේ දෙක කොරන්ඩ ඕනෙ නෑනේ…”

“කොල්ලනේ…ඔය වතුර මෝටරෙයි, ගල් වෙඩි ටිකයි, වයර් ටිකක් කෙළින්ම ළිඳ ළඟට ඇන්න පලයල්ලා….”

කෑගසමින් ගුණේ බාස් ලොරිය අසළට දිව ගියේය. තමාටත් වඩා දිග පයිප්පයක් කර තබාගෙන ආ ජිල්බූ එය පාලනය කරගත නොහැකිව කොහොඹ ගසේ වැදී බිම ඇදගෙන වැටුණේය.

“තව පොඩ්ඩෙන් වැටෙනවා….”

දණි,පණි ගා නැඟිටගත් ජිල්බූ, වැලමිටෙහි සහ දණහිස් වල තැවරුණු වැලි පිස දැම්මේ තමා දෙස බලා සිටින කාලිංගට බයාදු ලෙස සිනාසෙමිනි.

“මේං මෙහාට වර බැරි වැඩ නොකර…”

කාලිංගගේ කෑගැසීමට ජිල්බු ක්ෂණිකව විත් ඔහු අසළ නතර වූයේය.

“අර ගඩොල් බාන තැනට ගිහිං ගණං කරපිය කීයක් බානවද කියලා…”

ජිල්බු සැනෙන් එදෙසට දිව ගියේය. කාලිංග ලොරිය අසළට ගොස් රියදුරුගේ ගණුදෙනු බේරුවේය. සහයට ආ තරුණයන් අතද කිසියම් මුදලක් තැබුවේ ඔවුන්ගේ පිටට තට්ටුවක් දමමිනි. ගුණේ බාස් කාලිංග ඉදිරියට පැමිණ සිනාසෙමින් සිට ගත්තේය.

“මාත් මේකෙම ගොඩවෙලා ගිහිං ගෙදර ගාවිං බැහැගන්නං කාලිංග පුතා…”

“මේක උඔගෙ පරණ ගණුදෙනුව මාමා….” කාලිංග ඔහු අතද මුදලක් තැබුවේය.

“අද රෑම ඉතුරු වැඩේට බහින්ඩෝනේ මාමා….සතියකින් මට වතුර එක්ක මේ ළිඳ ඕනෑ…ආයේ පස්සෙ ඤං පචං කියාගෙනනං එන්ඩෙපා ගුණේ මාමා…”

“වැඩේ කෙරුණ කියලා හිතාගනිං පුතා …”

ගුණේ බාස් ලොරියේ එල්ලෙනවාත් සමඟම ලොරිය මහ කමතෙන් පිටව ගියේය. කාලිංග බැලූයේ ජිල්බූ දෙසය. ඔහු සිටියේ ලොරියෙන් ගෙන කමතේ ඇසිරූ ගඩොල් ගොඩ අසළ අතේ,පයේ ඇඟිලි සමඟ ගණිත ශාස්ත්‍රයක නියැළෙමිනි.

“ගඩොල් ටික හරියට බාලා නේද ජිල්බුවෝ….” ජිල්බු හිස කසමින් කාලිංග දෙස බැලුයේය.

“මොකද බොල…”

“කාලිංගයියේ..අතේ ඇඟිලි වලින් දාසයයි..කකුලේ ඇඟිලි වලින් එකොළහයි..”

කාලිංග සුපුරුදු “හැක්..හැක්…” හිනාවෙන් ජිල්බුගේ පස්සට පයින් පාරක් ගැසුවේය. ඔහු විසිවී ගොස් කමතේ පිදුරු ගොඩ මතට ඇද වැටුණේය.

සේනපුර පොඩි හාමුදුරුවන් ඉහළ මළුවේ සිට පියගැට පෙළ බසිමින් සිටියහ. බෝමළුවට පියගැට පෙළ නඟිමින් හුන් තාරුකා උන් වහන්සේට මුණ ගැසුණේ නෙල්ලි ගස පාමුලදීය.

“අක්කේ…”

සිය දෙපා නමදින තාරුකාට සේනපුර හිමියන් ආශිර්වාද කළේ එලෙස කියමිනි.

“නැන්දට දැන් ගුණද අක්කේ..”

“එහෙම කියන්ඩ තරං ලොකු ගුණයක් නෑ පොඩි හාමුදුරුවනේ..ටිකට් කපාගෙන ඉස්පිරිතාලෙන් නම් ගෙනාවා…”

“අඩුවෙලා යයි අක්කේ..යනකොට කියන්ඩකෝ මං පිරිත් නූලක් ලෑස්ති කරලා දෙන්නං..”

“එහෙමයි අපෙ හාමුදුරුවනේ..”

“ශාරිකයියා දැක්කෙ නෑ ගොඩ කාලෙකිං..”

“මාත් පොඩි හාමුදුරුවනේ…” තාරුකා එසේ කීවා නොව ඇයට ඉබේ එලෙස කියවුණාය.

“මං කීවේ පොඩි හාමුදුරුවනේ එයත් වැඩ දැන් මාත් වැඩනෙ..”

කට වැරැද්දක් වීනම් එය හරි ගස්වන්නට මෙන් තමා කියූ දෙයට තමන් විසින්ම හේතූ කියන තාරුකා දෙස සේනපුර පොඩි හාමුදුරුවෝ උපේක්ෂාවෙන් බලා සිනහසුණහ.

“ජීවිතේ අමාරුම කාලවල් ඉවසීමෙන් ගෙවන්ඩෝනෙ අක්කා…ඉදිරි කාලේ කොහොම කොයි විදිහට ආවත් මූණ දෙන්න හයිය එන්නෙ එතකොට..”

තමාගේ වයසටත් අඩු මේ සාමණේර හිමි නම ගැන තාරුකාට දැණුනේ ගෞරවයට වඩා ආඩම්බරයකි. ජීවිතයේ කටුක බව හෝ තුෂ්ඨිය කිරා මැන බලන්නටනම් ඒ සඳහා තමන් එය විඳිනා, බාරගන්නා ක්‍රමයේ මිණුම් දඬු අවැසි බව, පොඩි හාමුදුරුවන් තමන්ට කෙතරම් සූක්ෂම ලෙස කියා දුන්නේදැයි වැටහී තාරුකාට තමන් ගැනම අනුකම්පාවක් ඉපදුණාය.

“මට සමාවෙන්ඩෝනෙ පොඩි හාමුදුරුවනේ…”

“අක්කා මල් පහන් පූජා කරලා හිත ටිකක් නිස්කලංක කරගෙන එන්ඩ…මං නැන්දට පිරිත්නූලක් ලැහැස්ති කරන්නං…”

සේනපුර හිමියන් අවාස ගෙය දෙසට පියමැන්නහ. ශාරික සිය මව සමඟ පන්සලට ඇතුල්වනු හිමියන්ගේ ඇස ගැටුණේ ඒ මොහොතේදීය.

]]>
Mandaramen Eha – 35 මන්දාරමෙන් එහා https://thulanatv.lk/mandaramen-eha-35/ Sat, 30 Sep 2023 03:55:26 +0000 https://thulanatv.lk/?p=2633 Mandaramen Eha – සමන්තී සහ තාරුකා රෝහල් වාට්ටුව තුළ රැඳී සිටියෝය. සමන්තී සිය මව ඇඳ වියලට හේත්තු කොට, ඇයට සුප් බඳුනක් පොවමින් සිටියාය. තාරුකා උන්නේ සිය මවගේ රෙදි කිහිපයක් බෑගයකට දමමිනි.

“අක්කේ… ඔන්න මං අම්මගෙ හෝදන රෙදි ටික බෑක්කෙකට දැම්මා…හවස අයියා ආවම එයා අත එවන්ඩ…මං රෑට හෝදලා දාන්නම්…”

“මං ඔය ටික කරගන්නම් නංගී..ඔයා දැන් යන්ඩ…”
“ආහ්..අහන්නත් බැරිවුණා …කවී තියලා ආවේ කා එක්කද අක්කේ…”

“අයියා එද්දි නැන්දම්මා හිටියේ අපේ ගෙදර..මං හැදුවෙ කවී පොඩ්ඩක් එහේ තියලා එන්ඩ…”

සමන්තී එසේ කියද්දී ලොකු බණ්ඩාරමැණිකේගේ දෑස් විසල් වන්නට වූවාය. ඇය සමන්තී අත ඇති සුප් බඳුන තමා වෙතින් ඉවත්කරන්නට වුවාය.

“අනේ…තව ටිකක් බොන්ඩකො අම්මේ..හැඳි දෙක තුනනෙ බීවේ..ඊයේ රෑ ඉඳං ඇඟට හරි හමං කෑමක් වැටුණෙත් නෑනේ…”

සමන්තී පෙරැත්ත කරද්දී, උඟුරෙන් ගොර හඬක් නංවමින් ලොකුබණ්ඩාර මැණිකේ එය ප්‍රතික්ෂේප කරන්නට වූවාය.

“එතකොට කවී දැන් නැන්දම්මා ගාවද…”

“මොන..අයිය නැන්දම්මට කවීව ගෙනියන්න දුන්නෙම නෑනේ..අපි දෙන්නවම බයික්කෙකේ දාගෙන ඇවිත් මාව ඇරලවලා කොල්ලා එක්ක ආපහු ගියානෙ..නැන්දම්මා මොනා හිතුවද දන්නෑ නංගී….”

මෙතෙක් වේලා මළානිකව තිබූ ලොකුබණ්ඩාර මැණිකේගේ මුහුණ එය ඇසීමත් සමඟ ආලෝකමත් වනු තාරුකා නිරීක්ෂණය කළාය.

“අනේ මන්දා අක්කේ…අපේ අයියා ශාරිකයියල එක්ක මොන වෛරයක් පිරිමහනවද කියලා..මං යනවා …පරක්කු වෙනව අනේ….”

තාරුකා සිය අත් බෑගය ගෙන වාට්ටුවෙන් පිටවීමට ගොස් නැවත හැරී සමන්තී වෙත පැමිණ සිය අත්බෑගය තුළ තිබූ ජංගම දුරකතනය එළියට ගෙන සමන්තීට දිගු කළාය.

“තව ටිකෙන් මේක අමතක වෙනවා…ඕක අයියගෙ ෆෝන් එක ආවම එයාට දෙන්ඩ…”

සමන්තී කුහුලෙන් ජංගම දුරකතනය දෙස බලාසිටිද්දී තාරුකා වාට්ටුවෙන් පිටවූවාය.

රෝහල් පරිශ්‍රයේ මාරගහ අසළ ලක්මාල්ගේ යතුරුපැදිය නතර කර තිබිණි. ඊටම හේත්තු වී ඔහු සිය ජංගම දුරකතනය අංකනය කරමින් සිටියේය. කිහිපවාරයක් එසේ උත්සාහ කරමින් සිටියදී තාරුකා ඔහු අසළට විත් සිට ගත්තාය.

“මං මේ ඔයාට කෝල් කර,කර හිටියේ වාට්ටුව මොකක්ද කියලා අහගන්ඩ…”

“ඒ ෆෝන් එක මගේ නෙවේ ලක්මාල් අයියෙ..අපේ අයියගෙ…මං ඒක අක්කට දීලා ආව අයිය ආවම දෙන්ඩ කියලා..”

“සමන්තී…”

“ඔව්… දැන් අම්ම ගාව ඉන්නෙ අක්කා…”

“මං පොඩ්ඩක් ගිහිං අම්මව බලලා එන්ඩද…”

ලක්මාල් කීයේ ප්‍රබෝධමත් හඬකින් ඒ සඳහා සූදානම් වෙමිනි.

“මෙහෙම කීවට තරහවෙන්ඩෙපා අයියේ… අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක..ඒ නිසා තවත් ප්‍රශ්න දරාගන්න අමාරුයි අපිට…අපේ අයියා මේ දැන් වුණත් මෙතෙන්ට එන්ඩ පුළුවන්..”

ලක්මාල්ගේ මුහුණ අඳුරු වනු තාරුකා බලා සිටියේ ශෝකයෙනි.

“ඔයා දැන් ගෙදරද යන්නේ..”

“නෑ ඔෆිස් එකට..”

“එහෙනම් යං..” ලක්මාල් එසේ කියාගෙනම යතුරුපැදියට ගොඩවී හිඳ ගත්තේය.

“මං ඔය ටික පයින් එන්නම්..අයියා යන්ඩ….”

“මාව ඒ තරම් පල්ලෙහාට දාලා කතාකරන්ඩෙපා නංගී…මට නංගිලා නෑ….ඒත් ඔයාගෙ අයියට වගේම මටත් ඔයා නංගි කියලයි මං හිතන්නේ….”

ලක්මාල් යතුරුපැදිය පණ ගන්වා තාරුකා දෙස බලා උන්නේය. අපහසුවට පත් තාරුකා ගොස් එහි හිඳ ගත්තාය. ඔවුන් දෙදෙනා රැගත් යතුරුපැදිය රෝහල් ගේට්ටුව පසු කරද්දීම රෝහල් පරිශ්‍රයට ඇතුල් වූයේ ශාරිකගේ තැපැල් නයින්ටියයි. ඔහු එය නවතා ලක්මාල් හා තාරුකා යන දෙස බලා හුන්නේය.

මාධවී ගල්නෑව කෘෂි අලෙවිහලෙහි කැෂියර් කූඩුවට වී මුහුණේ වත්සුණු තවරමින් සිටියාය. සුදු මහත්තයාගේ යතුරුපැදිය කෘෂි අලෙවිහලට ඇතුල් වූයේ ඒ මොහොතෙහිය. මාධවී වහා කැෂියර් කූඩුවෙන් එළියට පැමිණ ඔහු එන පෙරමඟට ගොස් ශාරිකගේ මේසය අසළ සිටගත්තාය.

“කෝ……” සුදු මහත්තයා ශාරිකගේ හිස් මේසය හිසෙන් දක්වමින් ඇසූයේ මාධවීගෙනි.

“හදිස්සියකට කියලා එළියට ගියා බොස්ස්ස්…”

මාධවී කීයේ වචන තාලයට ඇද තොඳොල් වෙමිනි.

“මොකක්ද හදිසිය..යන්නෙ කොහෙද කියලා ඇහැව්වෙ නෑ…”

“නෑ…නේ බොස්ස්ස්….”

“ඕකනෙ කියන්නෙ ඉතිං..තමුසෙල මායම් දාන්නෙත් මේ අපිට විතරයි..දාලා අල්ලගන්න ඕනෙ එකාට මොකුත් නෑ…”

සුදු මහත්තයා එසේ කීයේ මාධවීගේ ඉන පෙදෙස ඇඟිලි තුඩුවලින් මිරිකමිනි.

“ඌයීඊඊ….රිදුණ අනේ…මෝඩයා….”

මාධවී,සුදු මහත්තයාගේ උරයට පහරක් ගසමින් එසේ කියද්දී, කඩය ඉදිරිපිට නතර කළ කාලිංගගේ යතුරුපැදිය සුදුමහත්තයාගේ ඇස ගැටිණි.

“මූ කොහෙද මෙහේ..”

සුදු මහත්තයාට එසේ කියවෙද්දී මාධවීද කාලිංගව දුටුවාය. ඔහු සමඟ සමන්තීගේ කුඩා පුතු කවිරුද යතුරුපැදියේ ඉදිරිපස වාඩිවී සිටියේය.

“මේ මනුස්සයා අදත් ඇවිත්..”

මාධවීට කාලිංග දුටු සැනෙන් එසේ කියවිණි. සුදු මහත්තයා මාධවී දෙස බැලූයේ ප්‍රශ්නාර්ථයකිනි.

“තමුසෙ මිනිහව දන්නවදෝඕඊ..”

“ඔව්ව්ව් බොස්ස්ස්…ඔය මිනිහ දවස් ගානක් මගේ පස්සෙන් ආවා…”

සුදු මහත්තයාගේ මුවට කපටි සිනහවක් නැඟ ආයේය.

“එහෙනං මිනිහව ආශ්‍රය කරලා බලන්ඩම වටිනවා…එනවකො ගිහිං බලමු..”

සුදු මහත්තයා මාධවීද කැටුව කාලිංග වෙතට ඇවිද ගියේය. කාලිංග සිනහමුසුව ඔවුන් දෙදෙනා එන දෙස බලා උන්නේය.

“තමුසෙ මොකෝ මෙහේ…”

“පොඩි පයින්ඩයක් කියලා යන්ඩ ආවා මහත්තයෝ…”

“කාගෙන්ද පප්පගෙන්ද…”

“නෑ මේ අපේ ඇවැස්ස මස්සිනාගෙන්…”

“ඇවැස්ස මස්සිනා කීවේ..”

“මෙහේ ලියන මහත්තය නෙව අපෙ මහත්තයෝ…”

මාධවී සහ සුදු මහත්තයා එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ. ඔවුන් දෙදෙනාගේම දෑස් යොමුව තිබුණේ යතුරුපැදියේ හිඳ උන් කවිරූ වෙතටය. කාලිංග එය හොඳින් නිරීක්ෂණය කරමින් සිටියේය.

“මේ මගේ නංගිගෙ දරුවා…නංගි අපේ අම්මා ළඟ ඉස්පිරිතාලෙ…මස්සිනා ගියෙත් අම්මව බලන්ඩ තමා…හදිසියෙ යන්ඩ වුණාය ඉක්මන්ට එනවය කියන පයින්ඩෙ කඩේට දෙන්ඩය කීවා…ගිහිං එන්නං…”

මාධවීගේ කට ඇදවී ගියාය. සුදු මහත්තයා උන්නේ දෙගිඩියාවෙනි. සිය යතුරුපැදිය පණගන්වා ගත් කාලිංග මාධවී සමීපයට පැමිණ නතර කර,

“නැද්දට ටටා කියපං කොල්ලෝ…”

කියා කවිරුට කීයේය. කවිරූ මාධවීට අත වනනවාත් සමඟ කාලිංග වේගයෙන් එතැනින් පිටව ගියේය.

උදෑසන සිට හීන්බණ්ඩාර මැණිකේගේ හිස රිදෙන්නට පටන් ගෙන තිබුණාය. කාලිංගව හමුවූ මොහොතෙහි ඔහු තමන්ව නොසළකා හැර කතා කිරීම ඇගේ හිත දැඩි ලෙස පාරවා තිබිණි. සිය පුතු නැන්දම්මා අසනීප වී රෝහල් ගත කළ බව දන්නේදැයි තාම ඇයට නිශ්චිත නැත. ජිල්බූට එම පණිවිඩය ලබාදීමට හැකිවූයේදැයි දැනගැනීමට ඇයට උවමනා වීද, සමන්තීගේ නිවසේදී ජිල්බූ තමන්ව මඟහැර ගිය බව හීන්බණ්ඩාර මැණිකේ හැඳින්නාය. ශාරිකගේ යතුරුපැදිය ගෙමිදුලේ නතර වූයේ මේ මොහොතේදීය.

“ලොකූ….”

හඬ නගාගෙන හීන්බණ්ඩාර මැණිකේ ශාරික පෙරමඟට ගියේ සියලු ප්‍රශ්න නිරාකරණය වූවාය යන සතුටෙනි.

“අක්කා සනීපෙන්ද මයෙ පුතේ…”

“හෙට ටිකට් කපයි අම්මේ…”

ශාරික ගෙට ගොඩ වූයේය. නිරාකරණය කරගැනීමට තිබූ බොහෝ ප්‍රශ්න වලට මෙතරම් කෙටි පිළිතුරක් අපේක්ෂා නොකළ හෙයින්දෝ හීන්බණ්ඩාර මැණිකේ එම පිළිතුරෙන් සෑහීමකට පත් වූයේ නැත.

“අර ජිල්බු ළමයා අත මං ඔයැයිට පයින්ඩයක් ඇරියා අක්කා අසනීප වුණාය කියලා….”

සිය පුතු පසුපස යමින් හීන්බණ්ඩාර මැණිකේ හිතෙහි තෙරපෙන හැඟීම් හෙළි කළාය.

“එතකොට ජිල්බුවද ගල්නෑවේ කඩේට කෝල් කරලා ඒක මට කීවේ….”

ශාරික එසේ සිතුවා මිස මවගෙන් එම පැනය ඇසූයේ නැත. තාරුකාගේ මව අසනීපව රෝහල්ගත කළ බවට දුරකතන පණිවිඩයක් ගල්නෑව කෘෂි අළෙවිහලට ලැබුණු බව සැබෑය. එහෙත් එය නිර්නාමික ඇමතුමක් බව සිය මවට කියන්නට ශාරික පැකිළුණේය.

“මට ටිකක් මහන්සියි අම්මා….” අවසන ඔහුට සිය මවට කියාගත හැකිවූයේ එපමණකි.

“හිතන්නෙපා මයෙ පුතේ…නැන්දම්මට ඉක්මන්ට හොඳ වෙයි..ඔයා ටිකක් විවේක ගන්ඩ…”

සිය පුතු ඇත්තේ මානසික පීඩනයෙන් සහ තෙහෙට්ටුවෙන් යැයි අනුමාන කළ හීන්බණ්ඩාර මැණිකේ ඔහුගෙන් මිදී මිදුලට බැස්සාය. කාලිංගගේ යතුරුපැදිය ගේට්ටුව අසළ නතර වූයේ ඒ මොහොතෙහිමය.

“නැන්දම්මේ…මස්සිනාට අද වැඩට එන්ඩ වෙන්නෑ කියන පයින්ඩෙ ගල්නෑවෙ කඩේට දුන්න කියන්ඩෝඕඕ…”

ගේට්ටුව අසළ සිට කෑගසා කියූ කාලිංග, කවිරූ සමඟ සිය යතුරුපැදියෙන් ඉගිළ ගියේය.

]]>